අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ආණ්ඩුවට එරෙහිව කොළඹට 70,000ක් ඇවිත්..!

ආණ්ඩුවට එරෙහිව කොළඹට 70,000ක් ඇවිත්..!

පොලිස් බුද්ධි වාර්තා තහවුරු කරයි..! ලක්ෂයකට අධික ජනකායක් ආ බව නිල නොවන ආරංචි කියයි..! ඒකාබද්ධයේ ජ්‍යෙෂ්ඨයින්ගෙන් නාමල්ට කෙණහිලි..! කොළඹට ආ ජන බලයේ තිරය පිටු පස කතාව මෙන්න..! (සුමුදු පෙරේරා) ඒකාබද්ධ…

පොලිස් බුද්ධි වාර්තා තහවුරු කරයි..!

ලක්ෂයකට අධික ජනකායක් ආ බව නිල නොවන ආරංචි කියයි..!

ඒකාබද්ධයේ ජ්‍යෙෂ්ඨයින්ගෙන් නාමල්ට කෙණහිලි..!

කොළඹට ආ ජන බලයේ තිරය පිටු පස කතාව මෙන්න..!

ආණ්ඩුවට එරෙහිව කොළඹට 70,000ක් ඇවිත්..!

(සුමුදු පෙරේරා)

ඒකාබද්ධ විපක්ෂය ප්‍රධාන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මගින් කොළඹදී ඊයේ (05) සංවිධානය කෙරුණු විරෝධතා ව්‍යාපාරයට හැත්තෑදහසකට අධික ජනකායක් එක්ව ඇතැයි පොලිස් බුද්ධි වාර්තා පෙන්වා දී තිබේ.

මේ සම්බන්ධයෙන් නිල වාර්තාවක් බුද්ධි අංශ ඊයේ (05) රාත්‍රියේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් වෙත යොමු කර තිබෙන අතර එහි දක්වා ඇත්තේ විරෝධතා ව්‍යාපාරය සඳහා 70.000 ඉක්මවූ ජනකායක් කොළඹට පැමිණි බව යැයි රජයේ ඉහළම පෙළේ ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

“රට වනසන ආණ්ඩුව පළවා හරිමු-කොළඹ වටලමු” යන තේමාව යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම “ජන බල මෙහෙයුම” විරෝධතා ව්‍යාපාරය පැවැත්විණ.

කෙසේ නමුත් රට වටෙන්ම කොළඹට ආ මේ අති විශාල ජනකාය නිවැරදිව මෙහෙයවමින් සහ සංවිධානය කරමින් කලින් සැලසුම් කර තිබූ පරිදි පසුදා (06) උදේ 10.00 වන තුරු එම ජනයා කොළඹ කොටුවේ රඳවා ගෙන විරෝධතා ව්‍යාපාරය සාර්ථක ලෙස කූටප්‍රාප්තියට ගෙන එන්න හම්බන්තොට දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපොහොසත් වී තිබේ.

ඊට හේතු වී තිබෙන්නේ ඒකාබද්ධ විපක්ෂය ප්‍රධාන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයින් සිය ගම්බිම්වලින් ජනතාව කොළඹට ගෙන්වා සිය බලය ප්‍රදර්ශනය කළත් විරෝධතා ව්‍යාපාරය කොළඹදී සංවිධානාත්මක ලෙස සාර්ථක කර ගැනීමට ඒ අය නාමල් රාජපක්ෂ මහතාට සහය ලබා නොදී මඟ හැර සිටීමය.

මේ විරෝධතා ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම සංවිධානය කිරීමේ වගකීම මුලින්ම පවරා තිබුණේ මහින්දානන්ද අලුත්ගමගේ සහ රෝහිත අබේගුණවර්ධන යන මන්ත්‍රීවරුන්ට අපේක්ෂා කළ පරිදි ඒ අයගෙන් එම රාජකාරිය නිසි අයුරින් සිදු නොවන පෙනීයාම හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතා එම වගකීම පසුව නාමල් රාජපක්ෂ මහතාට පවරා ඔහුට සහය ලබාදීමේ වගකීම ඩලස් අලහප්පෙරුම මහතාට පැවරීය.

ඒ අනුව විරෝධතා ව්‍යාපාරය මුළුමනින්ම නාමල් රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය සහ උපදෙස් මත සංවිධානය වූ අතර කොළඹට ජනතාව එක් රැස් වූ පසුව එම ජනතා ව්‍යාපාරය සංවිධානය කිරීමේ වගකීම ද පැවරී තිබුණේ නාමල් රාජපක්ෂ මහතාටය.

රාත්‍රී කාලයේ කොළඹට තවත් ජනකායක් ගෙන්වීමේ වගකීම පැවරී තිබුණේ ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ප්‍රසන්න රණතුංග යන මන්ත්‍රීවරුන්ට වන අතර රක්ෂිත බන්ධනාගාරව සිටීම හේතුවෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට ඊට දායකත්වයක් ලබාදීමට නොහැකි වී තිබේ.කෙසේ නමුත් ප්‍රසන්න රණතුංග මහතා ද  අවසානයේදී කලින් භාර ගත් පරිදි තවත් පිරිස් රාත්‍රී කාලයේදී ගෙන ඒමේ වගකීම පැහැර හැර තිබේ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ද මේ විරෝධතා ව්‍යාපාරයට සැලකිය යුතු දායකත්වයක් නොලැබී ඇති අතර විරෝධතාවයට එක්වූ ඔහු කොටුව බෝධියට මල් පූජා කිරීමෙන් අනතුරුව මාධ්‍යට ප්‍රකාශයක් දී එම ස්ථානයෙන් නික්ම ගොස් තිබේ.

රාත්‍රී පහන් වන තුරු කොළඹ කොටුවේ රැකවල්ලා සිටින ජනතාවගේ රාත්‍රී ආහාර වෙනුවෙන් පහළොස් දහසකට සීනි සම්බෝල සහ පාන් ද තවත් කෑම පාර්සල් දස දහසක් ද ඇණවුම් කර තිබිණ.සීනි සම්බෝල සහ පාන් “ටෙස්ටාර් බේකර්ස්” ආයතනයෙන් ද කෑම පාර්සල් “ධනන්ජි” හෝටලයෙන් ද ඇණවුම් කර තිබිණ.

ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ ජ්‍යෙෂ්ඨයින්ගේ සහයෝගයක් නොමැතිවීම හේතුවෙන් කොළඹ කොටුවේ රැය පහන් වන තුරු සිටීමට සැලකිය යුතු පිරිසක් ඉතිරි නොවූ නිසා රාත්‍රී 12.10ට පමණ එම ස්ථානයෙන් විසිර යන ලෙසට ඒ වන විට රැස්ව සිටි ජනතාවට දැනුම්දීමට නාමල් රාජපක්ෂ මහතාට සිදු වූ අතර ඩලස් අලහප්පෙරුම මහතා ද එම තීරණය අනුමත කර තිබේ.ඒ අවස්ථාවේ ඒ වන විට එම ස්ථානයේ සිටි ඇත්තේ දහසක පමණ පිරිසකි.

සවස 4.00 ට පමණ විරෝධතා ව්‍යාපාරයට එක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විරෝධතා ව්‍යාපාරයේ අවසන් මොහොත සාර්ථක ලෙස සංවිධාන  කර නොමැති බවත් ඊට හේතු වී තිබෙන කරුණු කාරණා පිළිබඳවත් මනා අවබෝධයක් ලබා ගෙන ඇති අතර සවස 5.00 ට පමණ එම ස්ථානයෙන් නික්ම ගොස් තිබෙන්නේ සියලු දෙනාටම දොස් පැවරීමෙනි.

උද්ගත වී තිබෙන තත්ත්වය ඒ තරම් හොඳ නැති බව තේරුම් ගෙන ඇති ඩලස් අලහප්පෙරුම සහ මහින්දානන්ද අලුත්ගමගේ යන මන්ත්‍රීවරුන් ඒ වන විට කොළඹ “ටාජ් සමුද්‍ර” හෝටලයේ නැවතී සිටී මහින්ද රාජපක්ෂ මහතාව රාත්‍රී 8.30 ට පමණ යළි කැඳවා ගෙන පැමිණ තිබේ.කෙසේ නමුත් ඒ අවස්ථාවේදීත් වැඩි වේලාවක් එහි රැදී නොසිටි මහින්ද රාජපක්ෂ මහතා විනාඩි දෙකක පමණ කතාවක් කර එම ස්ථානයෙන් නික්ම ගොස් තිබේ.

මේ අතර නාමල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු කණ්ඩායම නවාතැන් ගෙන ඇත්තේ කොළඹ “හිල්ටන්” හෝටලයේ 19 වැනි තට්ටුවේ අංක 913,911 සහ 917 යන සුඛෝපභෝගී කාමරවල වන අතර එම කාමර ඇණවුම් කර ඇත්තේ ගාමිණී අබේරත්න නොහොත් “ටැක්සි අබේ”ගේ නමිනි.

ආණ්ඩුවට එරෙහිව කොළඹට 70,000ක් ඇවිත්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
ආණ්ඩුවට එරෙහිව කොළඹට 70,000ක් ඇවිත්..! | Lanka Newsweek