අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අවතැන්වුවන්ට අද සිටම වන්දි

අවතැන්වුවන්ට අද සිටම වන්දි

(සුජිත් මංගල ද සිල්වා) අයහපත් කාලගුණය හෙතුවෙන් විපතටපත්වූ අයට රුග10,000 බැගින් වන්දි ලබා දීම අද දිනයේ සිටම ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු යොදා තිබේ. ඒ අනුව ආපදා සිදුවූ ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්…

(සුජිත් මංගල ද සිල්වා)

 

අයහපත් කාලගුණය හෙතුවෙන් විපතටපත්වූ අයට රුග10,000 බැගින් වන්දි ලබා දීම  අද  දිනයේ සිටම ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු යොදා තිබේ.

ඒ අනුව ආපදා සිදුවූ ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල සියල්ල අදත්(02) හෙටත් (03) විවෘතව තබමින් හානියට පත්වූවන්ට අදම වන්දි මුදලක් ලබා දෙන අතර ඉතිරි වන්දි මුදල් කඩිනමින් ලබාදීමට රජය සැලසුම් කර තිබේ.

දැන්වීම

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නිවාස හා දේපළවලට හානි සිදුව ඇති දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සියල්ල සෙනසුරාදා සහ ඉරිදා දිනයේ දී විවෘතව තබන බවත් හානියට පත් වූවන් සඳහා වන්දි මුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලබාදෙන බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි නිවාඩු දිනවලදී ද දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල විවෘතව තබන ලෙස අදාල දිසාපතිවරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීල් ද අල්විස් මහතා නියෝග කර තිබේ.

එම උපදෙස් අනුව මෙතෙක් වාර්තා වී ඇති නිවාස හානි සඳහා  වන්දි මුදල්වලින් අත්තිකාරම් මුදලක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලබා ගැනීමේ අවස්ථාව පීඩාවට පත් ජනතාවට හිමිවෙයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා මෙසේ ද කීවේ.

“විපතට පත්ව සිටින ජනතාවට ඉතා ඉක්මණින් තම සාමන්‍ය කටයුතු යථා තත්ත්වයට පත්කර ගැනීමට අපි සහයෝගය දිය යුතුයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලැබුණු උපදෙස් අනුව අද දිනයේම ඔවුන්ගේ හානි සඳහා ලැබිය යුතු වන්දි මුදලින් කොටසක් ලබාදීමට කටයුතු කර තිබෙනවා. මේ මුදල ලබාදෙන්නේ කඩිනම් අවශ්‍යතා ඉටු කර ගැනීමට ලබා දෙන අත්තිකාරමක් ලෙසයි. හානිය තක්සේරු කරලා ඉදිරියේ දී කඩිනමින් නියමිත වන්දි මුදල ලබාදීමට අපි කටයුතු කරනවා. මේ සඳහා ආපදා වාර්තා වී ඇති සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා අදාල දිස්ත්‍රික් ලේකම් කාර්යාල අදත් හෙටත් විවෘතව තබනවා.

අමාත්‍යවරයා පවසන්නේ ආපදා හේතුවෙන් මියගිය තිදෙනකු සඳහා ඊයේ(01) වන විට  රුපියල් ලක්ෂය බැගින් වන්දි  ලබාදුන් අතර  මියගිය අනෙක් පුද්ගලයන් වෙනුවෙන් අද  රුපියල් ලක්ෂය බැගින් ලබාදීමට කටයුතු සූදානම් කර තිබේන බවය.

මේ පිළිබඳ අදහස් දැක්වූ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීල් ද අල්විස් මහතා මෙසේ කීවේ.

“අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාත් රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යාංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතාත් සමග සාකච්ඡා කරලා අපි තීරණයක් ගත්තා අද දිනයේ ම වන්දි මුදලින් කොටසක් නිවාස හානි සිදුවූ අයට ලබාදීමට. ඒ සඳහා ආපදා සිදුවී වන්දි ගෙවීමට අවශ්‍ය දිස්ත්‍රික්කයන්වල රාජ්‍ය බැංකු විවෘතව තැබීමටත් තීරණයක් ගත්ත. එමෙන් ම ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් කිංස්ලි ප්‍රනාන්දු මහතා මේ සඳහා අවශ්‍ය මුදල් දිසාපතිවරුන්ට ලබාදීමට කටයුතු කර තිබෙනවා.

මේ අතර යම් ආපදාවක් සිදු වුවහොත් ඒ බව ක්ෂේත්‍ර නිලධාරීන් මගින් ප්‍රාදේශීය ලේකම්වරයාට හෝ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ 1902 හදිසි ඇමතුම් අංකයට කඩිනමින් දැනුම් දෙන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
අවතැන්වුවන්ට අද සිටම වන්දි | Lanka Newsweek