අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ආර්ථිකය ගොඩනැගීමේ දී රනිල්ට රවී හැර විකල්පයක් නැහැ

ආර්ථිකය ගොඩනැගීමේ දී රනිල්ට රවී හැර විකල්පයක් නැහැ

රවී යටතේ ආර්ථික මෙහෙයුම් මධ්‍යස්ථානයක් පිහිටු වනු රවී කියන කතාව හරි-රට බංකොලොත් කළේ මහා බැංකුව තමයි ආර්ථිකය "Digital" කළ යුතුමයි සරසවි සිසු සිසුවියෝ අවධාරණය කරති එක්සත් නව මාධ්‍ය ක්‍රියාකාරීහූ රවී…

රවී යටතේ ආර්ථික මෙහෙයුම් මධ්‍යස්ථානයක් පිහිටු වනු 

රවී කියන කතාව හරි-රට බංකොලොත් කළේ මහා බැංකුව තමයි 

ආර්ථිකය "Digital" කළ යුතුමයි 

සරසවි සිසු සිසුවියෝ අවධාරණය කරති 

එක්සත් නව මාධ්‍ය ක්‍රියාකාරීහූ රවී හමු වෙති   

ආර්ථිකය ගොඩනැගීමේ දී රනිල්ට රවී හැර විකල්පයක් නැහැ

රට ගොඩනැගීම සඳහා ජනාධිපතිවරයාට ඍජුවම වග කියන ආර්ථික මෙහෙයුම් මධ්‍යස්ථානයක් පිහිටුවා එහි සභාපති ධූරය ආසියාවේ හොඳම මුදල් ඇමති සහ රටේ හිටපු  මුදල් ඇමති රවී කරුණානායක මහතාට ලබා දිය යුතු යැයි එක්සත් නව මාධ්‍ය සංසදය (United New Media Forum) නියෝජනය කරන විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ අවධාරණය කර  සිටිති.

මුදල් අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් සුපුරුදු පරිදි කරන ලද ක්‍රියාවන් ඔස්සේ රටේ ආර්ථික අර්බුදය ජය ගැනීමට නොහැකි බව ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුව තේරුම් ගත යුතු බව පෙන්වා දෙන එක්සත් නව මාධ්‍ය සංසදයේ  විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සැබවින්ම අද රටට-ජනතාවට සිදුවී ඇත්තේ මේ නිලධාරීන්ගේ අපරික්ෂාකාරී, අවෘත්තික සහ අමනොඥ ක්‍රියාවන්ට වන්දි ගෙවීමට බව ද අවධාරණය කර සිටිති.

දැන්වීම

එක්සත් නව මාධ්‍ය සංසදය නියෝජනය කරන, ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලයේ හේෂාන් සම්පත් තිලකරත්න, ඇන්ටනී අගාෂ්  වාස්,  ගීත් තාරුක මුණසිංහ, ශ්‍රී ලංකා ගණකාධිකරණ ආයතනයේ,  එරන්දි අනුරාධා සුභසිංහ, අකිලා ශේහාරි දුලාන්ජලී, ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ අචින්ත මදුර සමරසිංහ, සමිත් ඉසුරංග, ලුම්බිණී ප්‍රමෝධ්‍යා, නිලන්ති මානෙල්, සහ හේමන්ත තුෂිත කුමාර යන ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ බව අවධාරණය කර සිටියේ රවී කරුණානායක මහතා සමග කොළඹ දී පැවැත් වූ විශේෂ සාකච්ඡාවක දී ය. 

ඒ අනුව මේ නිලධාරීන්ට වඩා ඉහළින් සිතිය හැකි, ක්ෂණික තීරණ ගැනීමට බිය නොමැති, චින්තන ශක්තියක් ඇති විශ්ලේෂණ හැකියාවක් තිබෙන සහ සම්ප්‍රදායට පිටින් අලුතෙන් හිතන්නට හැකියාවක් ඇති ආර්ථික විද්‍යාඥයන්, සංඛ්‍යාන විද්‍යාඥයන්, ඒ ඒ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ක්ෂණික පිළියම් සෙවිය හැකි විශේෂඥයන් එම ආර්ථික මෙහෙයුම් මධ්‍යස්ථානයට පත් කර ගත යුතු බව ද ඔවුහූ කියා සිටිති.

මේ අතර ආර්ථිකය "Digital" කළ යුතු බවට රවී කරුණානායක මහතා මේ වන විටත් කර ඇති යෝජනාවෙන් පැහැදිලි වන්නේ ඔහු නූතනත්වය අගයන පරිනත ගෝලීය දේශපාලන නායකයෙකු වන බව යැයි ද එක්සත් නව මාධ්‍ය සංසදයේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පෙන්වා දෙති. 

රටේ උද්ගත වී තිබෙන උග්‍ර ආර්ථික අර්බුදය සහ ජනතාව අන්ත අසරණ වී සිටින තත්ත්වය හමුවේ රවී කරුණානායක මහතා ගෙන ආ මේ යෝජනාව සියලු ප්‍රශ්නවලට විසඳුමක් වනු ඇති අතර එමගින් පැහැදිලි වන්නේ අනෙකුත් දේශපාලන නායකයින්ට සාපේක්ෂව රවී කරුණානායක සතු නූතන ගෝලීය දැක්ම, පරිකල්පනය, අත්දැකීම්, පළපුරුද්ද, ඉලක්ක සහ වැඩ පිළිවෙළ යැයි ද ඔවුහූ කියා සිටිති.

ඒ අනුව රට ගොඩනගා ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩ පිළිවෙළට රවී කරුණානායක මහතා වැනි දැක්මක් ඇති උගත්, බුද්ධිමත්, පළපුරුදු සහ ගෝලීය දේශපාලකයින් සම්බන්ධ කර ගනිමින් ඔවුන් මෙම ආර්ථික මෙහෙයුම් මධ්‍යස්ථානයට අනුයුක්ත කළ යුතු බව ද ඔවුහූ අවධාරණය කර සිටිති.

රට බංකොලොත් කළේ, ඒ ඒ ආණ්ඩු නොව ශ්‍රී ලංකා මහා බැංකුව බවට රවී කරුණානායක මහතා එල්ල කරන චෝදනාව කරන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලයේ හේෂාන් සම්පත් තිලකරත්න, ඇන්ටනී අගාෂ්  වාස්,  ගීත් තාරුක මුණසිංහ, ශ්‍රී ලංකා ගණකාධිකරණ ආයතනයේ,  එරන්දි අනුරාධා සුභසිංහ, අකිලා ශේහාරි දුලාන්ජලී, ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ අචින්ත මදුර සමරසිංහ, සමිත් ඉසුරංග, ලුම්බිණී ප්‍රමෝධ්‍යා, නිලන්ති මානෙල්, සහ හේමන්ත තුෂිත කුමාර යන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ මෙසේ ද කියා සිටිති.

"1994 සිට මේ දක්වා වූ කාලය ඇතුළත දී චන්ද්‍රිකා බණ්ඩාරනායක, ආචාර්ය සරත් අමුණුගම, කේ.එන් චොක්සි, මහින්ද රාජපක්ෂ, රවී කරුණානායක, මංගල සමරවීර, බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති නීතීඥ අලි සබ්රි ඇතුළු පිරිසක් මේ රටේ මුදල් අමාත්‍ය ධූර දරා තිබෙනවා.

එහෙත් රවී කරුණානායක මහතා හැරුණු කොට අනෙකුත් මුදල් ඇමතිවරුන් කිසිවෙකු සිය වගකීම, රාජකාරිය, කාර්ය භාරය සහ යුතුකම සාධනීය ලෙස රට වෙනුවෙන් ඉටු කළා කියා ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වී නොමැති අතර ජාතික වශයෙන් ද ඇගයීමකට ලක් වී නැහැ.

කෙසේ නමුත් 2017 වර්ෂයේ දී ආසියානු ශාන්තිකර කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක මහතා තෝරා පත් කර ගනිමින්, ජාත්‍යන්තර "The Banker" සඟරාව නිවේදනය කර සිටියේ, "ගෙවුම් ශේෂ අර්බුදයක් හේතුවෙන් මතු වී තිබුණු මුල්‍ය අර්බුදය වළක්වාලීමටත්, රටෙහි මුදල් සංචිතය යථා තත්ත්වයට පත් කර ගැනීමටත්, එමගින් විදේශ ආයෝජකයින් කෙරෙහි විශ්වාසය නැවත ගොඩනගා ගැනීමටත් සමත් වීම වෙනුවෙන්" ඔහුට එම සම්මානය ලබා දෙන බවයි. 

රජයේ බදු ආදායම දෙස අවදානය යොමු කිරීමේදී 2014 වර්ෂයේදී රුපියල් බිලියන 1050 ක් වූ බදු ආදායම 2015 වර්ෂයේදී රුපියල් බිලියන 1355ක් දක්වා, රුපියල් බිලියන 305කින් එනම් 30%කින් පමණ ඉහළ නංවා ගැනීමට සමත් වූ රවී කරුණානායක මහතා 2014 වර්ෂයේදී දී රුපියල් බිලියන 256ක් වූ නිෂ්පාදන ආශ්‍රිත බදු 2015 වර්ෂයේදී රුපියල් බිලියන 497ක් දක්වා, රුපියල් බිලියන 241 කින් ඉහළ නංවා ගැනීමට සමත් වුණා. 

රජයේ ආදායම සහ දළ දේශීය නිෂ්පාදිතය අතර අනුපාතය දශක ගණනාවක් මුළුල්ලෙහි පහළ අගයක් ගැනුණු අතර එම අගය දිගින් දිගටම අඩු වෙමින් පැවතීම ශ්‍රී ලංකාවේ රාජ්‍ය මුල්‍ය ගැටලු බොහොමයකට හේතු වී තිබුණා. මෙලෙස එම අනුපාතය දිගින් දිගටම පහළ වැටීමට හේතු වූයේ රජයේ ආදායම පහළ යාමයි. 

2000 වර්ෂයේදී 17.2%ක් ලෙස පැවති එම අගය 2014 වර්ෂයේදී 11.6%ක් දක්වා පහළ වැටුණා. 2015 වර්ෂයේදී එම අගය 13.3%ක් ලෙස ඉහළ නංවා ගැනීමට සමත් වූ රවී කරුණානායක මහතා 2016 වර්ෂයේදී එම අගය 14.1%ක් දක්වා ඉහළට එසෙව්වා. අනතුරුව නව මුදල් අමාත්‍යවරයෙකු පත් කිරීමත් සමගම මෙම අනුපාතය නැවත පහළ යාම ආරම්භ වූ අතර 2020 වර්ෂයේදී එම අගය නැවතත් 9.6% දක්වා අඩු වුණා. 

2014 වර්ෂයේදී නිෂ්පාදන බදු ආශ්‍රිත මත්පැන් බදු රුපියල් බිලියන 69ක් වූ අතර 2015 වර්ෂයේදී දී එම ප්‍රමාණය රුපියල් බිලියන 105 ක් දක්වා ද, 2014 වර්ෂයේදී සිගරට් ආශ්‍රිත බදු රුපියල් බිලියන 57ක් වූ අතර 2015 වර්ෂයේදී එම බදු ආදායම රුපියල් බිලියන 80 දක්වා වැඩි කර ගැනීමට ඔහුට හැකි වුණා. මේ ක්‍රියා මාර්ගවලින් රුපියල් බිලියන 60ක පමණ ආදායමක් උපයා ගැනීමට සමත් වූ රවී කරුණානායක මහතා බදු දැල තාක්ෂණිකව එළා ප්‍රසාරණය කරමින් ධනවතුන්ගෙන් වැඩිපුර බදු ලබා ගෙන දුප්පතුන්ට විශාල වශයෙන් සහන දුන්නා. 

මේ අතර ශ්‍රී ලංකාවේ උද්ගත වී තිබෙන වත්මන් උග්‍ර ආර්ථික අර්බුදය විසඳීම සඳහා මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කරමින් ප්‍රතිපත්ති පොලී අනුපාත සහ බදු මුදල් තව දුරටත් වැඩි කර නම්‍යශීලී විනිමය අනුපාත අනුගමනය කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අවධාරණය කර සිටින බව අප කවුරුත් දන්නවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මේ කියන්නේ තාක්ෂණික සහ ප්‍රායෝගික උපාය උපක්‍රම භාවිතා කරමින් රවී කරුණානායක මහතා රටේ ආර්ථිකය එදා මෙහෙය වූ ආකාරයට මෙහෙය වන ලෙසයි."

ආර්ථිකය ගොඩනැගීමේ දී රනිල්ට රවී හැර විකල්පයක් නැහැ

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 5
බෙදාගන්න
ආර්ථිකය ගොඩනැගීමේ දී රනිල්ට රවී හැර විකල්පයක් නැහැ | Lanka Newsweek