අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ආණ්ඩුවේ දුෂණය පියවා ගන්න ජනතාව මත බදු ගැසීම අසාධාරණයි..!

ආණ්ඩුවේ දුෂණය පියවා ගන්න ජනතාව මත බදු ගැසීම අසාධාරණයි..!

වැඩි කළ ඉන්ධන මිල වහා අඩුකළ යුතුයි! ආණ්ඩුවේ දුෂණ,වංචා සහ අක්‍රමිකතා පියවා ගැනීම සඳහා වැඩි කළ ඉන්ධන මිල වහාම අඩු කළ යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා අවධාරණය කළේය. ඔහු…

වැඩි කළ ඉන්ධන මිල වහා අඩුකළ යුතුයි!

ආණ්ඩුවේ දුෂණ,වංචා සහ අක්‍රමිකතා පියවා ගැනීම සඳහා වැඩි කළ ඉන්ධන මිල වහාම අඩු කළ යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා අවධාරණය කළේය.

ඔහු මේ බව පැවසුවේ කොළඹ බත්තරමුල්ලේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ මුලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ විජිත හේරත් මහතා මෙසේ ද කීය.

ආණ්ඩුව පහුගියදා ඞීසල් සහ පෙට‍්‍රල්, භූමිතෙල් මිල වැඩිකළා. බදු බර වැඩිකළා. ඒ නිසාම භාණ්ඩවල මිල විශාල ලෙස ඉහළ ගිහින් තිබෙනවා. මේ ආණ්ඩුව බලයට එද්දී ඉන්ධනවලට පනවා ඇති බදු අඩුකරන බවට මැතිවරණ ප‍්‍රකාශයෙන් ජනතාවට පොරොන්දු වුණා. මුල් අවදියේ ඡන්ද ගුණ්ඩුවක් ලෙස ඉන්ධන මිල අඩු කළත් ඉන් පසුව වට කිහිපයකින් ඉන්ධන මිල වැඩිකොට තිබෙනවා.

ඞීසල් ලීටරයක් ගොඩබාන මිල රු. 83.40යි. ඒ ඞීසල් ලීටරයක් වෙනුවෙන් ආණ්ඩුව අයකරන බද්ද රු. 31.60ක්. පෙට‍්‍රල් ලීටරයක් ගොඩබාන මිල රු. 78.40යි. ඒ වෙනුවෙන් ආණ්ඩුව පෙට‍්‍රල් ලීටරයකට ආණ්ඩුව අයකරන බද්ද රු. 60.19ක් වෙනවා. මේ බදු නිසා තමයි ඉන්ධන මිල වැඩිවෙලා තිබෙන්නේ. එසේ නැතිව ඩොලරය ඉහළ ගිය නිසා හෝ ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල ඉහළ ගිය නිසා නොවෙයි.

මේ සියලූ බදු ආදායම යන්නේ ආණ්ඩුවටයි. ඒ වගේම භූමිතෙල් ලීටරයක මිල රු. 57කින් වැඩිකළා. කුප්පි ලාම්පුව පාවිච්චි කරන දුප්පත් ජනතාවට, ධීවර ජනතාවට භූමිතෙල් භාවිතා කොට නිෂ්පාදන කටයුතු කරන සියලූම දෙනාට එය විශාල බලපෑමක් වෙලා.

රාජිත සේනාරත්න කිව්වේ භූමිතෙල් මිල වැඩි කළේ පෞද්ගලික බස්රථවලට ඞීසල් සමඟ භූමිතෙල් මිශ‍්‍ර කරන නිසා කියලා. එවැනි කටයුතු පාලනය කරන්න ක‍්‍රමවේදයක් යොදන්නේ නැතිව භූමිතෙල් මිල වැඩි කරන එක භූමිතෙල් පරිභෝජනය කරන දුප්පත් ජනතාවට සිදුවන විශාල අසාධාරණයක්.

ආණ්ඩුව බදු ගහලා ආදායම් ලැබුවාට සංස්ථාවට ලාභයක් ලැබෙන්නේ නැහැ. මේ තත්වය දරුණු අතට හැරෙන්නේ සංස්ථාව බංකොළොත් වෙලා අයි. ඕ.සී.යට ඉන්ධන ඒකාධිකාරිය ලැබුණු විටයි. එවිට අයි. ඕ.සී.ය නියම කරන මිලට ජනතාවට ඉන්ධන ලබාගන්න වෙනවා. සංස්ථාවේ පාඩු පෙන්නලා ආණ්ඩුව බදු ගහලා ආදායම් ලබනවා. ඒක හරියට හිඟන්නා පෙන්නලා මුදලාලි බඩ ගෝස්තරය තර කරගන්නවා වගේ වැඩක්. ඒ නිසා අපි ආණ්ඩුවට බල කරනවා අසාධාරණ ලෙස ඉහළ දැමූ ඉන්ධන මිල වහාම අඩු කරන්න කියලා.

ඒ වගේම ආණ්ඩුව කිරිපිටි කිලෝග‍්‍රෑමයක මිල රු. 50කින් ඉහළ දැම්මා. එය බරපතළ අසාධාරණයක්. ආණ්ඩුව මේ වනවිටත් රු. 106ක වැට් බද්දක් සහ රු. 5ක අමතර බද්දකුත් සහිතව කිරිපිටි කිලෝග‍්‍රෑමයකට රු. 111ක බද්දක් අයකර ගන්නවා. ඊට අමතරව තමයි මෙම රු. 50ක මිල වැඩිවීම කර තිබෙන්නේ. බදු ගහලා ආණ්ඩුව කියනවා ජනතාවට සෞඛ්‍යයට, ප‍්‍රවාහනයට, අධ්‍යාපනයට වියදම් කරනවා කියලා. දැන්වීම් දාලා ජනතාව නොමග යවලා ආණඩුවේ නාස්තිය, ¥ෂණය පියවා ගන්න තමයි මේ විදිහට බදු ගහන්නේ. එම බදු මුදල් ජනතාවගේ සහනාධාරවලට හෝ සේවාවලට යොදවන්නේ නැහැ.

පසුගියදා පුවත්පතක වාර්තා කොට තිබුණා කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිල්ල වෙනුවෙන් මසකට තවත් ලක්‍ෂ 7.5ක මුදලක් වෙන් කරන තිබෙනවා කියලා. එම ගොඩනැගිල්ල වෙනුවෙන් මේ වෙනකොටත් මාසිකව ලක්‍ෂ 245ක් වැය කරනවා. ඒ අනුව දැන් එය ලක්‍ෂ 252.5ක් බවට වැඩි වෙනවා. කෘෂිකර්ම ගොඩනැගිල්ල වෙනුවෙන් පසුගිය වසර කිහිපය තුළ රු. ලක්‍ෂ 9065ක් වියදම් කොට තිබෙනවා.

නව කෘෂිකර්ම ඇමතිවරයා පිළිගන්නවා මෙම ගොඩනැගිල්ල වෙනුවෙන් නාස්තිකාර වියදමක් කරනවා කියලා. ඊට අමතරව මහ බැංකු ගනුදෙනුවෙන් කෝටි 1150ක් පාඩු වුණා. මේ විදිහට ආණ්ඩුවට සිදුවන පාඩු හොයාගන්න තමයි ජනතාවට බදු ගහන්නේ. මෝටර් සයිකලයෙන්, තී‍්‍ර වීලරයෙන් වැඩට යන දුප්පත් ජනතාවට ඉන්ධන මිල වැඩිකරලා දුම්රියන් බස් රියෙන් යන ජනතාවගේ ගාස්තුව වැඩි කරලා ආණ්ඩුව ලාභ ලබනවා. අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරනවා කිව්වට මේ වෙනකොට අධ්‍යාපනයේ බර දරන්නේ දෙමාපියන් විසින්.

පසුගියදා ඛනිජතෙල් සංස්ථාවේ ස්ථානීය මිලදී ගැනීම්වලින් කෝටි 1420ක් පාඩුකරගෙන තිබෙනවා. ඇමතිවරුන්ගේ ගෙවල්වලට වාහනවලට, පරිපූරක ඇස්තමේන්තු සම්මත කරගන්නවා. ඇමතිවරුන්ගේ වාහනවලට පමණක් කෝටි 150ක පරිපූරකයක් වෙන්කර ගත්තා. ඊට අමතරව ඇමතිවරුන්ගේ නිවාසවලට කෝටිය, එක හමාර බැගින් අලූත්වැඩියාව සඳහා වෙන්කර ගන්නවා. අගමැතිවරයාගේ වෙඩි නොවදින වාහන දෙකකට පමණක් රු. කෝටි 60ක වියදමක් කළා. ඒ නිසා ආණ්ඩුව තවමන්ගේ වියදම් පියවා ගන්න ජනතාව මත පටවන බදු වහාම ඉවත්කර ගත යුතුයි. අපේ රටේ සාමාන්‍ය පවුලක් මාසයකට මිලදී ගන්න බඩු මල්ලක මිල 2016-2017 වසර තුළ රු. 3049.50කින් ඉහළ ගොස් තිබෙනවා. 2017-2018 වසර තුළ රු. 1059.30කින් වැඩිවෙලා තිබෙනවා. ඒ අනුව මෙම යහපාලන ආණ්ඩුව කාලය තුළ සාමාන්‍ය ජනතාවගේ බඩු මල්ලේ මිල රු. 4108.80කින් වැඩිවෙලා තිබෙනවා. 2016 වසරේ 158ක් වූ පරිප්පු කිලෝව 2018 වසර වනවිට රු. 256 දක්වා වැඩිවෙලා තිබෙනවා. 2016දී රු. 216ක් වූ වියළි මිරිස් කිලෝව 2018 වනවිට රු. 280ක් දක්වා වැඩිවෙලා තිබෙනවා. රු. 52ට තිබුණු බී ළුෑණු කිලෝ එක 82 දක්වාත්, රු. 59ට තිබුණු සුදු හාල් කිලෝව 78 දක්වාත්, රු. 74ට තිබුණු කැඩුණු සහල් කිලෝව 76 දක්වාත් වැඩිවෙලා තිබෙනවා.

පාර්ලිමේන්තුව කල් දාපු ජනාධිපතිවරයා දෙවැනි සභාව ආරම්භ කරන කථාවේදී කයිවාරු ගැහුවා, රටේ ආර්ථිකය ශක්තිමත් කර තිබෙනවා කියලා. නමුත් රටේ ආර්ථිකය ශක්තිමත් වෙනවා නම් මේ විදිහට බඩු මිල වැඩිවෙන්නේ කොහොමද? කිරිපිටි මිල, ගෑස් මිල, ඉන්ධන මිල, බස් ගාස්තු, දුම්රිය ගාස්තු වැඩිවෙලා තිබෙනවා. ඉන්ඩ‍්‍රස්ටි‍්‍රයල් ගෑස් මිල වැඩිවීම නිසා එමගින් නිෂ්පාදනය කරන සියලූම භාණ්ඩවල මිල වැඩිවෙනවා.

මේ ආණ්ඩුව බංකොළොත් ආණ්ඩුවක්. වංචාව-දුෂණය-නාස්තිය වැඩිවෙලා තිබෙනවා. ආණ්ඩුව බලයට එනවිට රු. 131ක් වූ ඩොලරය අද රු. 160 දක්වා වැඩිවෙලා. රුපියල 20%කින් කඩා වැටිලා තිබෙනවා. ආනයනික භාණ්ඩ මිල වැඩිවෙලා තිබෙනවා. ණය පොලී වාරිකය වැඩිවෙලා තිබෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව බංකොලොත් ආණ්ඩුවක් කියලා ඔප්පු වෙලා ඉවරයි. ඒ වගේම අපි ආණ්ඩුවට බලකරලා කියනවා අසාධාරණ ලෙස වැඩිකල බදු බරත් ඉන්ධන මිලත් වහාම අඩුකළ යුතුයි කියලා.

ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික වසන්ත සමරසිංහ සහෝදරයා අදහස් දක්වමින්...

ආණ්ඩුව වැඩිකළ මෙම බදුබර අපේ රටේ වැඩකරන ජනතාව ඇතුළු සියලූම ජනතාවට බලපානවා. මේ ආණ්ඩුව එනකොට ආවේ නත්තල් සීයා වගේ. එහෙම ආපු ආණ්ඩුව තමන්ගේ නාස්තිකාර වියදම් වැඩිකර ගත්තා. පරණ බිල්ඩිම වල් වැදෙන තත්වයක් තුළ කෘෂිකර්ම අමාත්‍යාංශයට අලූත් බිල්ඩිමක් අරගෙන රු. ලක්‍ෂ 250ටක අධික මුදලක් මාසිකව ගෙවා දමනවා. ආණ්ඩුව දවසින් දවස ණය බර වැඩිකර ගන්නවා. 2017 ටෙන්ඩර් දාලා කැබිනට් අනුමැතිය ලබාගෙන තෙල් තොග 25ක් ගෙන්වන්නට සියලූ කටයුතු සූදානම් කොට තිබියදී ස්ථානීය මිලදී ගැනීමක් සිදුකරලා 2017 වසරේදී සංස්ථාවට රු. බිලියන 14ක් පාඩු කරනවා.

විදේශීය සංචිත වැඩි කරන්න කියලා 6%ක පොලියට ණය ලබාගෙන තිබෙනවා. ඒවා විදේශීය බැංකුවල තැන්පත් කොට ආණ්ඩුව පොලිය ලෙස ලබාගන්නේ 3%ක් පමණයි. මේ නිසා ආණ්ඩුව අහිමිකරගෙන තිබෙන මුදල ඩොලර් මිලියන 86ක් වෙනවා. 1%ට, 1.5%ට පොලියට ණය ලබාගන්න පුළුවන්කම තිබියදී ආණ්ඩුවේ වැඩපිළිවෙළක් නැතිකම විසින් ඉහළ පොලියට ණය ලබාගන්න සිදුවෙලා තිබෙනවා. මේ නිසා ආණ්ඩුව වසරකට බිලියන 60කට වඩා පාඩු ලබනවා.

ඒ විතරක් නෙවෙයි මේ ආණ්ඩුව කොටස් වෙළඳපොළ රැුකගන්න කියලා මේ රටේ පෞද්ගලික අංශයේ සේවකයින්ගේ සේවක අර්ථසාධක අරමුදල ආයෝජනය කරන්න කටයුතු කරමින් ඉන්නවා. අපේ රටේ කොටස් වෙළඳපොළත් කඩා වැටිලා. ඒකට ඉන්ජෙක්ෂන් ගහන්න සේවක අර්ථසාධක අරමුදලත් යොදා ගන්න ආණ්ඩුවට සිදුවෙලා. ආණ්ඩුවේ බැරිකම වහගන්න රටේ ජනතාවට දරාගන්න බැරි විදිහට බදු බර, බඩු මිල වැඩි කරනවා. ඒ නිසා මේ ආණ්ඩුවට එරෙහිව වැඩකරන ජනතාව ඇතුලූ පීඩාවට පත් සියලූම දෙනා සංවිධානය කොට වෘත්තීය කි‍්‍රයාමාර්ග ගන්න පක්‍ෂයක් ලෙසත් වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙසත් අපි කටයුතු කරනවා

. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත සහෝදරයා අදහස් දක්වමින්...

බදු බර ගැන, බඩු මිල ගැන අපේ රටේ ජනතාවට පැහැදිලි කළ යුතු නැහැ කියලා අපි හිතනවා. මොකද, ඔවුන් එදිනෙදා බඩු මිලදී ගන්නකොට ඔවුන්ගේ පර්ස් එකට ඒ බර දැනෙනවා. ඇමතිවරු ආර්ථිකය ගැන ලෙකු කතා කිව්වත් අගමැතිවරයා ආයෝජනය ගැන සංවර්ධනය ගැන පම්පෝරි ගැහුවත් බදු බර ගැන, බඩු මිල ගැන ජනතාවට හංගන්න පුළුවන්කමක් නැහැ.

ඒ නිසා තමයි අපි කියන්නේ ඒ බඩුමිල වැඩිවීම ගැන ලොකු පැහැදිලි කිරීම් අවශ්‍ය නැහැ කියලා. එදිනෙදා ටූත් පේස්ට් එක, බ‍්‍රෂ් එක, සබන් කෑල්ල, රේසරය ගන්න ජනතාවට ඒ බර හොඳට දැනෙනවා. එනිසා ඒකට තිබෙන්නේ එක උත්තරයක් පමණයි. පොදුජන අරගලයක් තුළින් බදු බර අඩුකරගත යුතුයි. එසේ නැතිනම් මේ ආණ්ඩුව ගෙදර යවන්න කටයුතු කළ යුතුයි. ආණ්ඩුව හම්බ කරන්නේ නැතිව ජනතාවගේ අතේ තිබෙන මුදල් උදුරා ගනිමින් ආණ්ඩුව කරන්න හදනවා. ඒක හරියට බූරු ගහන තාත්තා කෙනෙක් ගෙදර ඉන්නවා වගේ වැඩක්. බූරු ගහන්න සල්ලි නැතිවුනාම තමන්ගේ දරුවන් ළඟ තිබෙන මුදල් ටික, එහෙම නැත්නම් බිරිඳගේ රත්තරං බඩුටික හොරකම් කරන තාත්තා වගේ තමයි අපේ රටේ ආණ්ඩුවත්.

ඒ නිසා මේ තාත්තාට මොකද කරන්නේ කියලා කල්පනා කරන්න ඕනෑ. සමහර ගෙවල්වලින් ඒ වගේ තාත්තලා එළවලා දානවා. ඒ නිසා මේ ආණ්ඩුවට එරෙහිව මහ පාරේ වැඩබිමේ, අරගලයක් කරනවා හැර වෙන උත්තරයක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි බදු බරට එරෙහිව උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කොට තිබෙනවා. එහි පළවැනි කි‍්‍රයාමාර්ගය ලෙස පා ගමනක් සහ උද්ඝෝෂණයක් ලබන 22වැනිදා කොළඹදී පවත්වනවා. මේ සඳහා අපි ජනතාවට විවෘත ආරාධනයක් කරනවා. මේක පක්‍ෂයක වැඩක් ලෙස ගන්න එපා. මේ සටනට ජනතාවට එකතු වුණොත් පමණයි ආණ්ඩුවට දැනෙන්නේ. ඒ නිසා සාමාන්‍ය ජනතාවටත්, වෘත්තීය සමිති, ගොවි සමිති, ධීවර සමිති මෙන්ම තනි තනි පුද්ගලයින් ලෙස සහභාගි වෙන්න පුළුවන් සියලූ දෙනාටම අපි ආරාධනා කරනවා. ආණ්ඩුවට එරෙහිව දැවැන්ත සටනක් කළොත් පමණයි ආණ්ඩුව මේ පිළිබඳව අවධානය යොමු කරන්නේ.

මේ වෙනකොටත් ආණ්ඩුව, රනිල්ට බැහැ කියලා ඔප්පු කරලා ඉවරයි. රනිල්ට පුළුවන් කිව්වා. රනිල් පිරිසුදුයි කිව්වා. එහෙම කියපු රනිල් තමයි මහ බැංකුවට වැඬේ දුන්නේ. ඒවා තමයි මේ ජනතාවට ගෙවන්න සිදුවෙලා තිබෙන්නේ. අද රටේ අපනයන කඩා වැටිලා. ඒවාට වගකිව යුත්තේ ජනතාව නොවෙයි. ඒ නිසා මේ ආණ්ඩුවට එරෙහිව අඛණ්ඩ අරගලයක් සඳහා ගොවි ජනතාව, ධීවර ජනතාව ඇතුළු සියලූම දෙනාට අපි ආරාධනය කරනවා. ඒ වගේම මේ ආණ්ඩුවට අපි කියනවා, ආණ්ඩුව කරන්න බැරිනම් ජනතාවට පව් නොදී යන්න කියලා.

මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින්...

රටක ආදායම වැඩිකර ගන්නවා නම් ජනතාවට අලූතින් බදු ගහන්න ඕනෑ වෙන්නේ නැහැ. ආණ්ඩුවේ බංකොළොත්කම නිසා තමයි ජනතාවට අලූතෙන් බදු ගහන්න සිද්ධ වෙන්නේ. ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ වගේ දේවල් තේරුම් ගන්න කල් ගියාට ජනතාවට බඩු මිල වැඩිවීම එදිනෙදා දැනෙනවා. ආණ්ඩුව බලයට පත්වෙනකොට රු. 1000ට ගත්ත බඩු මල්ලේ ප‍්‍රමාණය අද හරි අඩකින් අඩු වෙලා.

මේ ආණ්ඩුව බලයට එනකොට ජනතාවට පොරොන්දු දුන්නා, බඩුමිල, බදු බර අඩු කරනවා කියලා. කිව්වා නම් දැන් ආණ්ඩුවට තියෙන්නේ කරලා පෙන්වන එකයි. එදාට වඩා තවමත් බඩුමිල අඩුයි කියලා පම්පෝරි ගහලා හරියන්නේ නැහැ.

අපේ රටේ ගොවියන්ට තිබෙන ප‍්‍රධාන ප‍්‍රශ්නය වන්නේ ඔවුන්ගේ නිෂ්පාදනවලට මිල තීරණය කිරීමේ අයිතිය ඔවුන්ට නැති වීමයි. ඒක තමයි ගොවියාගේ ප‍්‍රධාන ප‍්‍රශ්නය. ඒ ප‍්‍රශ්නයට තවමත් උත්තරයක් නැහැ. අපේ රටේ වෙන වෙන නිෂ්පාදකයින් ඔවුන්ගේ නිෂ්පාදනවල මිල තීරණය කරනවා. නමුත් ගොවියන් තමන්ගේ අස්වනු නෙලා ගත්තට පස්සේ වෙන කවුරු හෝ තීරණය කරන මිලකට නිෂ්පාදන අලෙවි කරන්න සිදුවෙනවා. ගොවියාගේ නිෂ්පාදනවලට වැයවන පිරිවැය පදනම් කරගනිමින් ඔවුන්ට මිල තීරණය කිරීමේ හැකියාව නොලැබෙන තාක්කල් ගොවියාට සාධාරණයක් ඉටුවන්නේ නැහැ.

යූ.ඇන්.පී. ආණ්ඩු ආවත්, ශී‍්‍ර.ල.නිප. ආණ්ඩු ආවත් මේ ප‍්‍රශ්නයට තවමත් උත්තරයක් ලැබිලා නැහැ. ඒනිසා අපි මේ වනවිටත් උත්සාහ කරමින් ඉන්නවා සියලූම ගොවි ව්‍යාපාර සංවිධානය කරමින් ගොවියා විසින් නිෂ්පදනවල මිල නියම කරන තත්වයකට පත්කර ගන්න. පිටිමිල වැඩිකරන කොට බේකරි හිමියන්ට තමන්ගේ නිෂ්පාදනවල මිල තීරණය කරන්න පුළුවන් නම් ගොවියාට තමන්ගේ අස්වැන්නේ මිල තීරණය කරන්න බැරි ඇයි? මේ ආණ්ඩු හැම එකක්ම ගොවියත් කෘෂිකර්මාන්තයත් විනාශ කරලා ඉවරයි.

අපි 20වැනි සංශෝධනය ඉදිරිපත් කරන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇතිකිරීමටයි. ඒ වෙනුවෙන් අපි 20 ජයග‍්‍රහණය කිරීමට කටයුතු කරනවා. ඒ නිසා අපි ඊළඟ ජනාධිපතිවරණයක් ගැන විශ්වාසය තබන්නේ නැහැ. අපේ රටේ ආර්ථික අර්බුදයට, ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගැනීමට, ජාතිවාදයට එරෙහිව අරගලයක් තිබෙනවා. මෙම ප‍්‍රශ්න තුනටම උත්තර ලබාගත යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් වැඩපිළිවෙළක් සහිත අඛණ්ඩ කි‍්‍රයාවලියක ජනතා විමුක්ති පෙරමුණ ඉන්නවා. එක එක අවස්ථාවලදී ගන්නා කි‍්‍රයාමාර්ග අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් සටන හෝ ආර්ථිකය වෙනුවෙන් කරන සටන ඉහළට එන්න පුළුවන්.

අපි තනි තනි පුද්ගලයින් ගණන් ගන්න දේශපාලන ව්‍යාපාරයක් නොවෙයි. අපි එදා අභියෝගයකට මුහුණ දෙන්න මහින්ද රාජපක්‍ෂ ගෙනාවා. ඒ වගේම අපි මහින්ද රාජපක්‍ෂ යවන්නත් කටයුතු කළා. චන්ද්‍රිකා බණ්ඩාරනායකත් ආවේ විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් දෙනවා කියලා. ඒත් කරගන්න බැරිවුණා. ඒ නිසා මෙම අර්බුදවලට තනි තනි පුද්ගලයන් විදිහට උත්තර හොයන්න බැහැ. මහින්ද කියන්නේ ගෝඨාභයට වඩා ‘පොරක්’ කියලනේ කියන්නේ. ඒත් මහින්ද රාජපක්‍ෂ ඇවිල්ලා රට විනාශ කරලා ගියා. ලංකාවේ හොරකම් උච්ඡුස්ථානයට ගෙනාවේ රාජපක්‍ෂ පාලනය කාලේ. ඒ නිසා රාජපක්‍ෂවරුන්ට රට හදන්න පුළුවන් කියලා අපේ රටේ ජනතාව විශ්වාස කරන්නෙත් නැහැ. රාජපක්‍ෂ පවුලේ දේශපාලනය අතින් ගත්තාම දුර්වලම පුද්ගලයා ගෝඨාභය රාජපක්‍ෂ. ඔහු විසින් ඉදිරිපත් කළ වැඩපිළිවෙළ අලූත් එකක් නෙවෙයි. එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව පහුගිය කාලයේ කථා කරමින් හිටපු ආර්ථික ප‍්‍රතිපත්තියම තමයි ගෝඨාභය රාජපක්‍ෂත් ඉදිරිපත් කළේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 9
බෙදාගන්න
ආණ්ඩුවේ දුෂණය පියවා ගන්න ජනතාව මත බදු ගැසීම අසාධාරණයි..! | Lanka Newsweek