අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අර්ජුනගේ කැපවීම සිහිපත් කළ ක්‍රිස් වෝක්ස්ගේ පැමිණීම

අර්ජුනගේ කැපවීම සිහිපත් කළ ක්‍රිස් වෝක්ස්ගේ පැමිණීම

තනි අතින් පන්දුවට පහර දී රට දිනවූ අර්ජුන බිඳුණ උරහිසක් සමගින් ඉන්දියාව සමග පැවති 5 වන ටෙස්ට් තරගයේ දී එංගලන්ත ක්‍රීඩක ක්‍රිස් වෝක්ස් පිටියට පැමිණීම සම්බන්ධයෙන් ක්‍රිකට් ලෝකයම දැන් කතා කරනවා. ක්‍රිකට්…

තනි අතින් පන්දුවට පහර දී රට දිනවූ අර්ජුන 

බිඳුණ උරහිසක් සමගින් ඉන්දියාව සමග පැවති 5 වන ටෙස්ට් තරගයේ දී එංගලන්ත ක්‍රීඩක ක්‍රිස් වෝක්ස් පිටියට පැමිණීම සම්බන්ධයෙන් ක්‍රිකට් ලෝකයම දැන් කතා කරනවා. ක්‍රිකට් ලෝකයම ඔහුගේ ධෛර්යට ප්‍රසංශා කරනවා.

මේ වෝක්ස් ගේ වික්‍රමය දකිද්දී ශ්‍රී ලාංකිකයෙක් අදට අවුරුදු 25 කට කලින් බිඳුණ ඇඟිල්ලක් එක්ක තනි අතින් ක්‍රීඩා කරපු හැටි මතක් වුණා. ඒ වෙන කවුරුත් නෙමෙයි ශ්‍රී ලංකාව බිහි කළ සුපිරි නායක අර්ජුණ රණතුංග.

"ඒක තමයි මගේ ක්‍රිකට් ජීවිතයේ වේදනාත්මකම අවස්ථාව" පසු කලෙක අර්ජුණ එහෙම කියනවා. මේ තරගය සහ අර්ජුණ කරපු වික්‍රමය සම්බන්ධයෙන් ඔබ දැනුවත් ද?

දැන්වීම

2000 පෙබරවාරි මස 26 වනදා ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ටෙස්ට් තරගමාලාවේ පළමු තරගය රාවලපින්ඩි හී දි ආරම්භ වුණා. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන පාකිස්තානය ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සහ මුත්තයියා මුරලිදරන් ගේ පන්දු හමුවේ අසරණ වී ලබා ගත්තේ ලකුණු 182 ක් පමණයි.

අරවින්දගේ ශතකයෙන් සවිමත් වූ ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 353 ක් රැස් කළා. නමුත් සටන අත් නොහැරි පාකිස්තානය දෙවන ඉනිමට ලකුණු 390 ක් ලබාගත් අතර යුනුස් කාන් අගනා ශතකයකින් එයට දායක වුණා.

ශ්‍රී ලංකාවට හිමි වූ ඉලක්කය ලකුණු 220 ක්. පහසු ඉලක්කයක් ලෙසින් පෙනුනත් පාකිස්තාන වේග පන්දු යවන්නන් සහ අවසන් දිනයේ තණතීරුවේ හැසිරීමත් සමග ශ්‍රී ලංකාවට එය ලෙහෙසි වූයේ නෑ.

ලකුණු 116 කට ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 4 ක් බිඳ වැටුණ විට අර්ජුණ රණතුංග පිටියට පිවිසියා. ඔහුගේ කර මත ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාමට දැඩි වගකීමක් ගොඩනැගී තිබුණා.

ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 144 ක් වන විට මහේල ජයවර්ධන ලකුණු 35 කට දැවී ගිය අතර සැබෑ ප්‍රශ්නය මතු වන්නේ ඉන් අනතුරුවයි. වකාර් යුනුස් යැවූ අධිවේගී පන්දුවක් කෙලින්ම අර්ජුණගේ වම් අතේ මහපටැඟිල්ලේ වැදුන අතර ඉන් ඔහු දැඩි වේදනාවකට පත් වූ බව පිළිබිඹු වුණා.

මහපටැඟිල්ල බිඳී ගිය අර්ජුණ පිටියෙන් ඉවත් වූ අතර ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 146-5 ක් ලෙසින් සටහන් වුණා. ජයග්‍රහණය වෙනුවෙන් ඒ වන විට ශ්‍රී ලංකාවට තවත් අවශ්‍ය වූ ලකුණු ගණන 74 ක්.

චමින්ද වාස් දුවද්දී දැවී යාමෙන් පසු කළුවිතාරණ සහ නුවන් සොයිසා යම් බලාපොරොත්තුවක් ඇති කළත් සොයිසා සහ ප්‍රමෝද්‍ය ව එකළඟ පන්දු දෙකකදී දවා ගැනීමට අබ්දුල් රසාක් කටයුතු කළා.

ඒ වන විට ශ්‍රී ලංකාවට ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍යව තිබූ ලකුණු ගණන 43 ක්. මුරලිදරන් පිටියට පැමිණේ යැයි බොහෝ දෙනෙක් විශ්වාස කළත් ඒ සියල්ල බිඳ දමමින් අර්ජුණ රණතුංග පිටියට පිවිසියා.

කළුවිතාරණ සමග එක් වූ අර්ජුණ දැඩි වේදනාවක් සමගින් තනි අතින් පන්දුවට පහර දුන්නා. ඇඟිල්ල පමණක් බිඳී තිබූ නිසා ඔහුට අනෙක් අතින් පිත්ත ග්‍රහණය කර ගැනීමට හැකි වුවත් බොහෝ අවස්ථා වල පන්දුව පිත්තේ වදින විට එම අත අතහැරෙන ආකාරය දකින්නට පුළුවන්.

අතිශය වේදනාවෙන් පිත්ත හැසිරවූ අර්ජුණ ට කළුවිතාරණගෙන් නොමද සහයක් ලැබුණා. ශ්‍රී ලංකාව අදාල ලකුණු 43 සම්පූර්ණ කරද්දී කළුවිතාරණගේ නම ඉදිරියෙන් නොදැවුණ ලකුණු 36 ක් සහ අර්ජුණගේ නම ඉදිරියෙන් නොදැවුණ ලකුණු 29 ක් සටහන් වුණා.

අර්ජුණ එම ලකුණු 29 න් ලකුණු 21 ක් ම වාර්තා කළේ වම් අතේ මහපටැඟිල්ල බිඳී තනි අතින් පිත්ත හසුරවමින් වීම ද විශේෂත්වයක්. එම ජයග්‍රහණය ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පමණක් නොව ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේත් අමරණීය ජයක් ලෙසින් වාර්තා පොත් වල ලියැවුණා.

අර්ජුණ පෙන්වූ ධෛර්යය නිසා ශ්‍රී ලංකාව තරගයෙන් ජය ගත්තා. එපමණක් නොව ශ්‍රී ලංකාව තරගාවලිය ද 2-1 ක් ලෙසින් ජයග්‍රහණය කළා. යම් හෙයිකින් අර්ජුණ එදා පන්දුවට පහර දීමට පැමිණියේ නැත්නම් තරගාවලිය 2-1 ක් ලෙස පාකිස්තානය සතු වන්නට ඉඩ තිබුණා.

අර්ජුණලා මොනවා වුණත් ශ්‍රී ලංකා ක්‍රිකට් මේ තැනට ගේන්න අතක් පයක් කැඩිලා හරි කැපවුණ මිනිස්සු.

- ProSports -

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න