ආණ්ඩුව දේශප්‍රේමී ජාති ආලය පෙන්නලා රටේ සම්පත් විකුණනවා

ඕනෑම රටකට උපායමාර්ගික වශයෙන් වැදගත් ආර්ථික මර්මස්ථාන සහ ආර්ථික සම්පත් ආරක්ෂා කර ගැනීම බලයට පත්වන පාලකයන්ගේ වගකීමක් වන අතර අපි ඉපදෙන විට රටේ තිබුණු සම්පත් මියයන විට විදේශිකයන්ට පවරා තිබෙනවා නම් එය…
ඕනෑම රටකට උපායමාර්ගික වශයෙන් වැදගත් ආර්ථික මර්මස්ථාන සහ ආර්ථික සම්පත් ආරක්ෂා කර ගැනීම බලයට පත්වන පාලකයන්ගේ වගකීමක් වන අතර අපි ඉපදෙන විට රටේ තිබුණු සම්පත් මියයන විට විදේශිකයන්ට පවරා තිබෙනවා නම් එය රටකට කෙතරම් ඛේදවාචකයක් දැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කියා සිටියි.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව කියා සිටියේ සඳුදා(04) කොළඹ බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී වන අතර එහිදී තව දුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය.
චීනය ඉන්දියාව සහ ඇමරිකාව අපේ රට සම්බන්ධයෙන් විශාල ආර්ථික සහ දේශපාලනික මැදිහත්වීමක් කරමින් ඉන්න බව පැහැදිලියි. මෙවැනි අන්තරාකාරී තත්වයකට රට පත්කර තිබෙන්නේ දීර්ඝ කාලයක් ආනුගමනය කළ ආර්ථික සහ විදේශ ප්‍රතිපත්තිය නිසයි. අවසාන ප්‍රතිඵලය වී තිබෙන්නේ එකිනෙකා පරයා යමින් වේගයෙන් අපේ රටේ ජාතික සම්පත් විකුණා දැමීමයි.
දැන්වීම
ඕනෑම රටක උපායමාර්ගික වශයෙන් බලශක්ති සම්පත අතිශය වැදගත්. ඒ වගේම වරාය වැදගත් වෙනවා. උපනූපන් පරම්පරාවලට හිමි සියළු සම්පත් මාස එකහමාරකට ආසන්න කාලයක් තුළ ඉතා වේගයෙන් විදේශ සමාගම් වෙත පැවරීමේ ප්‍රයත්නයක පාලකයන් නිරතවී සිටිනවා.
එයින් ප්‍රධානම වී තිබෙන්නේ කෙරවලපිටිය බලාගාරයේ 40%ක කොටස් සහ ගෑස් සැපයුම මෙන්ම ගබඩා පර්යන්තය එක්සත් ජනපදයට පවරාදීමයි. ඊට අදාළ ගිවිසුම් ගණනාවක් කැබිනට් මණ්ඩලයවත් නොදැනුවත්ව අත්සන් කරනු ලැබුවා.
වැදගත්ම බලශක්ති ආර්ථික මර්මස්ථානයක් පවරා දුන්නා. ඉන් පසුව ඉන්දියානු අදානි සමාගමට කොළඹ වරායේ බටහිර ජැටිය විකුණා දැමුවා. ඒ වගේම වරාය අධිකාරිය විසින් සපයන සේවාවන් පවරාදීම සිදු කෙරෙනවා.
2017දී සේවා සැපයීමෙන් වරාය අධිකාරිය රුපියල් බිලියන 5කට අධික ආදායමක් ලැබුවා. මේ ආදායම චීනයේ ක්‍ෂක්‍ඔ සමාගමට පවරාදීම සඳහා කටයුතු කෙරෙමින් තිබෙනවා. පෝට් සිටියට ආසන්නයේ තිබෙන අක්කර 13ක ඉඩමක් අක්කරය රුපියල් ලක්ෂ අට හමාරක සොච්චම් බදු මුදලකට පවරා දෙන්න කැබිනට් මණ්ඩලය අනුමත කර තිබෙනවා. මේ අනුව අපේ රටේ ආර්ථික උපායමාර්ගයේ ඉතා වැදගත්ම කොටසක් රටට අහිමි කරමින් තිබෙනවා.
තව පැත්තකින් ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ තෙල් ගෙන්වීම, පිරිපහදු කිරීම, මිශ්‍ර කිරීම සහ ගබඩා කිරීම වගේම බෙදා හැරීමත් 1961 අංක 28 දරණ පනත අනුව තෙල් සංස්ථාවේ ඒකාධිකාරයක්.
තෙල් වෙළඳපොලේ අධිකාරීත්වය විදේශ සමාගම්වලට පවරා දෙනු ලැබුවහොත් රට දුවනවාද නතර කරනවාද යන්න පවා තීරණය කරන්නේ තෙල් සමාගම්. නමුත් 2001 දෙසැම්බර් මාසයේදී විශේෂ විධිවිධාන පනතක් මගින් තෙල් ගෙන්වීම ගබඩා කිරීම සහ බෙදා හැරීම යන ක්ෂේත්‍ර පමණක් ෂධක් සමාගමට අවුරුදු 20ක් සඳහා පවරා දුන්නා. එම බලපත්‍රය 2023 වෙනවිට අහෝසි වෙනවා.
ඉන් පසුව තෙල් සම්බන්ධයෙන් ඒකාධිකාරය සම්පූර්ණයෙන් අපේ රටට අත්වෙනවා. නමුත් දේශප්‍රේමී සළුපිළි පොරවා ගත් නායකයන් 1961 අංක 28 දරණ පනත සංශෝධනය කර අපේ රටේ තෙල් වෙළඳපොල විදේශ සමාගම් වෙත විවෘත කරන්න සූදානම් වෙනවා.
ඒ අනුව පෙට්‍රල් ඩීසල් භූමිතෙල් හා දැවිතෙල් යන ඛනිජ තෙල් නිෂ්පාදන, විකල්ප ඉන්ධන ආනයනය, අපනයනය පිරිපහදු කිරීම, විකිණීම, සැපයීම, නිෂ්පාදනය, මිශ්‍රකිරීම හා බෙදාහැරීම සඳහා සුදුසුකම් ලබන පාර්ශවයන් වෙත ලබා දෙන්න යනවා.
ඛනිජ තෙල් වෙළඳපොල විවෘත කරන්න උදය ගම්මන්පිල ඛනිජ තෙල් ඇමතිවරයා සූදානම් වෙනවා. තෙල් වෙළඳපොලටත් විදේශීය සමාගම් කැඳවා ගැනීමේ වුවමනාව ඔවුන්ට තිබෙනවා.
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ මෙහෙයුම් බලය ෂධක් ඇතුළු විවිධ විදේශීය සමාගම්වලට පවරා දෙන්න ක්‍රියාකරමින් තිබෙනවා. අපේ රටට ජාතික වශයෙන් වැදගත් ආර්ථික උපායමාර්ග වශයෙන් වැදගත් සම්පත් සියල්ල විදේශීය සමාගම් වෙත පැවරීමේ ප්‍රයත්නයක් තිබෙනවා.
මෙම මස 06 වෙනිදා අපේ රටේ තෙල් කැණීම් පිළිබඳව තිබෙන 2003 ඛනිජ තෙල් සම්පත් කැණීම් පිළිබඳ අධිකාරි පනත අහෝසි කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. මේ පනත අනුව තෙල් කැණීම, නිෂ්පාදනය කිරීම සහ සියළු පරීක්ෂණ සිදුකිරීම සම්බන්ධයෙන් පවතින පනත අහෝසි කරන්න සූදානමක් තියෙනවා.
වෙන්දේසිකරුවන් කණ්ඩායමක් විසින් රටේ වැදගත්ම ආර්ථික මර්මස්ථාන විදේශ සමාගම් වෙත පැවරීම සඳහා ගෙන යන මෙම ක්‍රියාමාර්ග පරාජය කළ යුතුයි. චීනය, ඇමරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාව විවිධ ක්ෂේත්‍රවල ආර්ථික මර්මස්ථාන අත්පත් කර ගැනීමේ තරඟයක යෙදී සිටිනවා.
ඒ හරහා අපේ රට යළි යටත් විජිතයක් කිරීමේ ක්‍රියාවලියක් දියත්වී තිබෙනවා. ඇමරිකන් එක්සත් ජනපදයේ ජීවත්වීමට සිහින දකින පවුලේ පාලනය විසින් අපේ රට විදේශ බලවතුන්ගේ යටත් විජිතයක් බවට යළි පත්කරමින් තිබෙනවා.
දේශප්‍රේමී මුහුණුවර, ජාති ආලය පිළිබඳ මුහුණුවර සහ රටට ආදරය පිළිබඳ මුහුණුවරට සැඟවිලා මේ විනාශකාරී ගමනේ ඔවුන් නිරතවී සිටිනවා. තෙල් සංස්ථාව, වරාය අධිකාරිය සහ විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති ව්‍යාපාරවලට අපි අවධාරණය කරන්නේ තමන්ගේ ක්ෂේත්‍ර තුළ දියත් කර තිබෙන මෙම විනාශය වැළැක්වීම සඳහා එකට එකතුවිය යුතු බවයි.
දේශපාලන ව්‍යාපාරයක් හැටියට ඒ වෙනුවෙන් අපි අපේ මැදිහත්වීම කරන්න අපි සූදානම්. මේ විනාශකාරී ආර්ථික ගමන පරාජය කිරීම සඳහා එකතුවන ලෙස අප සියළුම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා. අපේ රටේ ආර්ථික උපායමාර්ග වශයෙන් වැදගත් මර්මස්ථාන විදේශීය බලවතුන්ට තව දුරටත් පැවරීමේ ප්‍රයත්නය අපි පරාජයට පත්කළ යුතුයි.