අර්ජුන මහේන්ද්‍රන්ගේ ප්‍රශ්නයට ජනාධිපති වග කිව යුතුයි

අගමැතිවරයා ඇතුළු කණ්ඩායම හොරුන් බව තහවුරු වෙලා..! (හේමන්ත තුසිත කුමාර) අර්ජුන මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපතිවරයා ලෙස පත් කිරීමේ වගකීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා භාර ගත යුතු බව…
අගමැතිවරයා ඇතුළු කණ්ඩායම හොරුන් බව තහවුරු වෙලා..!
(හේමන්ත තුසිත කුමාර)
අර්ජුන මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපතිවරයා ලෙස පත් කිරීමේ වගකීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා භාර ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණ කියා සිටියි.
හොරකම වසා ගැනීමට ගොස් අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහත ඇතුළු කණ්ඩායම හොරුන් බව තහවුරු කර අවසන් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පෙන්වා දෙයි.
දැන්වීම
කොළඹ බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ මුලස්ථානයේ දී ඊයේ(19)පවතී ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් මේ බව පැවසූ සුනිල් හඳුන්නෙත්ති මහතා එහිදී මෙසේ ද කීය.
මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිෂන් වාර්තාවේ සඳහන් වෙනවා අර්ජුන මහේන්ද්‍රන් පත් කිරීම බරපතළ ප‍්‍රශ්නයක් කියලා. මූල්‍ය නීති පනතේ 12.1 වගන්තියට අනුව මහ බැංකු අධිපතිවරයා පත්ක ළ යුත්තේ මුදල් ඇමතිවරයාගේ නිර්දේශ මත ජනාධිපතිවරයායි. නමුත් මෙම පත්කිරීම කොමිසම ප‍්‍රශ්න කර තිබෙනවා. නමුත් ජනාධිපතිවරයා සිය විශේෂ ප‍්‍රකාශයේදී කියා සිටියේ පත්කිරීම විධිමත් කියලයි. නමුත් ඇත්ත කාරණාව මෙම විධිමත් පත් කිරීම කොමිසමෙන් ප‍්‍රශ්න කර තිබීමයි. වාර්තාවට අනුව අර්ජුන මහේන්ද්‍රන් මහතා එවකට මුදල් ඇමතිවරයාගේ නිර්දේශ මත හෝ මහ බැංකුව භාර ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු ඇමතිවරයා වශයෙන් අගමැතිවරයාගේ නිර්දේශ මත හෝ පත්කරන ලද්දේ දැයි කොමිසම විමසු අවස්ථාවේදී අග‍්‍රාමාත්‍යවරයා මෙසේ පිළිතුරු දී තිබෙනවා.
"2015 ජනවාරියේ නව ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව මහ බැංකුවේ අධිපති ධුරය සඳහා අර්ජුන මහේන්ද්‍රන් මහතා පත්කළ යුතු බවට ආණ්ඩුව තුළ පොදු එකඟතාවයක් තිබුණා. මම මේ යෝජනාව මුදල් ඇමතිවරයා සමඟ සාකච්ඡා කළා. ඔහු අර්ජුන මහේන්ද්‍රන් මහතා වඩාත්ම සුදුසු පුද්ගලයා බවට එකඟ වුණා. ඒ අනුව මගේ එකඟතාවය සහිතව මුදල් ඇමතිවරයා ජනාධිපතිවරයාට අර්ජුන මහේන්ද්‍රන් මහතා පත්කළ යුතු යැයි නිර්දේශ කළා. ඒ නිර්දේශ අනුව ජනාධිපතිවරයා විසින් මහ බැංකුවේ අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් මහතා පත්කළා.”
ඒ අනුව පත්කිරීම කළේ ජනාධිපතිවරයා විසිනුයි. එම පත්කිරීම නීතිය ඉදිරියේ ප‍්‍රශ්නයක් නොවුණත් ඒක වැදගත් තීන්දුවක්දැයි කොමිසම ප‍්‍රශ්න කරනවා. නමුත් ජනාධිපතිවරයා කිව්වේ විධිමත් පත්කිරීමක් කියලා. ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවන අර්ජුන මහේන්ද්‍රන් පත් කිරීමට තීරණය ගත්තවුන් පිළිබඳව කොමිසම විමතිය පළ කරලා තිබෙනවා. අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට ජනාධිපතිවරයා අත්සන් තැබීමෙන් ඔහු ඒ පිළිඳ වගකීම මුළුමනින්ම ගන්නවා.
රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා බැඳුම්කර වාර්තාව පිළිබඳ විශේෂ ප‍්‍රකාශයක් කළා. රටේ ජනතාව බලා ගෙන හිටියා, බරසාර ප‍්‍රකාශයක් කරයි කියලා. වාර්තාවේ සඳහන් වෙලා තිබෙන රනිල් වික‍්‍රමසිංහ ගැන, අර්ජුන මහේන්ද්‍රන් ගැන, අර්ජුන ඇලෝසියස් ගැන විශේෂ ප‍්‍රකාශයක් කරයි කියලා.
අගමැතිවරයාගේ කතාවට අනුව ඔහු වරදක් කරලා නැහැලු. එජාපයේ කවුරු හරි වැරදි කරලා තිබෙනවා නම් ඒ පිළිබඳව සොයා බලන්න තිලක් මාරපන කමිටුව පත් කරනවාලු. අර්ජුන් මහේන්ද්‍රන්ලාගේ මහ බැංකු කොල්ලය ගැන හොයන එකට රනිල් වික‍්‍රමසිංහ, රවී කරුණානායක සම්බන්ධද කියලා පරීක්‍ෂණ කරන්න ඇවන්ගාඩ් වංචාවට චූදිතයෙක් වෙලා ඇමතිකමිනුත් ඉල්ලා අස්වෙන්න සිදුවුණු තිලක් මාරපන පත් කරනවාද?
මහා පරිමාණ මූල්‍ය අපරාධ පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තා 34න් එකක ඇවන්ගාඩ් හොරකම ගැන තියෙනවා. ඒ වාර්තාව බැලුවොත් තිලක් මාරපනගේ වාර්තාව හොයාගන්න පුළුවන්.තිලක් මාරපනට මන්ත්‍රීකම ජාතික ලැයිස්තුවෙන් දුන්නේ රනිල් වික‍්‍රමසිංහයි. ඔහුට ඇමතිකම දුන්නේ රනිල් වික‍්‍රමසිංහයි. එසේ තිබියදී රනිල් වික්‍රමසිංහ වැරදිද කියලා හොයන්න තිලක් මාරපන පත්කරනවා. අනෙක් පැත්තෙන් අර්ජුන ඇලෝසියස්ගේ නීතිඥයා තිලක් මාරපනගේ සහෝදරයායි. අර්ජුන් මහේන්ද්‍රන් සහ අර්ජුන ඇලෝසියස් අතර තිබෙන ලබැඳියාවන් අතර ගැටුම හොයන්න පත්කරන තිලක් මාරපනගේ සහෝදරයා ඇලෝසියස්ගේ නීතිඥයායි. ඒ නිසා අද රනිල් වික‍්‍රමසිංහලාට වෙලා තියෙන්නේ ගලේ පහරපු බළලාට වෙච්ච දේට හපන් දෙයක්. බැඳුම්කරේ කැත රනිල් වික‍්‍රමසිංහ මුළු පක්ෂයේම ගාලා ඉවරයි. රනිල් වික‍්‍රමසිංහ එජාප පාක්‍ෂිකයින්ටත් කරලා තියෙන්නේ බරපතළ අපහාසයක්. රනිල් වික‍්‍රමසිංහ මොනවා කියලා බේරෙන්න හැදුවත් ඔහුත් ඔහුගේ ගෝල බාලයින් ටිකත් මේ ගනුදෙනුවට සම්බන්ධ බව හෙළිදරව් වෙලා ඉවරයි.
2015 මාර්තු 10 මේ ගනුදෙනුව පිළිබඳව මාධ්‍ය හමුවක් අපි පැවැත්වුවා. මාර්තු 17වැනිදා අපේ පක්‍ෂයේ නායක අනුර දිසානායක සහෝදරයා විශේෂ ප‍්‍රකාශයක් කළා. ඒ ප‍්‍රකාශයට පිළිතුරු දුන්න රනිල් වික‍්‍රමසිංහ කියා සිටියේ “හැම පැත්තෙම ඉන්නේ හොරු. වෙන කවුරුවත් නෙවෙයි. අපිට හොරු කියලා කිවුවාට අපට වඩා ලොකු හොරු එතැතන ඉන්නවා. එච්චරයි මට මේ දවස්වල තේරුණේ. අපේ හොර වැඩ එළියට එනවා. අඩු ගණනේ මේ හොර වැඩ එළියට එන්නෙවත් නැහැ” කියලයි. 2015 මාර්තු 17වැනිදා අගමැතිවරයා කිවුවා, තමන්ගේ හොර වැඩ ගැන. පහුගිය පාර්ලිමේන්තුවේදී අගමැතිවරයා ඇහුවා, කව්ද හොරා කියලා. 2015 මාර්තු 17වැනිදාම තමන් හොරා බව අගමැතිවරයා පිළිගෙන ඉවරයි.
“අගමැතිවරයා විසින් 2015 මාර්තු 17 පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද ප‍්‍රකාශයේදී අගමැතිවරයා, අර්ජුන මහේන්ද්‍රන් මහතා පෙබරවාරි 27 දින පැවැති බැඳුම්කර වෙන්දේසියට මැදිහත් නොවූ බව කියා තිබිණි. එහෙත් අර්ජුන මහේන්ද්‍රන් මහතා සහ මහ බැංකු නියෝජ්‍ය අධිපති පී සමරසිරි අගමැතිවරයාව හිතාමතාම නොමග යවා ඇති බවත් බැඳුම්කර වෙන්දේසිය පිළිබඳව සත්‍ය තත්වය වෙනස් කළ තොරතුරු අගමැතිවරයාට ලබාදී ඇති බවත් ජනාධිපති කොමිෂන් වාර්තාව පෙන්වා දෙනවා.
පාර්ලිමේන්තුවේ දිග හැරුණු සිදුවීම් පිළිබඳව කිසිදු මත දැක්වීමක් හෝ නිගමන දීමට බලාපොරොත්තු නොවන අපි අගමැතිවරයා අර්ජුන මහේන්ද්‍රන් මහතා සහ නියෝජ්‍ය අධිපති පී සමරසිරි විසින් තමා වෙත දෙන ලද සංක්ෂිප්ත සටහන සහ වාර්තාව මත විශ්වාසය තබා යම් ප‍්‍රකාශයක් කිරීමට පෙර 2015 පෙබ. 27 දින මහ බැංකුවේ සිදු වූයේ කුමක්ද යන්න ස්වාධීනව තහවුරු කරගත යුතුව තිබූ බව විශ්වාස කරන්නේ යැයි කොමිෂන් වාර්තාවේ සඳහන් වෙනවා.
කෝප් කමිටුවේ පරීක්‍ෂණ ආරම්භ කළ නිසා තමන් මෙම ගනුදෙනුව පිළිබඳ පරීක්‍ෂණයක් කරන්න පෙළඹුණේ නැති බව අගමැතිවරයා කියා තිබුණා. නමුත් ඇත්ත තත්වය වූයේ විෂය භාර ඇමතිවරයා ලෙස අගමැතිවරයා අමාත්‍යාංශ මට්ටමින් පරීක්‍ෂණයක් නොකළ නිසා තමයි කෝප් කමිටුව පරීක්‍ෂණ කළේ. කෝප් කමිටුව පරීක්‍ෂණවලදී අගමැතිවරයා මොකද කළේ? කෝප් කමිටුවට තොරතුරු හංගන්න කටයුතු කළා. සංවේදී කරුණු කියලා මහ බැංකුවේ ඇතැම් කරුණු කෝප් කමිටුවට දුන්නේ නැහැ. කෝප් කමිටුව කතානායකවරයාගේ විශේෂ නිර්දේශ අනුව තමයි අර්ජුන මහේන්ද්‍රන් කෝප් කමිටුවට කැඳෙව්වේ. ඒ වගේම කෝප් පරීක්‍ෂණ අතරතුරේදී කෝප් කමිටුවේ හිටපු වේලුකුමාර මන්ත්‍රීවරයා ඉවත් කරලා ඒ වෙනුවට සුජීව සේනසිංහ පත්කළා. ඒ වගේම කෝප් කමිටුවේ හිටපු මන්තී‍්‍රවරුන් විගණකාධිපතිවරයාට දැඩි බලපෑමක් එල්ල කළා. මේ ගනුදෙනුවේ වැරැද්දක් නැහැ කියන්න නීති තර්ක දැම්මා. ආර්ථික තර්ක දැම්මා. ඒ සියල්ලම සිදුකළේ අර්ජුන ඇලෝසියස්ගේ සල්ලිවලටයි. එක් අවස්ථාවකදී මා කෝප් කමිටුවෙන් නැගිටලා යන තත්වයකට පත්වුණා එජාප මන්ත්‍රීවරුන්ගේ දැඩි බලපෑම මත. එජාප කණ්ඩායම කෝප් වාර්තාවට ෆුට් නෝට් දැම්මා. එම දැඩි බලපෑම් මධ්‍යයේ වුවත් කෝප් කමිටුව බැඳුම්කර පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන්න සමත් වුණා. මුදල් බලය, දේශපාලන බලය, මොනතරම් බලපෑමක් කෝප් කමිටුවට කළාද කියලා රට දන්නවා.
නමුත් ජනාධිපති කොමිසමට එහෙම බලපෑමක් තිබුණේ නැහැ. ජනාධිපති කොමිසම ස්වාධීනව වැඩ කරන්න පුළුවන් වුණා. ජනාධිපතිවරයාට කමිටුවක් පත්කරන්න අවස්ථාව ලැබුණේ කෝප් වාර්තාව නිසයි. ජනාධිපති කොමිසමේ නිර්දේශ කෝප් වාර්තාවේ නිර්දේශවලට සමපාත වෙලා තියෙනවා. එම වාර්තාවලට අනුව චූදිතයින්ට දඬුවම් දීම, රටට ජනතාවට අහිමි වූ මුදල අයකර ගැනීම කළ යුතුව තිබෙනවා. එම ක්‍රියාමාර්ග ප‍්‍රමාද කරනවා නම් අස්සයාට පැනලා යන්න ඉස්තාලය ඇරලා දුන්නා වගේ වෙනවා. අගමැතිවරයා ඇතුළු එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් මේකෙන් බේරෙන්න විවිධ කතා කිරීමෙන් සිදුවෙන්නේ ගලේ පහරපු බළලාට වඩා අන්ත දෙයක් සිදුවීමයි.
අගමැතිවරයා ජනාධිපති කොමිසමේදී 1949 ජෝන් එක්ස්ටර් මහබංකු අධිපතිවරයා වශයෙන් පත්කිරීම ගැන කියනවා. නමුත් කොමිසම පැහැදිලි කරනවා එදා ඩොමීනියන් පාලනයක් තුළදී එංගලන්තයට වුවමනා කෙනෙක් පත්කිරීම දැන් ස්වාධීන රටක් විදිහට අධිපතිවරයා වශයෙන් වෙනත් රටක පුද්ගලයෙකු පත්කිරීමත් තත්වයන් දෙකක් බව. රනිල් වික‍්‍රමසිංහ තවම ඉන්නේ අතීතයෙයි. තමන්ගේ යාළුවා පත්කර ගැනීම සාධාරණය කරගන්න විවිධ තර්ක ගෙනාවා. නමුත් කොමිසම පැහැදිලිවම කිව්වා එම කරුණු සමපාත වෙන්නේ නැහැ කියලා. කොමිසන් වාර්තාවේ වැඩිදුරටත් මෙහෙම සඳහන් වෙනවා.
“2015ට පෙර මහ බැංකුව පැවතියේ මුදල් අමාත්‍යංශය යටතේය. 2015දී මහ බැංකුව ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතට ගනු ලැබිණි. මෙම තීරණය විධායකය විසින් ගන්නා ලද්දක් වන අතර අපගේ විෂය පථයෙන් මුළුමනින්ම පරිබාහිරය.” යනුවෙන් කොමිසම් වාර්තාවේ 26වැනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා. මුදල් මණ්ඩලය තුළ නියෝජනය වෙන්නේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්. නමුත් ඉහත තීරණය නිසා මහ බැංකුව අගමැතිවරයාගේ ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතට ගත්තාම මුදල් ලේකම් එය නියෝජනය කරන්නේ කොහොමද? කෝප් කමිටුව කැඳවීමේදී මෙම ගැටලුව පැන නැගුණා. එවැනි අවස්ථාවක මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාත් ආර්ථික කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයාත් දෙදෙනාම කැඳවන්න සිදුවුණා. මේක තමයි අන්තෝ ජටා බහි ජටා කියන්නේ. එය සිදුවුණේ ජනාධිපතිවරයා විසින් ගත් තීරණයක් නිසා.
කොමිසමේ වාර්තාවේ වැඩිදුරටත් මෙහෙම සඳහන් වෙනවා. අනතුරුව කොමිසම අගමැතිවරයාගෙන් විමසුවේ මහේන්ද්‍රන් මහතාගේ බෑනා වන අර්ජුන ඇලෝසියස් පර්පර්චුවෙල් ට්‍රෙෂරීස් නම් ප‍්‍රාථමික ගැනුම්කාර සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරියා සහ අධ්‍යක්ෂවරයා බව දැන සිටියේද යන්නය. එසේම මෙම තත්වය මහ බැංකු අධිපතිවරයා ලෙස මහේන්ද්‍රන් මහතාගේ රාජකාරී ඉටුකිරීමේදී ලැදියාවන් අතර ගැටුමක් ඇති කිරීමේ ඉඩක් ලෙස පවතින බව දැන සිටියේ දැයි කොමිසම අගමැතිවරයාගෙන් ඇසීය. පිළිතුරු වශයෙන් අගමැතිවරයා කීවේ ඇලෝසියස් මහතා පර්පර්චුවල් ට්‍රෙෂරීස් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරියා සහ අධ්‍යක්ෂවරයා බව තමන් දැන සිටි බවයි. “බෑනා ප‍්‍රාථමික බැඳුම්කාර සමාගමක් සමඟ සබඳතාවයක් තිබෙන බැවින් ලැබැඳියාවන් අතර ගැටුමක් ඇතිවිය හැකි යැයි මම බොහෝ අවස්ථාවල මහේන්ද්‍රන් මහතාට දැනුම් දුන්නා. ඇලෝසියස් මහතා සමාගමේ ක‍්‍රියාකාරිත්වයක නියැලෙන්නේ නැතැයි මහේන්ද්‍රන් මහතා මට නැවත නැවත සහතික කර කිවුවා. ඒ නිසා මම ලැබැඳියාවන් අතර ගැටුම්කාරී තත්වයක් පැන නොනගින බවට විශ්වාසයකින් සිටියා…” කොමිසම ලෙස අප අදහස් කරන්නේ, තමාට දුන් පොරොන්දුවලට අනුව මහේන්ද්‍රන් මහතා සැබැවින්ම කටයුතු කරන්නේද යන්න ස්වාධීනව තහවුරු කර ගැනීමට අගමැතිවරයා විසින් විචක්ෂණශීලී ක‍්‍රියාමාර්ගයන් ගත යුතුව තිබූ බවය. ඒ අනුව පැහැදිලි වෙනවා කොමිසම අගමැතිවරයාගේ කි‍්‍රයාමාර්ග පිළිබඳව ප‍්‍රශ්න කර තිබෙන බව.
ඒ නිසා මෙම ගනුදෙනුවේ මුළුමහත් ක්‍රියාවලිය පිරිසිදු නැහැ. පාර්ලිමේන්තුවේ ක්‍රියාමාර්ග කෝප් කමිටුවේ එජාප මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාමාර්ග කෝප් වාර්තාවට ෆුට් නෝට් දැමීම පිරිසිදු දේවල් නෙවෙයි. මෙම සුදු කරපටි අපරාධකාරයින්ගේ හොරකම ගැන එජාපයේ නායක රනිල් වික‍්‍රමසිංහ ඇතුළු කණ්ඩායම සම්පූර්ණ වගකීම බාරගන්න ඕන. මේ හොරකම වහන්න බැහැ. තිලක් මාරපන කමිටු දාලා හෝදන්න බැහැ.
රුපියල් කෝටි 1114ක අයුතු මූල්‍ය ප‍්‍රවාහයක් රැස්කරගෙන තිබෙන බවට කොමිසන් වාර්තාව කියලා තිබෙනවා. අගමැතිවරයා කියනවා එම පාඩුව අයකරගන්න පුළුවන් විදිහට පර්පචුවල් සමාගමට අයිති බිලියන 12ක මුදලක් අමාත්‍යාංශයේ රඳවාගෙන තිබෙනවා කියලා. අගමැතිවරයාගේ මෙම ප‍්‍රකාශයේ හොරුන්ට පූර්වාදර්ශයක් වේවි. මීට පස්සේ හොරු ගෙයක් බිඳින්න යනවිට පොලීසියට අහුවුණොත් ගෙවන්න කියලා මුදලක් වෙන්කරලා තියන්න පුළුවන්. හොරකම අසුවුණොත් වෙන්කරපු මුදල ගෙවන්න පුළුවන්. අගමැතිවරයාගේ ප‍්‍රකාශයට අනුව අපරාධකාරයෝ නැහැ. වංචා කරපු මුදල පවරාගන්න පුළුවන්.
මේ වගේ දේවල් තියෙන්නේ මොන නීති පොතේද? මේ විදිහට තවත් හොරකම වහන්න ප‍්‍රකාශ නිකුත් කරන්නේ බැඳුම්කර හොරකමේම කොටසක් විදිහටයි. මහ බැංකුවට සිදුවූ අලාභය මේ විදිහට පවරා ගත්තත් පොලී අනුපාත වැඩිවීම නිසා රටේ ජනතාවට සිදුවුණු පාඩුව පියවා ගන්නේ කොහෙන්ද? රටේ ආර්ථීකයට සිදුවුණ පාඩුව රනිල් වික‍්‍රමසිංහ පියවනවද? මේ හොරකම අහුවුණු නිසා තමයි පාඩුව රුපියල් කෝටි 1114කින් නතර වුණේ. නමුත් මේ බැඳුම්කර නිකුත් කළේ අවුරුදු 30කයි. වසර 30ක් මේ ගනුදෙනුව සිදුවුණා නම් රටට, ජනතාවට සිදුවුණු පාඩුව කෙතරම් වෙයිද? පොලී අනුපාත කීයකින් වැඩිවෙයිද? මේ හොරකම අහුවුණේ නැත්නම් තවදුරටත් පර්පචුවල් සමාගම මහ බැංකුවෙන් මේ විදිහටම බැඳුම්කර මිලදී ගන්නවා. අර්ජුන් මහේන්ද්‍රන් තවදුරටත් අධිපති වෙලා ඉන්නවා. ඒ නිසා මේ වංචාව වහන්න දරන උත්සාහයන්වලින් එජාපයේ නායකයා ඇතුළු පිරිස හොරු බව තව තවත් තහවුරු වෙනවා. ඒ නිසා මේ රටේ ජනතාව ඔවුන්ට හරියටම උත්තරයක් දිය යුතුව තිබෙනවා. ඔවුන් ජනතාවගේ කතිරය හොරකම් කරන්න ආයුධයක් කරගෙනයි තිබෙන්නේ.
බැඳුම්කර වාර්තාවට අනුව නිර්දේශ 30ක් ඉදිරිපත්කොට තිබෙනවා. රජයට සිදුව ඇති වළක්වාගත හැකිව තිබූ පාඩුව අර්ජුන් මහේන්ද්‍රන් මහතාගෙන් අයකර ගැනීමටත් අර්ජුන ඇලෝසියස් සහ කසුන් පලිසේන කොටස් සහ ස්කන්ධ කොටස් ආඥා පනතට අනුව වරදකරුවන් වන බැවින් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට පර්පචුවල් සමාගමට අනුබද්ධ වෝල්ට් ඇන් රෝ ඇසෝසියේට් සමාගම විසින් ප‍්‍රතිලාභ ලැබූ එවකට මුදල් අමාත්‍ය රවී කරුණානායක මන්ත්‍රීවරයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිසම විසින් නීතිමය පියවර ගැනීම, රවී කරුණානායක විසින් කොමිසම වෙත වැරදි තොරතුරු ලබාදීමට එරෙහිව දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ සහ අනෙකුත් නීති යටතේ නඩු පැවරීම මෙම වැරදි සහගත ක්‍රියාව පිළිබඳව තොරතරු සැඟවීම සඳහා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් දුරකථන පටිගතවීම් මකා දැමීමට ගන්නා ලද උත්සාහය හේතුවෙන් අර්ජුන ඇලෝසයස් සහ කසුන් පලිසේන දණ්ඩ නීති සංග‍්‍රහයේ අපරාධ වරදක් සිදුකොට ඇති බැවින් අදාළ පියවර ගැනීම ඇතුළු නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. එම නිසා මෙම සියලු දෙනා වරදකරුවන් කොට දඬුවම් දිය යුතුව තිබෙනවා. නීතිය ඉදිරියේ මෙන්ම සමාජය ඉදිරියේ වරදකරුවන් කළ යුතුව තිබෙනවා.
නීතිපතිවරයාගෙන් මේ කටයුත්ත ඉටුවෙයි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද, කෝප් කමිටුවේ වාර්තාව නීතිපතිවරයාට ලබා දීලා වසරයි මාස 03ක් පමණ ගතවෙනවා. නමුත් ඔහු ගත්ත ක්‍රියාමාර්ගයක් නැහැ. ඒ නිසා අපි යෝජනා කරන්නේ, පාර්ලිමේන්තුව රැස්වෙලා ගතයුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කළ යුතුයි කියලා. විශේෂ අධිකරණයක් පිහිටුවලා පළමු නඩු කටයුත්ත ලෙස බැඳුම්කර නඩුව විමර්ශනය කරන්න ඕන. මෙම වැරදිකරුවන් හිරේ ගිහින් රෝහල් ගතවන බව ජනතාව දන්නවා. ඒකෙන් ජනතාවට සෙතක් වෙන්නේ නැහැ. ඒ නිසා ජනතාවටත් රටටත් සිදුවුණු පාඩුව අයකරගන්නේ කොහොමද කියන එකයි ගැටලුව වෙන්නේ. එනිසා මේ පිිළිබඳව සිදුකෙරෙන පාර්ලිමේන්තු කටයුතුවලට අපේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් 06දෙනා උපරිම ලෙස මැදිහත් වන බව සහතික වෙනවා. ජනතාව අපි කෙරෙහි තැබූ විශ්වාසය ආරක්‍ෂා කරන බවට අපි පොරොන්දු වෙනවා. හොරුන්ට දඬුවම් දෙනවා කියලා මෙම අපරාධ තොරොම්බල් කරන අයට එරෙහිව හොරකම වහන්න ගලේ පහරපු බළලූන් වගේ හැසිරෙන එක්සත් ජාතික පක්‍ෂයේ නායකයින්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතුව තිබෙනවා. මෙම ගනුදෙනුවට එරෙහිව කරුණු හෙළිදරව් කරපු මාධ්‍යවේදීන් සමාජජාල ක්‍රියාකාරුවන්, බුද්ධිමතුන් සියලු දෙනාටම අපි ස්තුතිවන්ත වෙනවා. මේ සටන මෙතැනින් අවසන් වෙන්නේ නැහැ. රටේ නාස්තියට, දූෂණයට එරෙහිව විශාල සටනක් තිබෙනවා. මෙම චූදිතයින් සියලු දෙනා නිතිය ඉදිරියේ, සමාජය ඉදිරියේ වැරදිකරුවන් කර රටට සිදුවූ අලාභය අයකරගන්න තෙක් අපි මේ සටන ඉදිරියට ගෙනයනවා.”