අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ආණ්ඩුවේ මර්දනයට එරෙහිව පෙළ ගැසෙනු

ආණ්ඩුවේ මර්දනයට එරෙහිව පෙළ ගැසෙනු

ජනතා අයිතීන් කොල්ල කෑම වහා නවතනු ඒකාධිපති වියරුව පරාජය කළ යුතු කාලය එළැඹිලා (සුජිත් මංගල ද සිල්වා) නීතියට පයින් ගසා ආණ්ඩුව සිදු කරන ජනතා මර්දනයට එරෙහිව සියලු බලවේග එකට ඒකරාශී විය යුතු යැයි සාධාරණ…

ජනතා අයිතීන් කොල්ල කෑම වහා නවතනු 

ඒකාධිපති වියරුව පරාජය කළ යුතු කාලය එළැඹිලා 

ආණ්ඩුවේ මර්දනයට එරෙහිව පෙළ ගැසෙනු

(සුජිත් මංගල ද සිල්වා)

නීතියට පයින් ගසා ආණ්ඩුව සිදු කරන ජනතා මර්දනයට එරෙහිව සියලු බලවේග එකට ඒකරාශී විය යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි. 

ජනතා අයිතිවාසිකම් කොල්ල කෑම වහාම නතර කළ යුතු අතර තව දුරටත් ආණ්ඩුවට ඒ සඳහා ඉඩ දිය නොහැකි බව ද කරු ජයසූරිය මහතා තරයේ කියා සිටියි.

දැන්වීම

දේශබන්දු කරු ජයසූරිය මහතා මේ අදහස් පළ කළේ, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් කොළඹ දී ඉරිදා (11) සංවිධානය කෙරුණු ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය. 

අද අප මෙම ජනමාධ්‍ය හමුව සිදු කරන්නේ රටක් ලෙස අප ඉතාමත් අඳුරු දිශාවකට ගමන් කරමින් සිටින අවස්ථාවකයි. ජනතාව මර්දනය කිරීමේ ක්‍රියාදාමය දැනටමත් ආරම්භ වී තිබෙනවා.  රටේ ආර්ථිකය බංකොලොත් වෙමින් පවතිනවා. ජනතාවගේ පැවැත්ම අන් කවරදාකටවත් වඩා අවිනිශ්චිත භාවයකට පත් කර තිබෙනවා. වෙන එකක් තබා, තමන් පෙළෙමින් පවතින පීඩාව ගැන කියන්නට පවා නිදහසක් අද ඔවුන්ට ඇත්තේ නැහැ. ආණ්ඩුවේ අසමත් බව සහ නොහැකියාව ජනතාවගේ පිටින් යවමින් සිටිනවා. අද මේ රට මිනිස් නිදහස තුට්ටුවකටවත් ගණන් නොගන්නා තත්ත්වයකට ඇද දමා තිබෙනවා. කොරෝනා වසංගතයෙන් ජනතාව මුදා ගන්නවා වෙනුවට එම වසංගතයට මුවා වෙමින් එම වසංගතය ආශිර්වාදයක් කර ගනිමින් අද රජය ජනතාව මර්දනය කරමින් සිටිනවා. මේ තත්ත්වය ඉතා වේදනාකාරීයි. ඒ අනුව ජනතාව එකාවන්ව නැඟී සිට මෙම අනතුර පරාජයට පත් කළ යුතුයි. අප අද ලබා දෙන්නේ ඒ ප්‍රමුඛ පණිවුඩයයි. 

ගොවි ජනතාවට අද දහසක් ප්‍රශ්න තිබෙනවා. වැඩ කරන ජනතාව එදිනෙදා ජීවිකාව කර ගන්න තබා ජීවත් විය නොහැකි තත්ත්වයකට අසරණ කරලා. තරුණ පරපුරට අනාගතය ගැන කිසිදු විශ්වාසයක් නැති කරලා. නිදහසින් පසු අප රැක ගත් වටිනාම දායාදයක් වන නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාව විනාශ මුඛයට ගෙන යමින් පවතිනවා. මේ රටේ දැවෙන ප්‍රශ්නයි. 

ඒ නිසා ජනතාව ඊට එරෙහිව පාරට බහින තත්ත්වයකට යොමු වෙලා. එහෙත් මේ රටේ පාලකයන් එම ප්‍රශ්නවලට නිසි විසඳුම් ලබා දෙනවා වෙනුවට ජනතාව මර්දනය කරන්නට කටයුතු කරමින් සිටිනවා. ලෝකයේ ඕනෑම රජයක් අසමත් වන විට ඊට ප්‍රතිචාර දක්වන්නේ ජනතාව මර්දනය කිරීමෙනුයි. අවාසනාවකට අද අපේ රටත් එවැනි තත්ත්වයකට පත් වෙලා. 

වගා කරන්නට පොහොර ඉල්ලන ගොවියන් සහ ගොවි නායකයන් අද බලහත්කාරයෙන් කුදල ගෙන යනවා. නිදහස් අධ්‍යාපනය ස්ථාපිත කරන්නට පෙරට එන ශිෂ්‍යයන් අත්අඩංගුවට ගනිමින් සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිටින පුරවැසියන්ට පොලිස් මර්දනය මුදා හරිමින් සිටිනවා. එවැනි තත්ත්වයන් රාශියක්ම පසුගියදා අප දුටුවා. රජය මේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සිටින්නේ කෙසේද..? අපේ සංස්කෘතිය අනුව චීවරයට විශාල ගෞරවයක් තිබෙනවා. අප දුටු ඡායාරූප අනුව බෞද්ධ භික්ෂූන් වහන්සේ ඇද ගෙන ගියේ කුණු මාළු කෑල්ලක් ගෙන යන ආකාරයටයි. වැඩිහිටි කාන්තාවන්ට සැලකුවේ ඉතා  නින්දා සහගත ආකාරයටයි. මේ රටේ වෘත්තීය සමිති නායකයන් ගණනාවක් අත්අඩංගුවට ගත්තා. එහිදී ජෝසප් ස්ටාලින් මහතා බලහත්කාරයෙන් රැගෙන ගිය ආකාරය ඔබ දකින්නට ඇති. තරුණ කාන්තාවන්ගේ ඇඳි වත පවා ඉරා දමමින් පොලීසිය විසින් කුදලා ගෙන ගිය ආකාරය නින්දිතයි. නිදහස් සහ ප්‍රජාතන්ත්‍රවාදී රටක එවැනි දේ සිදු විය නොහැකියි. වඩාත්ම බරපතළ කාරණය වන්නේ ඒ සියලු ක්‍රියාවන් අනීතිකව හෙවත් නීතියට පටහැනිව සිදු කිරීමයි. 

අප දන්නා අන්දමට යම් චෝදනාවකට අදාළව පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියට බලයක් තිබෙනවා. එවැන්නක් සිදු විය යුත්තේ රටේ පවතින නීතියට අනුකූලවයි. එහෙත් අද සිදු වන්නේ කුමක්ද..? සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් නිකුත් කර ඇති නිරෝධායන රෙගුලාසි පවා අවභාවිතා කරමින්, රෝග මර්දනය සඳහා එම රෙගුලාසි යොදා ගන්නවා වෙනුවට ජනතාවගේ කතා කිරීමේ අයිතිය මර්දනය කිරීම වෙනුවෙන් එම රෙගුලාසි යොදා ගනිමින් සිටිනවා. 

නිරෝධායන නීතිය අවභාවිතා කරන්නට පොලීසියට කිසිදු බලයක් නැහැ. විශේෂයෙන්ම අධිකරණය මගින් ඇප ලබා දී මුදා හරින ලද පිරිසක් අධිකරණ භූමියේදීම පොලිස් අත්අඩංගුවට ගෙන බලහතුකාරයෙන් රැගෙන යනවා නම් එම ක්‍රියාව නීති විරෝධී පැහැර ගෙන යෑමක් බව කිව යුතුයි. අද අපේ රටේ මේ දේවල් සිද්ධ වෙන්නේ මහ දවාලයේයි. විශාල ජනතාවක් ඉදිරිපිටයි. රටේ උත්තරීතර අධිකරණ භූමියේදීයි. මේ තත්ත්වය මේ විදියට වර්ධනය වුව හොත් විනිසුරු ආසනය ඉදිරියේ සිටින පුද්ගලයන් පවා පොලීසිය මගින් පැහැර ගෙන යන තත්ත්වයක් උදාවිය හැකියි. 

රටේ නීතියට ඒ තරමටම අවමන් කරමින් සිටිනවා. මේ අතිශය භයානක තත්ත්වයක්. මෑත ඉතිහාසයේදී ලෝකයේ පහළ වූ බිහිසුණුම ඒකාධිපතියා ලෙස සැලකෙන ඇඩොල්ෆ් හිට්ලර්ගේ පාලන සමයේදී සහ උගන්ඩාව එක් කාලයකදී පාලනය කළ ඉඩි අමීන්ගේ පාලනය යුගයේදී මෙවැනි දේ සිදු වුණා. ඒ නිසා මේ ගැන අන් සියල්ලන්ටම වඩා අවධානයක් යොමු කළ යුතුව ඇත්තේ මේ රටේ නීති ප්‍රජාවයි. අධිකරණයයි. මේ ආකාරයට අමු අමුවේම නීතියට පා පහරවල් දෙනවා නම් අධිකරණ නියෝගවලට කණේ පහරවල් එල්ල කරනවා නම් අධිකරණ පද්ධතියෙන් රටකට ඇති ප්‍රයෝජනය කුමක්ද..? එවැනි රටක ප්‍රජාතන්ත්‍රවාදය ඉතුරු වේවිද..? මේ තත්ත්වය අතිශය භයානක ප්‍රවණතාවයක් බව කිව යුතුයි. වහා පරාජය කළ යුතු තත්ත්වයක්. එසේ නොවුණ හොත් මේ රටේ අනාගතය තව බොහෝ සේ අඳුරු විය හැකියි. ඛේදනීය විය හැකියි. භයංකර විය හැකියි. ඒ බව මේ රටේ පුරවැසියන්ද ඇතුළු වගකීමක් ඇති රට ගැන කැක්කුමක් ඇති සියලුම දෙනා තේරුම් ගත යුතුයි. ඒ අනුව අධිකරණ නියෝගවලට පිටින් බලහත්කාරයෙන් රැගෙන ගොස් රඳවා ගෙන සිටින සියලුම වෘත්තීය සමිති ක්‍රියාකාරීන් වහාම නිදහස් කරන ලෙස අප ඉල්ලා සිටිනවා. ජෝසප් ස්ටාලින් වැනි අය අන්තර්ජාතික ගෞරවයට පත් වෘත්තීය සමිති නායකයින්.

ඒ වගේම අද මේ රටේ මෙවැනි සිද්ධීන් සිදු වන්නේ හුදු අහම්භයකින් නොවන බවද අප තේරුම් ගත යුතු වෙනවා. මේ සියල්ල සැලැස්මකට අනුව ක්‍රමානුකූලව සිදු කරන මර්දනයක් බව පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. එහි අරමුණ ප්‍රජාතන්ත්‍රවාදය මේ රටෙන් තුරන් කිරීම විනා වෙන කිසිවක් නොවේ. මහා ජන පරමාධිපත්‍ය බලය පාගා දමමින් ඒකාධිපති අත්තනෝමතික රාජ්‍යයක් ගොඩ නැගීම එහි අවසන් ප්‍රතිඵලයයි. 

අද වන විට මේ රටේ මැතිවරණ කොමිෂන් සභාවේ සිදු වෙමින් පවතින සිද්ධීන් දෙස බලන විට එවැනි අනතුරක් දකින්නට තිබෙනවා. නිදහසින් පසු අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විකාශනය වී ඇති ආකාරය දෙස බලන විට ඇතැම් කාලවලදී ඇතැම් අඩුපාඩු දකින්නට තිබුණත් නිදහස් මැතිවරණ ක්‍රමය දවසින් දවස ශක්තිමත් වුණා. නිදහස් මැතිවරණ පිළිබඳව ජනතාව අතර දවසින් දවස විශ්වාසය තහවුරු වුණා. එම තත්ත්වය සමස්ථ ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයටම ආශිර්වාදක් වුණා. 

නමුත් අද වන විට සිදු වෙමින් පවතින්නේ කුමක්ද..? විශේෂයෙන්ම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමෙන් පසු මැතිවරණ කොමිෂන් සභාවේ ස්වාධීනත්වයට මාරක ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එම ප්‍රහාරය ආරම්භ වූයේ ආණ්ඩු පක්ෂයේ දේශපාලන ක්‍රියාධරයන්, ඔවුන්ගේ කාර්යාලීය සේවකයන්ද ඇතුළුව දේශපාලන ගැත්තන් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස පත් කර එවීමත් සමගයි. එහි ඇති අනතුර අප පුන පුනා පෙන්වා දී තිබෙනවා. නමුත් අවාසනාවකට මේ රටේ ඇතැම් දේශපාලන පක්ෂ පවා ඒ ගැන ප්‍රමාණවත් අවධානයක් යොමු කළ බවක් පෙනෙන්නට නැහැ. ඒ ගැන අපට කණගාටුවක් තිබෙනවා.  නමුත් දැන්වත් මේ ගැන වහාම අවධානය යොමු කළ යුතුයි. බොහෝ ස්වාධීන කොමිෂන් සභාවලට ආණ්ඩුවේ දේශපාලන ක්‍රියාකාරීන් පත් කර තිබෙනවා. මේ තත්ත්වය ඉතා භයානක ප්‍රවණතාවයක්.

අපට වාර්තා වන අන්දමට මැතිවරණ කොමිෂන් සභාවෙහි සේවය කරමින් සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගණනාවකටම ස්ථාන මාරුවීම් ලබා දෙමින් තිබෙනවා. ඔවුන් ඒ මගින් සිදු කරන්නට යන්නේ නිදහස් මැතිවරණ පිළිබඳව කැපවීමකින් ක්‍රියා කළ පළපුරුදු නිලධාරීන් පිටමං කරවීමයි. තමන්ට රිසි තමන්ගේ උවමනාවන් අනුව ක්‍රියා කරන පිරිසක් අතට සමස්ථ මැතිවරණ කොමිෂන් සභාවම පත් කරවීමයි. අවසානයේ නිදහස් සහ සාධාරණ නොවන මැතිවරණ පවත් වමින් එකම පුද්ගල කණ්ඩායමකට සදාකාලිකවම බලය අත් පත් කර ගන්නා පරිසරයක් නිර්මාණය කිරීමයි. 

මේ ගැන මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලුම දේශපාලන පක්ෂ අවධානයට යොමු කළ යුතුයි. ඒ වගේම නිදහස්, සාමකාමී සහ සාධාරණ මැතිවරණ ක්‍රියාවලියක් කෙරෙහි කැපවීමකින් ක්‍රියා කරන මැතිවරණ නිරීක්ෂණ සංවිධානද මේ ගැන බලවත් ලෙස අවධානය යොමු කළ යුතුයි. එසේ නොවුණ හොත් අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැත්තටම  නැතිව යා හැකියි. ජනතාවගේ නිදහස සහ අයිතිවාසිකම් සිහිනයක් බවට පත් විය හැකියි. ජනතා පරාමාධිපත්‍යය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුද්‍රණය කර ඇති අකුරුවලට පමණක් සීමා විය හැකියි. මේ තත්ත්වය දැවැන්ත අනතුරක්. කරුණාකර ජනතාවගේ නාමයෙන් මේ ගැන අවධානයට යොමු කරන්න. සියලුම පටු අරමුණුවලින් බැහැර වී මේ රටේ සියලුම දේශපාලන බලවේග මේ තත්ත්වයට එරෙහිව පෙළ ගැසිය යුතුයි. ඒ   අපගේ ප්‍රධානතම ආයාචනයයි. අපි රජයට කියන්නේ ජනතාවගේ අයිතිවාසිකම් කොල්ලකන්න එපා.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 6
බෙදාගන්න
ආණ්ඩුවේ මර්දනයට එරෙහිව පෙළ ගැසෙනු | Lanka Newsweek