අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අසාධාරණ ලෙස වැඩි කළ විදුලිය ගාස්තුවට එරෙහිව විපක්ෂ නායක ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

අසාධාරණ ලෙස වැඩි කළ විදුලිය ගාස්තුවට එරෙහිව විපක්ෂ නායක ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

විදුලි බල මණ්ඩලය ලැබූ රුපියල් බිලියන 52ක ලාභයෙන් ජනතාවට සහන දෙනු විදුලිය ගාස්තු අඩු කරනු විෂය භාර ඇමති හිට්ලර් කෙනෙකු නොවී මහත්මා ගාන්ධි කෙනකු විය යුතුයි විපක්ෂ නායක ජනතාව වෙනුවෙන් යළිත් හඬ නගයි…

විදුලි බල මණ්ඩලය ලැබූ රුපියල් බිලියන 52ක ලාභයෙන් ජනතාවට සහන දෙනු 

විදුලිය ගාස්තු අඩු කරනු  

විෂය භාර ඇමති හිට්ලර් කෙනෙකු නොවී මහත්මා ගාන්ධි කෙනකු විය යුතුයි 

විපක්ෂ නායක ජනතාව වෙනුවෙන් යළිත් හඬ නගයි 

විදුලි බල මණ්ඩලය පසුගිය මාස කිහිපයේ දී රුපියල් බිලියන 52ක විශාල ලාභයක් ලබා ගෙන ඇති මොහොතක එම ලාභය රටේ විදුලි පාරිභෝගිකයන්ට සහනයක් ලෙස ලබා නොදීමත් අධික ලෙස විදුලි බිල වැඩි කිරීම නිසා එම විදුලි බිල ගෙවා ගත නොහැකි විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 8කගේ විදුලිය කපා දැමීම සහ ඒ හේතුවෙන් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පවසමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳුදා (08) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. 

"මහ ජන භාරය" යන මූලධර්මය යටතේ ලක්ෂ සංඛ්‍යාත විදුලි පාරිභෝගිකයන්ගේ අයිතීන් සුරක්ෂා කිරීම උදෙසා මහ ජන උපයෝගීතා කොමිසම, ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි බල සහ බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර, එම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. ඩී. යූ. කේ. මාපා පතිරණ සේම නීතිපතිවරයා වගඋත්තරකරුවන් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ ෆර්මාන් කාසිම් මහතා මෙම පෙත්සම ගොනු කළේය. 

ඇස්තමේන්තු ගත ජල විදුලි ජනනය ගිගාවොට් පැය 3750 සිට 4510 දක්වා ඉක්මවා යාමත්, විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 400කින් අඩු වීම නිසා රුපියල් බිලියන 26ක් සහ විදුලි ඒකකයක මිල සියයට 18කින් වැඩි කිරීම නිසා රුපියල් බිලියන 26ක් බැගින් රුපියල් බිලියන 52ක් විදුලි බල මණ්ඩලය ලාභ ලබා ඇති මේ මොහොතේ එම ලාභය රටේ විදුලි පාරිභෝගිකයන්ට සහනයක් ලෙස ලබා නොදී තව දුරටත් විදුලි පාරිභෝගිකයන්, ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ඇතුළු සමස්ත ජනතාවම පීඩාවට පත් කරමින් කටයුතු කිරීමට එරෙහිව මෙම පෙත්සම ගොනු කර තිබේ. 

දැන්වීම

මෙහි දී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ, රටේ කාර්යක්ෂම විදුලි ජනන ප්‍රතිපත්තියක් නොමැති වීම නිසා විදුලිය උත්පාදනය කිරීමේ දී සහ කාර්යක්ෂමව සේවාවක් සැපයීමේ දී ගැටලු රාශියක් පවතින බවත් පුනනර්ජනනීය බල ශක්ති හරහා විදුලි ඒකකයක මිල අඩුවට ලබා දිය හැකි මොහොතක එම හැකියාව කේන්ද්‍ර කර ගත් වැඩ පිළිවෙළක් රටේ නොමැති වීම විශාල ගැටලුවක් බැවින් සියලුම විදුලි පාරිභෝගිකයන්ගේ අයිතිය වෙනුවෙන් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කළ බවය.

එසේ ම මේ තුළින් විදුලි මිල පහළ දමන ලෙසත් ඒ උදෙසා මහ ජන උපයෝගීතා කොමිසම වැඩ කටයුතු සිදු කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් කියා සිටියේ මෙසේ ලැබූ ලාභය ජනතාවට ලබා දිය යුතු බවත් ඊට අමතරව දුප්පත් විදුලි පාරිභෝගිකයන්ට නව මිල සූත්‍රයක් හරහා විදුලි ලබා දෙන ලෙස ද ඉල්ලා සිටී බවත්ය.

තවද රටේ සමස්ත විදුලි පාරිභෝගිකයන් සම්බන්ධ නිවැරදි දත්ත විදුලි බල මණ්ඩලය හෝ විදුලි බල අමාත්‍යාංශය සතුව නොමැති බවත් එම ආයතන දෙක සතුව ඇති දත්තයන්ගේ පරස්පරතා දක්නට ලැබෙන බවත් එවැනි පරස්පරතා තිබියදී විෂය භාර අමාත්‍යවරයා විවිධ අනපනත් ඉදිරිපත් කිරීම පුදුම සහගත බවත් පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා විෂය භාර අමාත්‍යවරයාට කියන්නට ඇත්තේ හිට්ලර් කෙනෙකු නොවී මහත්මා ගාන්ධි කෙනකු වන ලෙස බව ද අවධාරණය කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
අසාධාරණ ලෙස වැඩි කළ විදුලිය ගාස්තුවට එරෙහිව විපක්ෂ නායක ශ්‍රේෂ්ඨාධිකරණයට යයි | Lanka Newsweek