අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අර්ථ සාධකය කොල්ල කෑම අමානුෂිකයි

අර්ථ සාධකය කොල්ල කෑම අමානුෂිකයි

ඩොලර් අර්බුදයට හේතුව ජාතික ධනය කොල්ල කෑමයි ජනපතිගේ නිදහස් දින කතාව පොලීසිය උල්ලංඝනය කළා එක රටකුත් නැහැ-එක නීතියකුත් නැහැ අන්ත අසරණ සේවක සේවිකාවන්ගේ එකම සම්පත වන අර්ථ සාධක අරමුදල පැහැර ගැනීමට රජය තැත්…

ඩොලර් අර්බුදයට හේතුව ජාතික ධනය කොල්ල කෑමයි 

ජනපතිගේ නිදහස් දින කතාව පොලීසිය උල්ලංඝනය කළා  

එක රටකුත් නැහැ-එක නීතියකුත් නැහැ 

අන්ත අසරණ සේවක සේවිකාවන්ගේ එකම සම්පත වන අර්ථ සාධක අරමුදල පැහැර ගැනීමට රජය තැත් කිරීම ඉතා අමානුෂික ක්‍රියාවක් යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි.

රටේ විදේශ විනිමය හිඟ වී උග්‍ර ආර්ථික අර්බුදයක් ඇති වී ජනතාව අන්ත අසරණ වී සිටින්නේ, ජාතික ධනය මහා දහවල් මංකොල්ල කමින් සිටින නිසා යැයි ද දේශබන්දු කරු ජයසූරිය මහතා පෙන්වා දෙයි.

දේශබන්දු කරු ජයසූරිය මහතා මේ බව කියා සිටියේ, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් කොළඹ දී බ්‍රහස්පතින්දා (10) සංවිධානය කෙරුණු ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

දැන්වීම

රටටත් ජනතාවටත් බලපාන වැදගත් කරුණු කිහිපයක් ගැන අවධානය යොමු කිරීම අපගේ යුතුකමක් වන නිසා පහත සඳහන් කරුණු ගැන අදහස් ප්‍රකාශ කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

(01) අතිගරු ජනාධිපතිතුමාගේ නිදහස් දින පණිවිඩය.

(02) ත්‍රස්ත විරෝධී පනත. 

(03) විදේශ විනිමය හිඟකම.

(04) එක් රටක් එක් නීතියක් සහ රංජන් රාමනායක මන්ත්‍රීවරයාට ජනාධිපති සමාව ලබා දීම. 

(05) අර්ථසාධක අරමුදලින් බදු අය කිරීම.

අතිගරු ජනාධිපතිතුමාගේ නිදහස් දින පණිවිඩය

අපි අති ගරු ජනාධිපතිතුමන් ජාතිය අමතා කළ කථාවට ඉතා ඕනෑකමින් කන් දුන්නා. එතුමා රටට දුන් පොරොන්දු ඒ ආකාරයට ඉටු කිරීමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. නමුත් භාෂණයේ නිදහස පොරොන්දු වී පැය ගණනකින් එම නිදහසට පොලීසියෙන් බාධා කළා.

අද රටේ ජනතාවත්, විශේෂයෙන් ගොවියාත් පත්ව ඇති තත්ත්වය ගැන නැවත නැවතත් සිහි ගැන්වීමට අවශ්‍ය නැතත්, රාජ්‍ය නායකයා වශයෙන් මේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම එතුමාගේ පරම යුතුකමක් වනවා. ජනතාව ගත කරන දුක්ඛිත ජීවිතයත්, ඔවුන්ගේ වේදනාව සහ දැඩි කෝපයත් අප තේරුම් ගත යුතුයි. 

මේ මහා ආර්ථික බිඳ වැටීමට ප්‍රධාන හේතුව වශයෙන් අප දකින්නේ දුර්වල රාජ්‍යකරණය, රාජ්‍ය සේවය දේශපාලනීකරණය වීම සහ එහි අවුල්වීමයි. රාජ්‍ය සේවයේ දක්ෂ නිලධාරින් පසෙක තබා කර විශ්‍රාමික හමුදා නිලධාරීන් යොදා ගැනීම මෙම බිඳ වැටීමට එක් හේතුවක් වශයෙන් අපි දකිනවා. රජය ගන්නා තීරණ නිතරම වෙනස් වන්නේත්, පසුව අයින් කර ගන්නේත් මේ හේතුව නිසයි. පරිපාලනයට අත්දැකීම් අවශ්‍යයි. මේ යථාර්ථය රාජ්‍ය නායකයින් තේරුම් ගත යුතු සිද්ධාන්තයක් බව කිව යුතුයි.

20 වැනි සංශෝධනයෙන් සහ 3/2 බලයෙන් තව දුරටත් ජනතාවට සෙතක් සැලසීමට නොහැකි වූ බව රජය දැන්වත් පිළි ගත යුතුයි. මෙම අඩුපාඩුව රජයේ ඉතිරි කාලයේ දී නිවැරදි කර ගත යුතුයි. එසේ කළොත් රටට යහපතක් වේවි. මෙවර නිදහස් උත්සවය අති උත්කර්ශවත් අයුරින් පැවැත් වුවත්, ජනතා උනන්දුව අති විශාල ලෙස අඩු වී තිබීම අප දුටුවා. එම තත්ත්වය එක් ආකාරයක රජයට පණිවිඩයක් ලෙස සැලකීම යෝග්‍යයි.

විදේශ විනිමය හිඟ වීම

විදේශ විනිමය හිඟවීමත් පරිපාලන දුර්වලතාවය නිසා සිදු වූවක් බව පැහැදිලියි. අප සමග සම්බන්ධතා පවත්වන දේශීය සහ විදේශීය ආර්ථික විද්වතුන් සඳහන් කරන්නේ රටේ සිදු වූ මහා පරිමාන දූෂණ, දීර්ඝ සැලැස්මක් නොමැති වීම සහ දේශීය වත්කම් මහා පරිමාණයෙන් කොල්ල කෑම මේ තත්ත්වයට හේතුව බවයි. විදේශීය උගතුන් මේ තත්ත්වය හඳුන්වන්නේ "Plundering of National Wealth" කියායි.

කරුණු මෙසේ තිබියදී මහ බැංකු අධිපතිවරයා ඩොලර් හිඟයක් නොමැති බව පැවසීම විහිළුවක් බව කිව යුතුයි. අල්ලස් කොමිසම නියම ආකාරයට ක්‍රියාත්මක වූවා නම්, නීති බලධාරීන් නිර්භයව ක්‍රියා කළා නම්, මේ මහ දවල් කොල්ල කෑම නතර කරන්න තිබුණා. නමුත් මේ මොහොතේ සිදු වන්නේ අල්ලස් කොමිසම මගින් සමහර බලවතුන්ගේ නඩු ඉල්ලා අස්කර ගැනීමයි. එම ක්‍රියාවලිය ජනතාව මුලා කිරීමක් බව පැහැදිලියි.

සිංගප්පූරුව සහ හොංකොං වැනි රටවල් දූෂණය නැති කළේ දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව එම කොමිසම් සභා ස්වාධීනව සහ අපක්ෂපාතීව නිර්භයව ක්‍රියා කළ නිසයි. අල්ලස් කොමිසමේ සමහර නිලධාරීන්ට පසුගිය වකවානුවේදී ආදර්ශමත් රටවල්වල විදේශ පුහුණුව ද ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ දේශපාලන හිතවත්කම් සහ බලපෑම් මත පරීක්ෂණවලට බාධා කළ අවස්ථාවන් ගැන අපව දැණුවත් කර තිබෙනවා. ශ්‍රී ලංකාව දූෂණයෙන් ඉහළ මට්ටමක පවතින බවට අන්තර්ජාතිකව හඳුන්වා දී තිබෙනවා. මෙවැනි අවස්ථාවලදී ගරු ජනාධිපතිතුමා පෞද්ගලික අවධානය යොමු කොට එතුමාගේත්, රටේත් ගෞරවය සහ විශ්වාසය ආරක්ෂා කර ගත යුතුයි.

ත්‍රස්ත විරෝධී පනත

වර්තමානයේ මෙම පනත සංශෝධනය කිරීම සඳහා කතිකාවතක් ඇතිවී තිබෙනවා. අන්තර්ජාතික ප්‍රජාව පවා මෙම පනත ශ්‍රී ලංකාවේ තදින්ම අවභාවිත වීම ගැන සිය විරෝධය පළ කර තිබෙනවා. ලෝක මානව හිමිකම් අධිකාරිය පවා විවිධ අවස්ථාවල මේ ගැන සඳහන් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ සිදු වන්නේ මෙම පනත උපයෝගී කර ගනිමින් තමන්ට අහිතවත් පුද්ගලයින්ගෙන් පළි ගැනීමයි. මෙවැනි අවස්ථා බොහෝ ගණනක් අපට වාර්තා වී තිබෙනවා.

අවුරුදු 43කට පසුව මෙම පනත වෙනස් කිරීමට පියවර ගැනීම අපි අගය කරන අතර ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී ශීලාචාර රටවල සිදු වන ආකාරයට දියුණු වන ලෝකයට සරිලන වැදගත් පනතක් ගෙන ඒම හෝ අවශ්‍ය කාලීන සංශෝධන ගෙන ඒම වඩා යෝග්‍ය බව අපගේ හැඟීමයි. මේ ගැන වඩා පුළුල් සාකච්ඡාවක් ඵලදායී වනු ඇතැයි අප විශ්වාස කරනවා. මෙහි ඇතැම් කරුණු ළඟ එන මානව හිමිකම් කොමිසමේ සැසියේ දී ද සාකච්ඡා වීමට ඉඩ තිබෙනවා.

අර්ථ සාධක අරමුදලින් බදු අය කිරීම

රජයේ සේවයේ නොමැති අති විශාල ජන කොට්ඨාසයක් අර්ථ සාධක අරමුදලෙහි සාමාජිකයින් වී සිටිනවා. විශ්‍රාම යන විට ඔවුන්ගේ එකම බලාපොරොත්තුව වන්නේ එම මුදලින් නිවාසයක් සාදා ගැනීම, දරුවන්ගේ අධ්‍යාපනයට වියදම් කිරීම, දරුවන්ගේ විවාහ කටයුතු සඳහා උපයෝගී කර ගැනීම වැනි පවුලේ කටයුතුයි.

එහෙයින් අසරණ සේවකයන්ගේ එකම සම්පත වන අර්ථ සාධක අරමුදල පැහැර ගැනීමට තැත් කිරීම ඉතා අමානුෂික ක්‍රියාවක් ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ අපගේ අදහසයි. ඇතැම් බලවත් පුද්ගලයින් කොටස් වෙළෙඳ පොළ හරහා මෙම අරමුදල පාවිච්චි කළ බොහෝ අවස්ථා අපි දන්නවා. මෙම අසරණ ජනතාවගේ මුදලින් කෝටිපතියන් බිහි වූ අවස්ථා බොහෝයි. එම පනතින් "අර්ථ සාධක අරමුදල" ඉවත් කරන ලෙස අප රජයෙන් දැඩිව ඉල්ලා සිටිනවා.

එක් රටක් එක් නීතියක් සහ රංජන් රාමනායක මන්ත්‍රීවරයාට ජනාධිපති සමාව ලබා දීම 

මෙරට අති විශාල ජනතාවක් නිදහස් දින රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට ජනාධිපති සමාව ලැබෙතැයි බලවත් ලෙස බලාපොරොත්තුව සිටියත් එසේ නොලැබීම ගැන අප කණගාටු වෙනවා. දාමරිකයින්, මත් කුඩු ව්‍යාපාරිකයන් සහ මිනී මරුවන් නිදහස් වන විට ජනප්‍රිය කලාකරුවෙක් මෙවැනි ආකාරයට නො මරා මැරීමෙන් අප දකින්නේ එක් රටක් එක් නීතියක් මේ රටේ තවමත් ක්‍රියාත්මක නොවන බවයි. රටේ සහ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් අප සද්භාවයෙන් පෙන්වා දුන් කරුණු බලධාරීන්ගේ අවධානයට යොමු වේවායි අප ප්‍රාර්ථනය කරනවා.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
බෙදාගන්න
අර්ථ සාධකය කොල්ල කෑම අමානුෂිකයි | Lanka Newsweek