ආර්ථික දර්ශනයක් නැති බියගුල්ලන් ආර්ථික කණ්ඩායම් අතර විවාදය මඟ හරිනවා

ජනතාවට අවශ්‍ය සාර්ථක ආර්ථික වැඩ පිළිවෙළ ඇති කණ්ඩායම කවුද කියා හඳුනා ගන්නයි රජයේ මුදල්වලින් පමණක් රට සංවර්ධනය කරන්න බැහැ පාසල්වලට සම්පත් ලබා දෙන විට ඒ පාසලේ නම රාජපක්ෂ ද, ප්‍රේමදාස ද, විජේවීර ද කියා…
ජනතාවට අවශ්‍ය සාර්ථක ආර්ථික වැඩ පිළිවෙළ ඇති කණ්ඩායම කවුද කියා හඳුනා ගන්නයි
රජයේ මුදල්වලින් පමණක් රට සංවර්ධනය කරන්න බැහැ
පාසල්වලට සම්පත් ලබා දෙන විට ඒ පාසලේ නම රාජපක්ෂ ද, ප්‍රේමදාස ද, විජේවීර ද කියා අප හොයන්නේ නැහැ
මේ අනුව ගියොත් සිදු වන්නේ විරැකියාව වැඩි වීමයි
බංකොලොත් රටේ අප යා යුතු ගමන් මාර්ගය, දර්ශනය, වැඩ පිළිවෙළ ගැන විවාදයක් සහ ප්‍රශස්ත සාකච්ඡාවක් තිබිය යුතු බවත් එමඟින් අදහස් සහ යෝජනා හුවමාරු කර ගත හැකි බවත් සෑම දෙනකු ළඟම හොඳ හොඳ අදහස් ඇති නිසා එම අදහස් සහ යෝජනා වාද විවාදයට ලක් කර සාකච්ඡා කර යෝජනා ඉදිරිපත් කර මහ ජන විවාදයක් ක්‍රියාත්මක වීම අතිශය වැදගත් බවත් විපක්ෂ නායකව සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියේය.
අප රට දැවැන්ත ලෙස මූල්‍ය සහ ආර්ථික වශයෙන් බංකොලොත් වී ඇති මොහොතක ඇමරිකානු ඩොලර් බිලියන 100ක දේශීය විදේශීය ණය බරතාවයෙන් අත්මිදීමට ඇති වැඩ පිළිවෙළ, විසඳුම, කාල සටහන ගැන සාකච්ඡා කළ යුතු බවත් සමහරු කියන ආකාරයට ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රගතියක් ගැන වාද විවාද කිරීම විකාර වැඩක් ලෙස පැවසුවත් ආර්ථික කණ්ඩායම් දෙකම සුහද වාදයක් කිරීමට ආරාධනා කරන අතර ඊට පසුව නායකයන් දෙදෙනාගේ විවාදයට ද දින යොදා ගත හැකි බවත් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, හම්බන්තොට මුල්කිරිගල, වීරකැටිය, රාජපක්ෂ මධ්‍ය විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර වැඩ සටහනේ 209 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක් වෙමින් වන අතර මෙහි දී පාසලේ නර්තන කණ්ඩායම සඳහා අවශ්‍ය පහසුකම් ලබා ගැනීමට සේම පාසලේ ක්‍රීඩා භාණ්ඩ ලබා ගැනීමට පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂ 02ක මුදලක් ද පරිත්‍යාග කෙරිණ.
දැන්වීම
තමා ඇතුළු පිරිස වාද විවාදවලින් පැන නොයන බවත් ආර්ථික දර්ශනයක්, කණ්ඩායමක්, වැඩ පිළිවෙළක් නොමැති අය එවැනි විවාදවලින් පැන යන්නේ බවත් එසේ ආර්ථික දර්ශනයක්, කණ්ඩායමක් සහ වැඩ පිළිවෙළක් නොමැති අයට ආර්ථික දර්ශනයක්, කණ්ඩායමක් සහ වැඩ පිළිවෙළක් සකස් කර ගැනීමට උපකාරී කළ හැකි නිසා ආර්ථික කණ්ඩායම්වල විවාදයට සහ නායකයන්ගේ විවාදයට එකවර දින දෙකම තීන්දු කරනා ලෙස අවසාන වතාවට ඉල්ලා සිටින බවත් හෙතෙම පැවසීය.
ආර්ථික විවාදය රටට අත්‍යාවශ්‍යම විවාදයක් බවත් මේ රටේ ජනතාව තව දුරටත් අන්දුනා සහ තව දුරටත් රැවටුණා ඇති නිසා අධ්‍යාපනය සහ සෞඛ්‍ය ගොඩනගනා ආකාරය සම්බන්ධයෙන් හරිහැටි පැහැදිලි කිරීමට ආර්ථික කමිටු විවාදය අත්‍යාවශ්‍ය බවත් එම නිසා මාධ්‍ය සංදර්ශන නොදා එකවර දින දෙක යොදා ගන්නා ලෙසත් වාද විවාද හරහා ප්‍රශස්ත ප්‍රබුද්ධ විසඳුම් ගැන ජනතාව දැනුවත් කළ හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
සුනාමියෙන් විපතට පත් වූ කාලයේ විදේශ රටවල පාසල්වලින් අප රටේ පාසල් සංවර්ධනය කරන්න මුදල් ලැබුණා සේ ඒ ආකාරයට මුදල් ලබා ගෙන රාජ්‍ය අරමුදල් පමණක් නොව වෙනත් ක්‍රමෝපායන් ද උපයෝගී කර ගෙන අධ්‍යාපනයත් සෞඛ්‍යයත් සංවර්ධනය කළ හැකි බවත් රජයේ මුදලින් මේ කිසිවක් සර්ව සම්පූර්ණ කළ නොහැකි බවත් ඒ සඳහා නව සම්පත් සොයා යෑමට සිදු වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අප රටේ ඇති බොළඳ දේශපාලන සංස්කෘතිය මත සමහර අය රාජපක්ෂ කියන නම තිබෙන පාසල්වලට උදව් කරන්න අවශ්‍ය ද කියා අසන බවත් එවැනි යල් පැන ගිය බොළඳ විහිලු සහගත තර්ක විතර්කවලින් අප බැහැර විය යුතු බවත් ඩොලර් බිලියන 100ක ණය බරතාවක් ඇති මේ බංකොලොත් රටේ පාසල්වලට යම් සේවයක් සිදු වනවා නම් ඒ පාසල රාජපක්ෂ ද, බණ්ඩාරනායක ද, ප්‍රේමදාස ද, විජේවීර ද කියා සෙවීම ඵලක් නොවන බවත් අප අවධානය යොමු කළ යුත්තේ රටේ රජයේ පාසල් 10099ම ඉගෙනුම ලබන දූ දරුවන් ලක්ෂ 41 කෙරෙහි බවත් ඒ මහතා කියා සිටියේය.
රටේ පාසල්වල උසස් පෙළ උගන් වන්නේ පාසල් 3000ක බවත් ඒ අතරින් විද්‍යා සහ ගණිත ක්ෂේත්‍රය ක්‍රියාත්මක වන්නේ පාසල් 1000ක බවත් එම සංඛ්‍යාව සමස්ත පාසල් පද්ධතියෙන් 10%ක ප්‍රමාණයක් බවත් මෙවැනි තත්ත්වයක් මත රටකට ගොඩ ආ නොහැකි බවත් පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා ඉන්දියාවේ දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් ඇති නිසා එම රටේ ආර්ථික වර්ධන වේගය පවා වැඩි වී ඇති බවත් සඳහන් කළේය.
අප රටේ නායකයෝ තොරතුරු තාක්ෂණ විප්ලවයක් කරනවා කිව්වට තොරතුරු තාක්ෂණය උගන් වන්නේ 6 සිට11 දක්වා බවත් එම නිසා එම තත්ත්වය වෙනස් වී 1 සිට 13 දක්වා විෂයක් ලෙස ඉංග්‍රිසි භාෂාවේ ඉගැන්වීම සිදු කළ යුතු බවත් මේවා කරන්නට පෙර පාසල්වල මානව සහ භෞතික සම්පත් ඌණතාව මඟ හරවා ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
මෙම අධ්‍යාපන ක්‍රමය දිගටම පැවතිය හොත් සිදු වන්නේ විරැකියාව වැඩි වීමක් බවත් එක්සත් රාජධානිය වැනි රටවල උපාධිධාරීන් සොයා විවිධ සමාගම් සහ ආයතන පැමිණියත් අප රටේ සිදු වන්නේ උපාධිධාරීන් රැකියා සොයා යාමක් බවත් මේ වෙනස අප හඳුනා ගත යුතු බවත් මේ වන විට අප රටේ උපාධිධාරීන් 50,000කට ආසන්න ප්‍රමාණයක් විරැකියාවෙන් පෙළෙන නිසා මොවුන් අවසානයේ විභාග සමත් වී උපාධි ලබා ගෙන දේශපාලනඥයන් පසුපස ගොස් රැකියා ඉල්ලා සිටින යුගයක් ඇති වී තිබෙන බවත් මේ තත්ත්වය අවබෝධ කර ගෙන දියුණු මාවතක් කරා යා යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 209ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2326ක් වැය කර තිබේ.