අලි - ඇතුන් සුරකින රජයේ වැඩ පිළිවෙළට වන ජීවී ඡායාරූප ශිල්පීන් සහ පරිසරවේදීන් ද සම්බන්ද කර ගනු
- විපක්ෂ නායක රජයට කියයි -

දේශගුණික විපර්යාස පිළිබඳ ව්‍යවස්ථාදායකය විශාල උනන්දුවක් දක්වන බව රටටත් ලෝකයටත් විශාල පණිවිඩයක් ලබා දෙන බවත් සිද්ධිය සිදු වු පසු සහන සලසන ප්‍රතිචාරක වැඩපිළිවෙළට අමතරව ආපදා සිදුවීමට පෙර අගතිගාමී තත්ත්ව නිර්මාණය වීම සම්බන්ධයෙන් ගත හැකි පියවර, ශක්තිමත් ප්‍රතිපත්ති රාමුවක්, ආයතනික රාමුවක්, ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක වූ පසු ඇගයීමේ ක්‍රියාවලිය පවා මෙම දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය තුළින් සිදුවන බවත් අප රටේ පරිසරය වනජීවින් වෘක්ෂලතා ගොඩබිම සහ ජලජ ජෛව පද්ධතිය මුහුදු පරිසරය ආදී ලෙස පරිසරය ගැන උනන්දුවක් දක්වා මෙරට විද්වතුන් සම්බන්ධ කර ගෙන කළ හැකි හා කළ යුතු දේ උපරිමයෙන් සිදු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
දැන්වීම
Gen Z පරපුර ඇතුළු සියලු දෙනා එකට එකතු කර ගෙන පරිසර පද්ධතිය ආරක්ෂා කර ගත යුතු බවත් මේ කටයුතු සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විවේචනය කළත් දැන් ආරක්ෂ අංශ පරිසර අමාත්‍යාංශය ආදිය මැදිහත් වී වන සතුන් ආරක්ෂා කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් Wild Tusker කණ්ඩායම සමග එකට එක්ව කටයුතු කිරීම යහපත් සේම ඇතුන් සම්බන්ධයෙන් විශාල උනන්දුවක් දක්වන වනජීවී ඡායාරූප ශිල්පීන්, පරිසරවේදීන් ආදිය සිටින බවත් මොවුන් ඇතුන්ට නම් දමා ඇතුන් ආරක්ෂා කරන වැඩපිළිවෙළක් සිදු කළ නිසා මොවුන්ද එකට එකතු කර ගෙන අලි ඇතුන් සුරැකීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.
ඇතුන් 17ක් ආරක්ෂා කරනවා කියා රජය කිව්වත් මේ කාණ්ඩයේ සැබවින්ම ආරක්ෂා විය යුතු ඇතුන් ඇතුළත් වී නැති නිසා මේ සියලු දෙනා ආරක්ෂා කර ගන්න අලි ඇතුන් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශ්ව එකට එකතු කර ගෙන මේ ඇතුන් සුරැකීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය අමතමිනි. මෙහි සම සභාපතිවරුන් ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මහාචාර්ය එල්. එම්. අබේවික්‍රම මහතා කටයුතු කරනු ලබයි.
එසේම පශු වෛද්‍යවරුන්ගේ ගැටලුවට අවධානය යොමු කරන ලෙසත් 33ක් සිටිය යුතු වුවත් 17ක් පමණක් සිටින බවත් ඒ නිසා මොවුන්ගේ පුරප්පාඩු ගැටලුව විසදන ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
එක්තරා කාලයක් වනජීවි නිලධාරීන් හා වන සත්ත්වලෝලීන් අලි සංගණනවලට කැමති නොවු බවත් එයට හේතුව වුයේ අලි ඇතුන් සංගණනවලට පසු විවිධ බලවතුන් අලි ඇතුන් අල්ලා හීලැ කර ගෙන සමාජ තත්ත්ව පෙන්වන්න ගෙවල්වල තබා ගැනීම බවත් මින්නේරිය වනෝද්‍යානයේ අලි පැටව් විශාල ප්‍රමාණයක් ඒ ආකාරයට හොරකම් කළ බවත් ඒ නිසා මෙම සංගණන ඉතා පරිස්සමින් සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
මේ අවස්ථාවට ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් Mathew Duckworth මහතා, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර් මහතා, ප්‍රවීන විද්‍යා දේශක තිස්ස ජනනායක මහතා, එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය (IOM) නියෝජනය කරමින් ශිරන්ත ගමගේ මහතා, මහාචාර්ය සම්පත්, මහාචාර්ය රත්නසිරි ප්‍රේමතිලක, මහාචාර්ය එනෝකා කුඩාවිදානගේ සහ ආචාර්ය එස්. විජේමෝහන් යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
මෙරට දේශගුණික විපර්යාසවල අභියෝග, ඒවායේ පාරිසරික හා සමාජීය බලපෑම් සහ දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දිය හැකි තිරසර අනාගතයක් ගොඩනැගීම සඳහා විද්‍යාත්මක දැනුම හා විශේෂඥ අත්දැකීම් ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය සමඟ සම්බන්ධ කිරීමේ වැදගත්කම මෙම හමුවේදී විශේෂයෙන් අවධානයට යොමු විය.