ආපදාවලින් අවතැන්වුවන්ට ඉඩම් නඩුත් හරස් වෙලා
(ජයකාන්ත ලියනගේ) අධික වර්ෂාව සහ සුළං තත්ත්වය හේතුවෙන් මීට දින අටකට පෙර සිය නිවෙස්වලට කඩා වැටුණු ගස් තවමත් ඉවත් කර ගැනීමට නොහැකිව අසරණ වී සිටින පවුල් හයක් ගාල්ල,අම්බලන්ගොඩ, කුලීගොඩ, මහඅද්දර තොටුපල පාර…
(ජයකාන්ත ලියනගේ)
අධික වර්ෂාව සහ සුළං තත්ත්වය හේතුවෙන් මීට දින අටකට පෙර සිය නිවෙස්වලට කඩා වැටුණු ගස් තවමත් ඉවත් කර ගැනීමට නොහැකිව අසරණ වී සිටින පවුල් හයක් ගාල්ල,අම්බලන්ගොඩ, කුලීගොඩ, මහඅද්දර තොටුපල පාර ප‍්‍රදේශයේදී අපට හමුවිය.
නිවාස අටකට සහ ඒ අය ගමන්කරන අතුරු මාර්ගයට ගස් කඩා වැටී සිදුවී ඇති හානිය දැක බලා ගැනීමට රාජ්‍ය නිලධාරින් වගේම මන්ත‍්‍රිවරු පැමිණියත් සිය නිවෙස් මතට කඩා වැටුණු ගස් මෙතෙක් ඉවත් කර ගැනීමට නොහැකි වි ඇතැයි ඔවුහු මැසිවිලි නගති.
දැන්වීම
අම්බලන්ගොඩ,කුලීගොඩ, ඞී සැන්සන්ද සොයිසා මාවතේ මහඅද්දර, තොටුපල පාර, කොඩිතුවක්කු වත්තේ නිවාස දෙකකට ගස් කඩා වැටිමෙන් පූර්ණ හානි සිදුවි ඇති බවත් ලියනගේ වත්තේ නිවසකට ඇතුළු තවත් නිවාස හයකට අර්ධ හානි සිදුවී ඇති බවත් ඔවුහු ප‍්‍රකාශ කරති. එම නිවෙස්වලට කඩාවැටී ඇති ගස් කපා ඉවත් කර ගැනීමට විරුද්ධව ඉඩම් හිමි කාන්තාවක් නීති මගින් කටයුතු කිරිම මේ තත්වයට හේතුව බවද නිවැසියෝ කියති.
හික්කඩුව ප‍්‍රාදේශිය ලේකම් බල ප‍්‍රදේශයට අයත් අංක 78 බී කුලීගොඩ බටහිර ග‍්‍රාම නිලධාරි වසමේ පදිංචි කෝරලගේ ස්වර්ණලතා යන අයගේ නිවසට කඩා වැටුණු දැවැන්ත කොස්ගසක් මේ වන විටත් නිරුපද්‍රිතව එම නිවසේ වහල මත තිබෙන අයුරු එහි ගිය අපට දක්නට ලැබුණි.
මෙම නිවෙස්වල පාසල් දරු දැරියන්ගේ පොත්පත් සහ ඇදුම් පැලදුම් ද නිවාසවල මුළුතැන් ගෙයි උපකරණ ඇදුම් පැළදුම් ඇද ඇතිරිලි ද ඇතුළු සියල්ලක්ම වැස්සට තෙමී තෙතබරිත වී තිබෙන අයුරු ද පාසල් පොත් වේලා ගැනීමට උත්සාහ දරන දරුවන් කිහිප දෙනෙකුද ඔවුන් අතර විය.
කේ ස්වර්ණලතා මහත්මිය අප සමග පැවසුවේ දුවල දෙන්නත් බෑනත් කුඩා දරුවො දෙන්නත් බදාදා ( 29) වනදා රාත‍්‍රි 7.30 ට පමණ නිවසේ සාලයේ අවදියෙන් සිටි නිසා සිය ජීවිත බේරුණ බවයි.
අන්ත අසරණ තත්ත්වයේ සිටින මෙම පවුලට ආර්ථික ශක්තියක් නොමැති වීමෙන් අසල් වැසියන් ලබාදෙන ඇදුම් පැළදුම් සහ ආහාර ගෙන මේ වන විට ජිවත් විමට සිදුව තිබේ .
අප අසලට රැස්වු පිරිස පැවසුවේ කොඩිතුවක්කු වත්තේ ගෙවල්වලට ගස් කඩා වැටී පාරවල් අවහිර වෙලා තිබෙන අතර ඒ අබලි ඉවත් කර ගන්න ගම්වල මිනිස්සු එකතු වුණාම අසල නිවසක කාන්තාවක් අම්බලන්ගොඩ පොලිසියේ නිලධාරින් පිරිසක් සමග පැමිණ ගම්මුන් බිය වද්දා පලවා හැරි බවය.
ටී 56 ගිනි අවි අත් මාංචු රැගෙන පැමිණි පොලිස් නිලධාරින් මේ ගස්වලට අත තිබ්බොත් හිරබත් කන්න වෙනවා යැයි ගැමියන්ට තර්ජනය කිරීම නිසා නිවෙස් මතට කඩා වැටී තිබු ගස් ඉවත් කිරිමට යාන්ත‍්‍රික කියත් රැගෙන පැමිණි අයද බිය වී කර පළා ගිය බව නිවැසියෝ ප‍්‍රකාශ කළහ.
කුලීගොඩ බටහිර අංක 78 ග‍්‍රාම නිලිධාරිනි නදීකා නිල්මිණි මහත්මිය දුරකථනයෙන් අප සම්බන්ධ කර ගත් අවස්ථාවේ ඇය පැවසුවේ මේ කියන ස්ථානයට තමා පැමිණෙන බවත් පැමිණි පසු විස්තර කියන බවත්ය.
එහෙත් පැයකට අධික කාලයක් අපි එහි රැදී සිටියද ඇය නොපැමිණි අතර පසුව හික්කඩුව ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් මේ පිළිබඳව කළ විමසීමේදී එහි ප‍්‍රකාශකයෙක් පැවුසවේ මේ කියන කොඩිතුවක්කු වත්ත සහ ලියනගේ වත්ත කියන ඉඩම් සම්බන්ධයෙන් බෙදුම් නඩුවක් තිබෙන නිසා මේ තත්ත්වය උදා වී ඇති බවත් එම කරුණු මානුෂියව සිතා බලා මෙම ගස් ඉවත් කිරීමට කඩිනමින් පියවර ගන්නා බවත්ය.