අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගන්න අපි සූදානම් -රවී-

ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගන්න අපි සූදානම් -රවී-

"මෛත්‍රී මට වෛර කළාට මම වෛර කරන්නේ නැහැ" රටට මුල්‍ය විනයක් අවශ්‍යයි මිල සූත්‍රයකින් ඵලක් නැහැ-රටේ ඇති කළ යුත්තේ මිල ස්ථාවරත්යක් "මුදල් ඇමති ලෙස මම වැඩ කළේ සුද්දන්ගේ කීමට නොවේ" සියලු පක්ෂවල වැඩ කළ…

"මෛත්‍රී මට වෛර කළාට මම වෛර කරන්නේ නැහැ"

රටට මුල්‍ය විනයක් අවශ්‍යයි 

මිල සූත්‍රයකින් ඵලක් නැහැ-රටේ ඇති කළ යුත්තේ මිල ස්ථාවරත්යක් 

"මුදල් ඇමති ලෙස මම වැඩ කළේ සුද්දන්ගේ කීමට නොවේ" 

සියලු පක්ෂවල වැඩ කළ හැකි සියලු දෙනා එකට එක් විය යුතුයි 

රටේ ජාතික-ආගමික සමගිය ඇති කළ යුතුයි 

ආර්ථික අර්බුදයෙන් රට ගොඩගන්නා හැටි හිටපු මුදල් ඇමති පහදයි

ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගන්න අපි සූදානම් -රවී-

ආර්ථිකය ශක්තිමත් කර රට ගොඩනගා ජනතාව සවි බල ගැන්වීමට 2015 දී වගේ නැවත අවස්ථාවක් ලබා දෙන්නේ නම් රට-ජනතාව වෙනුවෙන් ඒ අභියෝගය භාර ගැනීමට තමා සහ එක්සත් ජාතික පක්ෂය සූදානම් යැයි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි.

රටේ උද්ගත වී තිබෙන උග්‍ර අර්බුදකාරී තත්ත්වය තේරුම් ගෙන ජනතාව ඒ අවස්ථාව ලබා දෙනු ඇතැයි විශ්වාසය පළ කළ රවී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ යම් යම් අඩුපාඩු සහ වැරදි තිබේ නම් ඒ සියල්ල නිවැරදි කර ගෙන සියලු දෙනා එකම කණ්ඩායමක් ලෙස ඉදිරියට ගමන් කරමින් රටත්-ජනතාවත්-පක්ෂයත් විජයග්‍රහණය කරා මෙහෙය වීම සිය අරමුණ බව ද සඳහන් කළේය.

දැන්වීම

හිටපු මුදල් අමාත්‍ය සහ කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක රවී කරුණානායක මහතා මේ බව අවධාරණය කර සිටියේ, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සෙනසුරාදා (05) පැවැති උත්සවයකට සහභාගී වීමෙන් පසුව ජනමාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය. 

"එක්සත් ජාතික පක්ෂයේ යම් යම් අඩුපාඩු සහ වැරදි තිබේ නම් ඒ සියල්ල නිවැරදි කර ගෙන අප සියලු දෙනා එකම කණ්ඩායමක් ලෙස ඉදිරියට ගමන් කරමින් පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙය වීම අපගේ අරමුණයි. දේශපාලන පක්ෂයක් ලෙස අප රටට-ජනතාවට ඔබින ආකාරයට අලුතින් සහ රැඩිකල් ලෙස සිතා ක්‍රියා කළ යුතුව තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය මුල් කර ගෙන සියලු පාර්ශවයන් සහ බලවේග එකට ඒකරාශී කර ගනිමින් රටට-ජනතාවට වැඩ කළ හැකි සහ ජනතාව විශ්වාස කරන කණ්ඩායම් ඉදිරියේ තබා ගෙන අප මේ ගමන යා යුතුව තිබෙනවා.

2015 ජනවාරි මාසයේ දී අප මේ රට භාර ගන්නා විට මීටත් වඩා රට ආර්ථික වශයෙන් ප්‍රපාතයට ඇද වැටී තිබුණා. ඒ ආර්ථික ප්‍රපාතයෙන් රට ගොඩ ගෙන ජනතාවට සහන සැලසූ ආකාරය කවුරුත් දැක්කා. ඒ අනුව මේ රට යළි ගොඩ නගා ජනතාව සවි බල ගැන්වීමට නැවත වතාවක් අපට අවස්ථාව උදා වනු ඇති අතර රට-ජනතාව වෙනුවෙන් ඒ අභියෝගය භාර ගැනීමට අප සූදානමින් සිටිනවා.

රටක් ආර්ථික වශයෙන් ගොඩනැගීම සඳහා මුල්‍ය විනයක් අවශ්‍යයි. ඒ මුල්‍ය විනය යටතේ රට-ජනතාව වෙනුවෙන් කළ දේ සහ නිවැරදි දේ කළ යුතුමයි. මේ මුල්‍ය විනයට අනුව ක්‍රියා කරමින් අපේ ආණ්ඩුව එදා අදායම් වැඩි කළා. වියදම අඩු කළා. ඒ අනුව රාජ්‍ය සේවක සේවිකාවන්ගේ වැටුප ද, ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශවල වැටුප ද, මහා පොළ දීමනාව සහ සමෘද්ධි දීමනාව ද වැඩි කිරීමට අපට හැකි වුණා. ඒ වගේම අත්‍යවශ්‍ය භාණ්ඩ 15ක මිල ගණන් විශාල ලෙස අඩු කළ අතර සුරක්ෂිත රක්ෂණ ක්‍රමයක් ඇති කිරීමට ද අපට හැකි වුණා. මේ සියල්ල අප කළේ සුද්දන් ඇවිත් අපට කිව්ව නිසා නොවෙයි. රට-ජනතාව වෙනුවෙන් කළ යුතුව තිබුණු, නිවැරදිම සහ හොඳම දේ එම ක්‍රියා මාර්ග බව අප තේරුම් ගත් නිසයි.  

රට අද කඩා වැටිලා. ඒ නිසා අප මුලින්ම කළ යුත්තේ රට ගොඩගැනීමයි. ඒ සඳහා සියලු දෙනා එකට ඒකරාශී විය යුතුයි. මේ ප්‍රශ්නය පාට නොකළ යුතුයි. මේ දෙස පාට කණ්නාඩිවලින් නොබැලිය යුතුයි. රටක් නොමැති වුණොත් කිසිවෙකුට කිසිවක් නොමැති වේවි. එම නිසා මේ බැරෑරුම් තත්ත්වයෙන් රට ගොඩ ගෙන ජනතාව සවි බල ගන්වා ශක්තිමත් ආර්ථිකයක් රටේ ඇති කිරීම සඳහා කළ යුත්තේ සියලු ජාතීන් සහ ආගමිකයින් එකට ඒකරාශී කර ජාතික සහ ආගමික එකමුතු භාවය ඇති කරන අතර සෑම වැදගත් දේශපාලන පක්ෂයකම වැඩ කළ හැකි පුද්ගලයින් සහ කණ්ඩායම් එකට එකතු වී ජාතික වැඩ පිළිවෙළක් සේම ජාතික න්‍යාය පත්‍රයක් ඔස්සේ ඉදිරියට ගමන් කිරීමයි.

සෑම භාණ්ඩයක්ම සහ සේවාවක්ම හැම තිස්සේම උච්ඡාවචනය වීමට ඉඩ දිය යුතු නැහැ. ඇත්තටම රටට අවශ්‍ය වන්නේ මිල සූත්‍රයක් නොවෙයි. රටේ ඇති කළ යුත්තේ මිල ස්ථාවරත්වයක් බව කිව යුතුයි. මිල සූත්‍රයට අනුව ලෝක වෙළෙඳ පොළේ මිල වැඩි වුණාම භාණ්ඩ සහ සේවා මිල ගණන් වැඩි වුණාට එම වෙළඳ පොළේ මිල අඩු වුණාම මේ රටේ භාණ්ඩ සහ සේවා මිල ගණන් අඩු වන්නේ නැහැ. ඒ අනුව රටට වැදගත් වන්නේ මිල සූත්‍රයක් නොව මිල ස්ථාවරත්වයක් බව කිව යුතුයි.

විදුලි බල සහ පුනර්ජනනීය බල ශක්ති අමාත්‍යවරයා ලෙස එදා මම ගෙන ගිය ප්‍රතිපත්තිමය වැඩ සටහන ඉදිරියටම ගෙන ගියා නම් ඇත්ත වශයෙන්ම මේ වන විට රටේ ඇති වී තිබෙන විදුලි බල සහ බල ශක්ති අර්බුදය ඇති වන්නේ නැහැ. එදා මම විදුලිය ගාස්තු අඩු කළ අතර විදුලිය කප්පාදු කළේ නැහැ. ඇත්ත වශයෙන්ම හදිසි විදුලිය මිල දී ගැනීමේ අවශ්‍යතාවයක් හෝ විදුලිය කප්පාදු කිරීමේ අවශ්‍යතාවයක් හෝ විදුලිය ගාස්තු වැඩි කිරීමේ අවශ්‍යතාවයක් නොමැති අතර කළ යුත්තේ සියල්ල නිවැරදිව කළමනාකරණය කිරීමයි. විදුලිය ක්ෂේත්‍රයේ විශාල මාෆියක් ක්‍රියාත්මක වන අතර එම මාෆියාව පරාජය කළ යුතුයි. ඇත්ත වශයෙන්ම රට මෙසේ එක තැන සිර වී තිබෙන්නේ විදුලිය ක්ෂේත්‍රය වගේම තවත් අතිශය වැදගත් මර්මස්ථාන පහක විතර ක්‍රියාත්මක වන මේ විශාල මාෆියාව නිසයි.

ශ්‍රී ලංකා මහා බැංකුවේ ඇමති ලෙස එදා ක්‍රියා කළේ මම ද..? නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා. වානිජ්‍ය බැංකුවල ඇමති ලෙස ක්‍රියා කළේ මම ද..? නැහැ. කබීර් හෂීම්. ඒ අය කෝ..? මහා බැංකු බැඳුම්කරයක් අල්ලා ගෙන බොරු චෝදනා එල්ල කර මට එරෙහිව නඩු පවරා මගේ චරිතය ඝාතනය කර මගෙන් දේශපාලන වශයෙන් පළි ගත්තා. බොරු නඩු. මේ නඩු ගෙන යන්න බැහැ. උසාවියට ගරු කරන අප උසාවියෙන් සාධාරණය ඉටු වන තුරු නිහඬව බලා සිටිනවා. මෛත්‍රීපාල සිරිසේන මහතා මගේ චරිතය ඝාතනය කරමින් මගෙන් පළි ගත්තාට මට එතුමාගෙන් පළි ගන්න කිසිදු අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. නමුත් සාක්කි-සාධක ඇතිව මම එතුමා සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළා. ඒ සම්බන්ධයෙන් එතුමා කළ යුතු දේ මම කියා තිබෙනවා."

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
බෙදාගන්න