ආණ්ඩුවේ අසමත්භාවය කුස්සියෙන් ඔප්පු වෙලා

ජනතාව ඡන්දය දුන්නේ ගෑස් සමාගම් වලට නොවෙයි ආණ්ඩුව ජනතාවට අවශ්‍ය ගෑස් පවා ලබාදීමට අසමත්ව ඇති බවත් ආණ්ඩුවේ අසමත්භාවය කුස්සියෙන් පවා ඔප්පු වී ඇති බවත් අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ලේකම් සමන්මලී…
ජනතාව ඡන්දය දුන්නේ ගෑස් සමාගම් වලට නොවෙයි
ආණ්ඩුව ජනතාවට අවශ්‍ය ගෑස් පවා ලබාදීමට අසමත්ව ඇති බවත් ආණ්ඩුවේ අසමත්භාවය කුස්සියෙන් පවා ඔප්පු වී ඇති බවත් අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ලේකම් සමන්මලී ගුණසිංහ මහත්මිය අවධාරණය කර සිටියාය.
අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ලේකම් සමන්මලී ගුණසිංහ මහත්මිය මේ බව කියා සිටියේ බදාදා(11) කොළඹ බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී වන අතර එහිදී තව දුරටත් අදහස් දැක්වූ ඇය මෙසේද පැවසුවාය.
මේ වනවිට කාන්තාවන් ඇතුළු රටේ පොදු ජනතාවට දැඩිව බලපාන කරුණු කිහිපයක් පිළිබඳව අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ අවධානය යොමු වී තිබෙනවා. විශේෂයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු එදිනෙදා ජීවිතයට අවශ්‍ය සියලුම භාණ්ඩවල මිල වේගයෙන් ඉහළ ගිහින් තිබෙනවා. ආහාර ද්‍රව්‍යවලට විශාල බදු ප්‍රමාණයක් නියම කර ජනතාවට පීඩාවට පත්කරන රටවල් අතර අපේ රට ඉහළින්ම තියෙනවා.
දැන්වීම
ආණ්ඩුව කියන විදිහට හතර දෙනෙකුගෙන් යුත් පවුලකට මාසයක් ජීවත් වෙන්න රුපියල් 65,000ක් අවශ්‍යයි. නමුත් මාසිකව රුපියල් 65,000ක් උපයන්න හැකියාව තියෙන පවුල් තියෙන්නේ කීයද? වතුකරයේ ජනතාවට තමන්ගේ දෛනික වැටුපෙන් 60%කට වැඩි ප්‍රමාණයක් ආහාර සඳහා වියදම් කරන්න වෙලා තියෙනවා. ග්‍රාමීයව ගත්තත් තත්වය මේ හා සමානයි.
කොරෝනා වසංගතයෙන් මරණ වරෙන්තුව අතේ තියාගෙන ඉන්න මොහොතේදී පවා අම්මලා කල්පනා කරන්නේ තමන්ගේ දරුවන්ට බතක් උයලා දෙන්නේ කොහොමද කියලා. මේ වෙලාවේදී ආණ්ඩුව අවශ්‍ය ගෑස් පවා ලබාදීමට අසමත් වෙලා. මේ රටේ ජනතාව ඡන්දය දුන්නේ ගෑස් සමාගම්වලට නෙවෙයි. මහා පරිමාණ කොන්ත්‍රාත්කරුවන්ට නෙවෙයි.
ජනතාව ආණ්ඩුවට ඡන්දය දුන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ ටිකවත් සහන මිලට ලබාගෙන ජීවත් වෙන්නයි. නමුත් ගෘහණියන්ට අද සිදුවී තිබෙන්නේ ගෑස් පෝලිම්වල පවා රස්තියාදු වෙන්නයි. විශේෂයෙන්ම නාගරික සහ ග්‍රාමීය ජනතාව අතර විශාල ප්‍රමාණයක් විවිධ රැකියාවලට යන කාන්තාවන් සිටිනවා. ගෑස් ඔවුන්ගේ අත්‍යාවශ්‍ය භාණ්ඩයක් වී තිබෙනවා.
කොළඹ මහල් නිවාසවල ජනතාව ගෑස් ගෙන්වන්න පෝලිමේ ඉඳලා ගෑස් නැතිව හිස් අතින් යන්න සිදුවී තිබෙනවා. මේ තත්වය ඉබේ ඇතිවුණ එකක් නෙවෙයි. ගෑස් හිගයක් ඇතිවන බව ආණ්ඩුවත් ගෑස් සමාගමුත් දන්නවා. ගෑස් සමාගම් තමන්ගේ පාරිභෝගිකයන්ට ගෑස් ලබාදීමට බැඳී සිටිනවා.
නමුත් තම පාරිභෝගිකයන්ට ගෑස් ලබාදීමට නොහැකි බව සමාගම් තීරණය කරන්නේ රුපියල අවප්‍රමාණය වීම සහ ලෝක වෙළඳපොළේ ගෑස් මිල වැඩිවීමෙන් විශාල පාඩුවක් දරන්න සිදුවී ඇති බව කියලයි.
මේ නිසා ගෑස් බෙදාහැරීමෙන් ඉවත් වන බව සමාගම් කියනවා. නමුත් ලෝක වෙළඳපොළේ ගෑස් මිල අඩුවී තිබියදී මේ සමාගම් විශාල ලාභයක් ගත්තා. නමුත් ගැටලුව වන්නේ මේ ආණ්ඩුවත් ගෑස් සමාගමුත් ලාභ අත්වෙනකොට විශාල වශයෙන් ලබාගන්නා ලාභයෙන් කොටසක් මේ අසීරු අවස්ථාවේ ලබා නොදීමයි. ඇත්තටම දැන් තිබෙන්නේ ආණ්ඩුව සහ ගෑස් සමාගම් එකතුවෙන් නිර්මාණය කරගත් අර්බුදයක්.
ඒක කොරෝනා නිසා ආපු අර්බුදයක් නෙවෙයි. අවුරුදු 73ක් තුළ රටේ පාලනය ජනතාවට අත්කර දී තිබෙන්නේ මොනවාද? අපේ ආර්ථික දේහය තුළ තිබෙන කශේරුව වැනි බලශක්තිය කළමනාකරණය කිරීමේ වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැති බව ගෑස් අර්බුදයෙන් ඔප්පු වී තිබෙනවා. වෙනත් රටවල් නළ මගින් තමන්ගේ ජනතාවට ගෑස් ලබාදුන්නේ මීට අවුරුදු 100කට කලින්.
උදාහරණයක් හැටියට 1950 වෙද්දී සෝවියට් දේශයේ සියලුම නාගරික නිවාසවලට නළ මාර්ගයෙන් ගෑස් ලබාදුන්නා. නමුත රොකට් යවනවා යැයි කියන ආණ්ඩුවට ගෘහණියන්ගේ ලිපට ගෑස් ලබාදෙන්න බැරිවුණා.
ඒ වගේම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල වැඩිකිරීමෙන් හෙට දවසේ උද්ගත වන තත්වය මීට වඩා භයානකයි. රටට අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වන්න ඩොලර් හිඟයක් තියෙනවා. මේ නිසා කළු කඩයේ ඩොලර් එකකට රුපියල් 250ක් විතර ගෙවන ව්‍යාපාරයක් තියනේනෙ. මේ නිසාම හිතුමතේ බඩුමිල ඉහළ දාන්න හැකි වෙනවා.
ඒ වගේම 2020 දී කෘෂිකර්මාන්තයෙන් ජාතික ආදායමට ලැබුණු දායකත්වය රු. කෝටි 84,000යි. මේ ජාතික ආදායම ගොවියාගේ පොහොර ප්‍රශ්නයත් එක්ක කඩා වැටෙනවා. මේ නිසා ජනතාවගේ ආහාර ලබාගැනීම කඩා වැටෙනවා. ගොවියට පොහොර ටික නැතිවී කන්න බත් නැතිවෙනවා. ගෘහණියට ගෑස් නැතිව ලිප පත්තු වෙන්නේ නැහැ.
පවතින විවෘත ආර්ථිකය තුළ අපේ රටේ සම්පත් විදේශ සමාගම්වලට දීමේ ප්‍රතිඵල අද අපි අත්විඳිනවා. ආණ්ඩුව අසමත් කියන එක අද වෙනකොට කුස්සියෙනුත් පෙන්වන්න පුළුවන්. ළමයාට අධ්‍යාපනයත් නැහැ. ලිප පත්තු කරන්න ගෑස් නැහැ. ගෘහණියට පාරට බැහැලා ගෑස් ඉල්ලන්න සිද්ධ වෙනවා නම් මේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම අසමත්. ඒ නිසා අපි ජනතාවට කියන්නේ ඔබව ජීවත් කරවන අලුත් ජීවිත මොඩලයක්, ජීවන දර්ශනයක් ඕනෑ බවයි.

- සරෝජා සාවිත්‍රී පෝල්රාජ්-
අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපති සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය මෙසේ පැවසීය.
මේ වනවිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟයක් සහ මිල ඉහළ යාම දිගින් දිගටම සිදුවෙනවා. මේ අසීරු අවස්ථාවේ ජනතාව මේ පීඩනය දරාගෙන ඉන්නේ එක පැත්තකින් රෝග බිය සහ අනෙක් පැත්තෙන් මර්දනකාරී ක්‍රියාමාර්ග අතර මැදයි. ඒ නිසා ඔවුන්ගේ හඬ නියෝජනය කරමින් ජනතාව වෙනුවෙන් අපේ සංවිධානය මෙම කරුණු පැහැදිලි කිරීම කරනවා.
මේ ආණ්ඩුවට මුලින්ම කියන්න ඕනෑ, දැන් පීඩාවට පත්කරමින් ඉන්නේ ඔබව බලයට පත්කළ ජනතාව බව. මේ වසංගත මොහොතේ ආණ්ඩුව තීරණ ගත යුත්තේ ජනතාව ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන්. එහෙම නොවුණොත් ජනතාවට සිද්ධ වෙනවා තවදුරටත් පීඩනයන් දරාගෙන ඉන්නවාද කියන දේ කල්පනා කරන්න. අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ යාම වගේම පවතින දැඩි ගෑස් හිඟය සම්බන්ධයෙන් විවිධ කතා ආණ්ඩුව කියනවා. නමුත් ආණ්ඩුවට ජනතාව සම්බන්ධයෙන් වන වගකීම පැහැර හරින්න බැහැ.
වසංගතය ඇතිවුණු මොහොතේ පටන් ආණ්ඩුව දූරදර්ශීව ක්‍රියා කළේ නැහැ කියන එක කවුරුත් දැන් දකිනවා. වසංගතය රටට ඇතුල්වුණු 2020 මාර්තු මාසයේ ඉඳලම ආණ්ඩුවට කිසිම පුරොකථනයක් තිබුණේ නැහැ. කොවිඞ් වසංගතය ගැන, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු පාරිභෝගික භාණ්ඩ ගැන, ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ගැන, ජනතාවගේ ආදායම් මාර්ග කඩාවැටීම ගැන, විදේශ විනිමය උපයන මාර්ග කඩා වැටීම ගැන කිසිම පුරෝකතනයක් ආණ්ඩුවට තිබුණේ නැහැ.
මේ නිසා කිසිම පෙර සූදානමක් ආණ්ඩුවට තිබුණේ නැහැ. එහෙම ආණ්ඩුවක් දැන් ජනතාවට සියලු චෝදනා පටවමින් ඉන්නවා. මේ රට තුළ ගෑස් සිලින්ඩර් ලක්‍ෂ 101ක් භාවිතා වෙනවා. ඒ අතරින් ලක්‍ෂ 29ක් කහ පාට ගෑස් සිලින්ඩර් පාරිභෝගිකයන්.
ඔවුන් මේ වනවිට දැඩි අර්බුදයකට ලක්වී සිටිනවා. අනෙක් පැත්තෙන් නිල් පාට ගෑස් සිලින්ඩර් භාවිතා කරන්නන්ට ඉල්ලුම ලබාදීමට අසමත් වී තිබෙනවා. නමුත් ආණ්ඩුව කියන්නේ කිසිදු ගෑස් හිඟයක් නැහැ කියලා.
මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා පසුගිය ජනාධිපතිවරණයේදී කීවේ සල්ලි හොයන හැටි අපි දන්නවා කියලා. නාමල් රාජපක්‍ෂ ඇමතිවරයා කීවේ අපිට සල්ලි තියෙනවා කියලා. දැන් ජනතාවගේ සියලු සහන කපා හැරලා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ දාලා ගෙනයන ක්‍රියාමාර්ගය ගැන අපි දැඩි අවධානයෙන් ඉන්නවා.
ජනතාව ගැන මීට වඩා හිතන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා. සැමන් රු. 100ට පරිප්පු රු. 65ට දෙන්න බලයට පැමිණි ආණ්ඩුව මේ වෙනකොට සැමන් ටින් එකක් රු. 345දක්වා ඉහළ යන්න ඉඩ ඇරලා. 2019 අවසානයේදී රු. 85ට තිබුණු සම්බා හාල් කිලෝ එක අද රු. 150ට වඩා ඉහළයි. හොඳම වර්ගයේ හාල් කිලෝවක් රු. 225 ඉක්මවලා. සාමාන්‍ය කැකුලු හාල් කිලෝ එක රු. 100 පැනලා. පරිප්පු 170යි. සීනි කිලෝ එක රු. 150යි. කහ කුඩු මිල නැවත ඉහළ ගිහින්. රතුළුෑණු කිලෝ එක රු. 550ක් වෙලා. වියළි මිරිස් රු. 550යි. මේ විධිහට දරුණු මිල ඉහළ යාමක් තිබෙනවා.
භාණ්ඩ මිල වැඩිවමට සාපේක්‍ෂව ජනතාවගේ ආදායම් ඉහළ ගියාද කියලා අපි ප්‍රශ්න කරනවා. භාණ්ඩ මිල අහස උසට නගිද්දී රාජ්‍ය සේවයකයන්ට කිසිදු වැටුප් වැඩිවීමක් කර නැහැ. පසුගිය දශකයක් තුළ සියලු ආණ්ඩු භාණ්ඩ මිල ඉහළ යාමට සාපේක්‍ෂව ජනතාවගේ ආදායම් ඉහළ යන ආර්ථිකයක් ගොඩනැගුවේ නැහැ. නමුත් ආණ්ඩුවේ වියදම් කිසිවක් අඩුකර නැහැ. දිගටම සාද පවත්වලා තියෙනවා. වසංගය මේ තරම් ව්‍යාප්ත වීමට පවා ආණ්ඩුවේ කටයුතු බලපා තිබෙනවා.
ගම සමඟ පිළිසඳර, බැසිල් රාජපක්‍ෂ ඇමතිවරයා දිවුරුම් දීම පිළිබඳ සාද පැවැත්වීම, සිදුකළ ආකාරය අපි දැක්කා. නමුත් ගුරුවරුන්ගේ කොවිඞ් පොකුරක් හොයන්න ආණ්ඩුව උත්සාහ කළා. මේ වෙනකොට ගුරු පොකුරු වෙනුවට වෙනත් පොකුරු නිර්මාණය වෙලා. දුරස්ථභාවය රැකගන්න කියන ආණ්ඩුව පොදු මගී ප්‍රවාහන බස්රථ වැඩිකර නැහැ. කාර්යාලවල සේවය කරන අයට අවශ්‍යම ප්‍රවාහන පහසුකම් ලබාදී නැහැ.
මේ හැම දේකටම වැඩිය අවශ්‍යම මොහොතේදී ලංකාවට එන්නත් ලබා ගත්තේ නැහැ. කළගෙඩි ගඟට දැම්මා, පැණි හඳුන්වා දුන්නා. මිත්‍යාව වැපිරුවා. අවශ්‍ය මොහොතේදී එන්නත් ලබා ගත්තා නම් මේ වෙනකොට විශාල වශයෙන් ආසාදිතයන් අඩුකර ගන්න තිබුණා. දැන් ආණ්ඩුව ජනතාව වගකීම් විරහිතව කටයුතු කරන බවට චෝදනා කරනවා. නමුත් වගකීම් විරහිතව වැඩකරමින් සිටියේ සහ සිටින්නේ ආණ්ඩුවයි.
මේ වනතුරුත් ආණ්ඩුවේ කිසිම අමාත්‍යවරයෙකුගේ පෞද්ගලික වියදම් කපාහැර නැහැ. වෙනත් නාස්තිකාර වියදම් සහ වාහන ගෙන්වීම් නතර කර නැහැ. ජනාධිපතිවරයාගේ පටන් අමාත්‍ය මණ්ඩලයේ සියලු දෙනාම එක රථයක්වත් කපාහැර නැහැ. එහෙම තියෙද්දී ජනතාවට පටි තද කරගන්න කියනවා නම් ඒ වෙනුවෙන් ආණ්ඩු ඕනෑ නැහැ. ජනාධිපතිවරයාගේ පටන් ආණ්ඩු පාර්ශ්වයේ සියලු ඇමතිවරුන් කැපකිරීම් කළ යුතුයි.
කාර්යාල නඩන්තුව ඇතුළු සියලු වියදම් උපරිමයෙන් කපා හැර ආදර්ශ දිය යුතුයි. එවැනි කැපකිරීම් කරන ලෙස අපි ආණ්ඩුවට බල කරනවා. රාජ්‍ය සේවකයාට ලබාදෙන වැටුප බරක් හැටියට පෙන්වන්න ආණ්ඩුව උත්සාහ කරනවා. නමුත් සියලු ක්‍ෂේත්‍රවල සංසරණය වෙන්නේ මේ ලබාදෙන වැටුප් මුදල්.
මිලදී ගැනීමේ හැකියාව රජයේ සේවකයාට තිබෙනවා නම් පලා මිටියක් විකුණන කෙනාගේ ඉඳලා මහා පරිමාණ ව්‍යාපාරිකයා දක්වා මුදල් සංසරණය වෙනවා. නමුත් රජයේ සෙවකයන් නිසි වැටුප් සහ හිමිවිය යුතු වැටුප් ඉල්ලන හැම මොහොතකම ඒ ඉල්ලීම් හෙළා දකිනවා. ජනතාව සහ රජයේ සේවකයන් කුළල් කා ගන්නා තැනට භේදබින්න කිරීමට ආණ්ඩුව උත්සාහ කරනවා.
නමුත් අපි අවධාරණය කරන්නේ එදිනෙදා දෛනික ආදායම් ලබන අය අතරේ මුදල් ගැවසෙන්න නම් රජයේ සේවකයන්ට ප්‍රශස්ත වැටුපක් තියෙන්න ඕනෑ. ආණ්ඩුවේ නාස්තිකාර වියදම් ඉදිරියට ගෙන යමින් අලංකාර නගර සියයක් වෙනුවෙන් මුදල් වෙන්කළා. හැබැයි රෝහල්වලට ඇඳන් ඇතුළු අත්‍යවශ්‍ය පහසුකම් ලබාදෙන්න මුදල් වෙන් කරන්නේ නැහැ.
කායවර්ධන මධ්‍යස්ථාන 500ක් දාන්න මුදල් වෙන් කරනවා. මේ වගේ සැරසිලිකාර ව්‍යාපෘතිවලින් මහා පරිමාණ මූල්‍ය වංචාවන් කරන්න මුදල් වෙන් කරනවා. නමුත් රජයේ සේවකයෝ වෙනුවෙන් අවශ්‍ය මුදල් වෙන් කරන්නේ නැහැ. නෙළුම් කුළුණ ඉදිකරන්න විශාල මුදලක් වැය කළත් රෝහල්වල අත්‍යවශ්‍ය පහසුකම් වෙනුවෙන් සල්ලි වියදම් කරන්නේ නැහැ. ආණ්ඩුවේ මේ අතාර්කික වැඩ ගැන ජනතාව දැන් තේරුම් ගනිමින් ඉන්නවා. ආණ්ඩුව දැන්වත් මේ නාස්තිකාර වියදම් නතර කර ජනතාවගේ අත්‍යාවශ්‍ය සුභසාධන වෙනුවෙන් ප්‍රමාණවත් මුදල් වෙන්කළ යුතුයි.
මේ මොහොතේ ආණ්ඩුව පාර්ශ්වයෙන් කළ යුත්තේ ජනතාව වෙනුවෙන් වගකීම සහ වගවීම.නමුත් කෙහෙළිය රඹුක්වැල්ල මාධ්‍ය ප්‍රකාශක කැබිනට් තීරණ දැනුම් දෙමින් කියන්නේ වෙන කතාවක්. එන්නත් ලබාදීම සිදුකර ඉතුරු ටික දෙවියන්ට බාර දෙන බව ඔහු කියා තිබෙනවා. ජනතාව ආණ්ඩුව බාර දුන්නේ දෙවියන්ට නෙවෙයි. රටම දෙවියන්ට බාර දෙන්න නෙවෙයි ජනතාව ආණ්ඩුව පත්කර ගත්තේ.
තමන්ගේ ජීවිත බාර දුන්නේ ආණ්ඩුවට. ආණ්ඩුව දැන් කියනවා නම් ජීවිත දෙවියන්ට බාරයි කියලා අපිට කියන්න තියෙන්නේ ආණ්ඩුව දෙවියන්ට බාරයි කියලා. ඊළඟ සැරේදී දෙවියන්ගෙන් ඡන්දය ඉල්ලගෙනයි ආණ්ඩුව පිහිටුවන්න වෙන්නේ. ජනතාව ඡන්දය දෙන එකක් නැහැ. ජනතාව සම්බන්ධයෙන් වගකීම මේ විදිහට කර ඇරලා, පයින් ගහලා යන්න ආණ්ඩුවට පුළුවන්කමක් නැහැ.
මේක ජාතික ව්‍යසනයක් සේ සලකා කටයුතු කරන්න කියලා අපි නොඑක් වර යෝජනා කළා. ඒ සියල්ලටම පයින් ගැහුවා. ආණ්ඩුව රාජ්‍ය සේවකයන් ජනතාවගේ සතුරන් බවට මවා පෙන්වන්න උත්සාහ කරනවා. දැක්මක් නැති ආණ්ඩුවකට ගමනක් නැහැ. ජනතාවගේ පනිවුඩයක් හැටියට අපි ආණ්ඩුවට කියන්නේ රෝ බිය, දුර්භික්‍ෂ බිය, සහ මරණීය බිය ආදී සියල්ලෙන් විශාලා මහනුවරක් බවට රට පත් නොකරන ලෙසයි.
එන්නත්කරණය, ජනතාවගේ එදිනෙදා ජීවන ගැටලු, ඖෂධ හිඟය, අත්‍යාවශ්‍ය භාණ්ඩ ගෙන්වා ගැනීම ආදී සියල්ල පිළිබඳව මනා කළමනාකරණයක් සහ සැලසුමක් තියෙන්න ඕනෑ. නමුත් ආණ්ඩුවට මේ කිසිවක් නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ ඔබේ අසමත්කමට පීඩා විඳින්න ජනතාවට ඉඩ දෙන්න එපා කියලා. ජනතාව දැඩි පීඩනයක ඉන්න වෙලාවක ආණ්ඩුවේ දුර්වලතා ජනතාවගේ කර පිටින් යවන්න එපා කියලා ආණ්ඩුවට අවධාරණය කරනවා.