අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අවතාර යනු මානව ජන ගහනයක්..?

අවතාර යනු මානව ජන ගහනයක්..?

මානව පරිණාමයේ කතාව අප සිතුවාට වඩා බෙහෙවින් සංකීර්ණයි. ෆොසිල සහ ජාන විද්‍යාත්මක සාක්ෂි පෙන්වා දෙන්නේ අපගේ මුතුන්මිත්තන් නියැන්ඩර්තාල්වරුන්, ඩෙනිසෝවන්වරුන් වැනි වඳ වී ගිය මිනිස් වර්ග සමඟ අන්තර් අභිජනනය…

මානව පරිණාමයේ කතාව අප සිතුවාට වඩා බෙහෙවින් සංකීර්ණයි. ෆොසිල සහ ජාන විද්‍යාත්මක සාක්ෂි පෙන්වා දෙන්නේ අපගේ මුතුන්මිත්තන් නියැන්ඩර්තාල්වරුන්, ඩෙනිසෝවන්වරුන් වැනි වඳ වී ගිය මිනිස් වර්ග සමඟ අන්තර් අභිජනනය කළ බවයි. නමුත් අලුත්ම අධ්‍යයනයන් මගින් මේ කතාවට තවත් පුදුම සහගත පරිච්ඡේදයක් එකතු කරනවා ඒ, අපි මෙතෙක් නොදන්නා "අවතාර" ජනගහනයක්. (Ghost Population) 

නවතම ජානමය අධ්‍යයනයන් පෙන්වා දෙන්නේ අපේ මුතුන්මිත්තන් නියැන්ඩර්තාල්වරුන් සහ ඩෙනිසෝවන්වරුන්ගේ මුතුන්මිත්තන් සමඟ පමණක් නොව, අවම වශයෙන් දෙවරක්වත් "නාඳුනන, වඳ වී ගිය" ආදි මානව විශේෂ සමඟ මිශ්‍ර වී ඇති බවයි. මේවාට තමයි "අවතාර" ජනගහන කියන්නෙ.

යූටා විශ්ව විද්‍යාලයේ ජනගහන ජාන විද්‍යාඥයෙකු වන ඇලන් රොජර්ස් සහ ඔහුගේ කණ්ඩායම විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයක ගණනය කිරීම්වලට අනුව, මේ අවතාර ජනහහන සමඟ අන්තර් අභිජනන සිදුවීම් අවම වශයෙන් වසර මිලියන භාගයක් තරම් පැරණි වෙන්න පුලුවන්.මේ පුරාණ ජනගහනය නියැන්ඩර්තාල්වරුන්ට, ඩෙනිසෝවන්වරුන්ට, හෝ වෙනත් දන්නා විශේෂයකට ගැළපෙන්නෙ නෑ. නමුත්, ඔවුන්ගේ DNA අදටත් අප තුළ ජීවමානව පවතින අතර, ලොව පුරා මිලියන ගණනක් මිනිසුන් විසින් එය නිහඬව රැගෙන ‍යමින් ඉන්නවා.

දැන්වීම

සමහර පර්යේෂකයන් යෝජනා කරන්නේ, නියැන්ඩර්තාල්වරුන්ගේ සහ ඩෙනිසෝවන්වරුන්ගේ මුතුන්මිත්තන් (නියැන්ඩර්සෝවන් විදියට හැඳින්වෙන) වසර මිලියන 2 කට පමණ පෙර අනෙකුත් මිනිසුන්ගෙන් වෙන් වූ "සුපිරි-පෞරාණික" ජනගහනයක් සමඟ අන්තර් අභිජනනය කර ඇති බවයි. මේ මිශ්‍ර වීම අප්‍රිකාවෙන් පිටත සිදු වූ බවට විශ්වාස කෙරෙනවා, මොකද, නියැන්ඩර්තාල්වරුන් සහ ඩෙනිසෝවන්වරුන් කියන මානව විශේෂ දෙකම බිහිවුනේ අප්‍රිකාවෙ නෙවෙයි යුරේසියාවේ නිසා. ඒ නිසා මේ අන්තර් අභිජනනය අවම වශයෙන් වසර 600,000 කට පෙර සිදු වන්නට ඇති බවට ඇස්තමේන්තු කර තිබෙනවා. "මම හිතන්නේ සුපිරි-පුරාණිකයන් අප්‍රිකාවෙන් පිටව ගිය පළමු මානව රැල්ලේ සිටි බවයි," ජාන විද්‍යඥ රොජර්ස් පවසනවා.

පුරාණ මිනිසුන් සමඟ අන්තර් අභිජනනය හඳුනා ගැනීම සඳහා "රන් ප්‍රමිතිය" වන්නේ පුරාණ පොසිලවලින් ලබාගත් DNA අනුක්‍රමණය කර, නූතන ජෙනෝමවල එහි හෝඩුවාවන් සෙවීමයි. යුරේසියාවේ සිට වසර 200,000 ක් දක්වා පැරණි නියැන්ඩර්තාල් සහ ඩෙනිසෝවන් ජෙනෝම සමඟ පර්යේෂකයන් මේ ක්‍රමය තමයි අනුගමනය කරලා තියෙන්නේ. නමුත් වසර 200,000 කට වඩා පැරණි මානව පොසිල වලින් සම්පූර්ණ ජෙනෝමයක් ලබා ගැනීමේදී මේ ක්‍රමය සාර්ථක වෙන්නෙ නෑ.

ඒ නිසා, ජනගහන ජාන විද්‍යාඥයින් ජීවත්වන මිනිසුන්ගේ ජෙනෝමවල අසාමාන්‍ය ලෙස පැරණි DNA සොයා ගැනීමට සංඛ්‍යානමය මෙවලම් සහ කෘතිම බුද්ධිය භාවිතා කරනවා. මේ නවීන ක්‍රම මගින් තමයි අතිශයින් පැරණි අන්තර් අභිජනන සිදුවීම් දෙකක් හෝ වැඩි ගණනක් පිළිබඳ සාක්ෂි අනාවරණය වී තිබෙන්නේ. මේ නාඳුනන කණ්ඩායමේ සලකුණු විද්‍යාඥයින් මුලින්ම සොයාගත්තේ උප සහරා අප්‍රිකාව, ආසියාව සහ ඕෂනියාවේ නූතන මිනිසුන්ගේ ජෙනෝම විශ්ලේෂණය කිරීමෙන්. මේ විශ්ලේෂණයෙදි හමුවුනු ජානමය අනුක්‍රමයන් කිසිදු මිනිස් මුතුන්මිත්තෙකුට සම්බන්ධ කළ නොහැකි බව පර්‍යේෂකයන් හඳුනාගත්තා.

තවත් පර්යේෂකයන් පිරිසක් පෙන්වා දෙන්නේ නූතන මානව මුතුන් මිත්තන් මෑතකදී අප්‍රිකාවේ සුපිරි-පෞරාණික කණ්ඩායම් සමඟ මිශ්‍ර වී ඇති බවයි. උදාහරණයක් විදියට, කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ (UC) ජනගහන ජාන විද්‍යාඥ ශ්‍රීරාම් සංකරරාමන් සහ ඔහුගේ කණ්ඩායම, බටහිර අප්‍රිකාවේ උප ජනගහනයන් හතරකින් පුද්ගලයන් 405 දෙනෙකුගේ ජෙනෝම විශ්ලේෂණය කර, නියැන්ඩර්තාල්වරුන් හෝ ඩෙනිසෝවන්වරුන් තුළ දක්නට නොලැබෙන ජාන ප්‍රභේද රැසක් සොයා ගත්තා. ඔවුන් නිගමනය කරන්නේ මේ ප්‍රභේද පැමිණියේ පුරාණ, වඳ වී ගිය මානවයෙකුගෙන් බවයි. මේ "අවතාර විශේෂය" පසුකාලීන හෝමෝ ඉරෙක්ටස්, හෝමෝ හෙයිඩෙල්බර්ගෙන්සිස් (Homo heidelbergensis) හෝ සමීප ඥාතියෙකු විය හැකි බවයි ඔවුන් පවසන්නේ.

මේ පුරාණ කණ්ඩායමේ දිවි ගලවා ගත් සාමාජිකයන් වසර 124,000 ක් තරම් මෑත කාලයේදී ජීවත්වන අප්‍රිකානුවන්ගේ මුතුන්මිත්තන් හමු වී අභිජනනය කර ඇති බවට නූතන ජෙනෝම යෝජනා කරනවා. "ආදි ආක්‍රමණය" (archaic introgression) ලෙසත් හඳුන්වන මේ අවතාර ජනගහනය, වසර දස දහස් ගණනකට පෙර මිනිස් ජාන සංචිතයට දායක වී තිබෙන බව දැන් ස්ථිරයි. නමුත්, අප මෙතෙක් හඳුනා නොගත් කිසිවෙකුට අයත් නොවන DNA කොටස් පමණක් මිස, ඔවුන් ඉතිරි කර ගිය කිසිදු භෞතික හෝඩුවාවක් හමුවී නෑ.

මේ අද්භූත ජාන සමහරක් ප්‍රතිශක්තිකරණ පද්ධති ප්‍රතිචාර සමඟ සම්බන්ධ වී ඇති බව පර්‍යේෂකයන් පවසනවා. එයින් අදහස් කරන්නේ මේ නාඳුනන කණ්ඩායම මුල්කාලීන මිනිසුන්ට නව රෝග හා පරිසරයන්ට අනුවර්තනය වීමට උපකාර කරන්නට ඇති බවයි. උදාහරණයක් විදියට, ජාන විද්‍යාඥ ශ්‍රීරාම් සංකරරාමන් අප්‍රිකානුවන් තුළ සොයාගත් සමහර පුරාණ ඇලීල, පිළිකා මර්දනය කරන සහ හෝමෝන නියාමනය කරන ජානවල දකින්න තිබුණා.

අවාසනාවකට, අද වන විට, හෝමෝ සේපියන්ස් හට වෙනත් කණ්ඩායමක් සමඟ අන්තර් අභිජනනයෙන් විවිධත්වයක් ලබා ගැනීමට අවස්ථාවක් නෑ. සමහර විට අපගේ ඉතිහාසයේ පළමු වතාවට, අපි පෘථිවියේ සිටින එකම මිනිසුන් වෙමු. අපගේ වඳ වී ගිය ඥාති සහෝදරයන් මඟ හැරීමට එය තවත් හේතුවක් බව උප්සලා විශ්ව විද්‍යාලයේ ජනගණ ජාන විද්‍යාඥ කරීනා ෂ්ලෙබුෂ් පවසනවා. සමහර විට ඉතිහාසයේ ප්‍රථම වතාවට, පෘථිවියේ සිටින එකම, තනි මිනිස් විශේෂය අපියි.

විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ, මෙතරම් විශාල ජනගහනයක්, කුඩා ජානමය විවිධත්වයක් සහිතව සිටීම තරමක් භයානක තත්ත්වයක් වෙන්න පුලුවන් කියලයි. අපේ වඳ වී ගිය ඥාති සහෝදරයන් අපට මගහැරී ඇත්තේ මේ හේතුව නිසාමයි..

මෙය මානව පරිණාමය පිළිබඳ කතාව තවදුරටත් සංකීර්ණ කරනවා. පුරාණ වානරයන්ගෙන් නූතන හෝමෝ සේපියන්ස් දක්වා සරල රේඛාවක් වෙනුවට, අප දැන් දකින්නේ පුරාණ හමුවීම් ජාලයක්. අප තවමත් කිසිවක් නොදන්නා විශේෂ ද ඇතුළුව, විවිධ මානව විශේෂ අතර අන්තර් අභිජනනය සමඟ, මිනිස් පවුල් ගස අප සිතුවාට වඩා බොහෝ සෙයින් පැටළුණු එකක් බව දැන් හොඳින්ම පැහැදිලියි.

ඒ සියල්ලටම වඩා, හෝඩුවාවක් නොමැතිව අතුරුදහන් වූ ජනතාවකගේ උරුමය අප තවමත් රැගෙන යනවා වෙන්න පුලුවන්... ඒ කොහාටද.... කවදා වෙනකම් ද....?

- Timeline Tales -

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
බෙදාගන්න
අවතාර යනු මානව ජන ගහනයක්..? | Lanka Newsweek