අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අල්ලස් කොමිසමට වහාම සාමාජිකයන් පත් කරනු

අල්ලස් කොමිසමට වහාම සාමාජිකයන් පත් කරනු

අල්ලස් හෝ දූෂණ විරෝධී කොමිෂන් සභාව සඳහා සුදුසු, කාර්යක්ෂම සහ අවංක සාමාජිකයින් පිරිසක් පත් කර එම කොමිසම වහාම බලාත්මක කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය…

අල්ලස් හෝ දූෂණ විරෝධී කොමිෂන් සභාව සඳහා  සුදුසු, කාර්යක්ෂම සහ අවංක සාමාජිකයින් පිරිසක් පත් කර  එම කොමිසම වහාම බලාත්මක කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටින අතර එම නිවේදනයේ මෙසේ ද සඳහන්වේ.

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයෙන් නිදහස ලබා ගැනීමෙන් අනතුරුව විවිධ පාලන සමයන්වල දී අල්ලස සහ දූෂණය වර්ධනය වූ ආකාරය සේම රාජ්‍ය පාලනය පටු ආකාරයෙන් දේශපාලනීකරණයට ලක් වූ ආකාරය සාධරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් විවිධ අවස්ථාවලදී පෙන්වා දී ඇතත් එම තත්ත්වය අදට ද නොවෙනස් ව දක්නට ලැබීම ජාතියේ අවාසනාවකි. 

එහි  මෑත කාලීනම උදාහරණය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලබා දීමට නියමිතව තිබූ දෙවැනි  වාරිකය මේ දක්වා ම නොලැබිමට එවැනි තත්ත්වයන් හේතු වී ඇති ආකාරයයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇති ආකාරයට මේ වන විට රටට ලබා දිය යුතු දෙවැනි වාරිකය කල් පසුවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ අල්ලස සහ දූෂණය මර්දනය කිරීම සඳහා යෝජනා වී තිබුණ යාන්ත්‍රණය ඒ ආකාරයට ක්‍රියාවට නංවා නැති බවට ඔවුන් නිගමනය කිරීමයි. එම තත්ත්වය කණගාටුදායකය.

දැන්වීම

ඒ බව සනාථ වන්නේ අල්ලස් හෝ දූෂණ විරෝධී පනත මේ වන විට සම්මත කර ගෙන එම පනත ක්‍රියාත්මක තලයට යොමු විය යුතුව ඇති පසුබිමක් ද එකී කොමිෂන්  සභාව පත් කිරීමට මේ දක්වාම අප අපොහොසත් වී තිබීම නිසාය. වාර්තා වන තොරතුරුවලට අනුව ඒ හේතුව නිසාම අල්ලස් හෝ දූෂණ විරෝධී කොමිසමේ වැඩ කටයුතු පූර්ණ වශයෙන්ම අඩාල වී තිබේ. එපමණක් ද නොව දූෂණයෙන් තොර රටක් ගොඩනැගීම සදහා මේ රටේ ජනතාව තබා තිබූ අපේක්ෂාවන් ද භංගත්වයට පත්ව තිබේ.

ඒ අනුව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ව්‍යවස්ථා සභාව වෙතින් ජාතියේ නාමයෙන් ආයාචනා කරනු ලබන්නේ මේ පිළිබඳව වහාම මැදිහත් වන ලෙසටය. එමෙන්ම අල්ලස් හෝ දූෂණ විරෝධී කොමිෂන් සභාව සඳහා සුදුසු, කාර්යක්ෂම සහ අවංක පිරිසක් පත් කර ගන්නා ලෙසටය.

අප විශ්වාස කරන අන්දමට අල්ලස් හෝ දූෂණ විරෝධී කොමිෂන් සභාව පැය 24 තුළම  ක්‍රියාත්මක වන කාර්යක්ෂම ආයතනයක් විය යුතුය. එමෙන් ම එහි නිළධාරීන්ට ඉහළ මට්ටමේ වේතන සහ පහසුකම් ද ලබා දිය යුතුය. එම කොමිසම ඒ ආකාරයට බල ගැන්වීමට රටක් වශයෙන් අප සමත් වුව හොත් මේ රටේ සමාජ සහ ආර්ථික වශයෙන් දැවැන්ත විප්ලවයක් සිදු කළ හැකි බව අපගේ හැඟීමය.

ඉකුත් අට වන පාර්ලිමේන්තුව මගින් ස්වාධීන ප්‍රසම්පාදන කොමිසම බලාත්මක කිරීමට කටයුතු සලසමින් සිටියදී මේ රටේ අතැම් බලවේග ඉතාමත් සාහසික සහ කූට අන්දමින් ක්‍රියා කළ ආකාරය සැලකීමේ දී අල්ලස් කොමිසමේ කටයුතු මේ ආකාරයට දුර්මුඛ සහ මන්දගාමී වීමට හේතු වූ කිසියම්  සැලසුම්සහගත වෑයමක් තිබේන්නේ ද යන සැකය කිසිසේත් ම බැහැර කළ නොහැකිය.

එබැවින් රටේ වග කිව යුතු සියලුම පාර්ශවයන් වෙතින් අප ඉල්ලා සිටින්නේ එවැනි කුමන්ත්‍රණ පරාජය කරමින් රටේ යහපත උදෙසා හේතු වන යාන්ත්‍රණයන් බල ගැන්වීමට පියවර ගන්නා ලෙසටය. එහි එක් තීරණාත්මක අදියරක් ලෙස මේ වන විටත් නීතිගත ආයතනයක් වන අල්ලස් හෝ දූෂණ විරෝධී කොමිසමේ කටයුතු සක්‍රීය කරන ලෙසටය.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
අල්ලස් කොමිසමට වහාම සාමාජිකයන් පත් කරනු | Lanka Newsweek