අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අරලිය - රත්න වාහන තරඟය ගොවියාට වස වෙයිද..?

අරලිය - රත්න වාහන තරඟය ගොවියාට වස වෙයිද..?

මේ මොහොතේ මහ කන්නයට අස්වනු නෙලමින් තියෙනවා. මාලිමා ආණ්ඩුව බලය අරන් වී ගබඩා වලට ගිහින්, ඒවා පේන්ට් කරලා සුපුරුදු මාධ්‍ය සංදර්ශනයක් දැම්මා. වසන්ත සමරසිංහ, නාමල් කරුණාරත්න වී ගඩබා ලඟට ගිහින් මාධ්‍යයට…

මේ මොහොතේ මහ කන්නයට අස්වනු නෙලමින් තියෙනවා.

මාලිමා ආණ්ඩුව බලය අරන් වී ගබඩා වලට ගිහින්, ඒවා පේන්ට් කරලා සුපුරුදු මාධ්‍ය සංදර්ශනයක් දැම්මා.

වසන්ත සමරසිංහ, නාමල් කරුණාරත්න වී ගඩබා ලඟට ගිහින් මාධ්‍යයට වොයිස් කට් දුන්නා.

දැන්වීම

වී ගබඩා පුරවනවාය , සහල් මිල අඩු කරනවා ය කියලා පොරොන්දු දුන්නා. පෙර පාලකයන්ට ශාප කළා.

ඒ සංදර්ශනය බලාගෙන හිටපු අපිට හිතුනේ අද ඉදන් ඩඩ්ලි සිරිසේනට හාල් මෝල වහලා වසන්ත සමරසිංහ ලඟ රස්සාවක් කරන්න වේවි ය කියලා.

ඒ තරම් ආණ්ඩුව ඔවුන් දක්ෂම දේ හෙවත් 'කතා කළා.'

හැබැයි වසරකට පසුව මේ මොහොතේ රජයෙන් වී මිලට ගන්නවා තබා සහතික මිලක්වත් ක්‍රියාත්මක නැහැ.

ඒ වෙනුවට සහල් ගෙන්වන්න ටෙන්ඩර කැඳවලා. හිතාමතාම වී මිල තව තවත් පහතට දාලා. වසන්ත 'රටින් ගෙනල්ලා' එයාගේ මැච් එක ගහනවා.

අනිත් අතට මහා පරිමාණ මෝල් හිමියන්ට ගොවියන් සූරා කෑමට ඉඩ දී ආණ්ඩුව බලන් ඉන්නවා.

ගොවියො අසරණයි. වී කිලෝවට 150 ක් ඉල්ලපු නාමල් කරුණාරත්න කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය වූ රජයක, වී කිලෝව 90 - 100 අතර විකිණෙනවා.

හැබැයි මේ තුට්ටු දෙකට ගන්න වී හාල් කරලා, මෝල් හිමියන් වෙළඳපොලට එවන්නේ අසාධාරණ ලාභයක් එක්ක.

ජනාධිපති අනුර මේසයට ගහලා වැඩි කරලා දුන්නු සහතික මිලටත් වඩා මෝල්කාරයො සහල් විකුණනවා.

ඔවුන් ජනාධිපති හමුවෙලා පවත්වන සාකච්ඡා අනුව ඔවුන්ට මේ හාල් ව්‍යාපාරයෙන් කිසිඳු ලාභයක් නැහැ.

කිලෝව 250 නොවෙයි 1000 කළත් ඔවුන්ට මිල මදි. පාඩුයි. ඔවුන් මාධ්‍ය ඉදිරියේ රටම රවටනවා.

රටේ පාලකයා සත්‍යය දැනගෙන රැවටුණා වගේ ඉන්නවා. ඔලුව වනලා, මේසයට ගහලා, හාල් මෝල්කාරයන්ට එකඟ වෙනවා.

ඒ අතරේ හාල් මෝල්කාරයො දෙන්නෙක් , පොඩි උන් වගේ තරගෙට වාහන, ජෙට්, හෙලිකොප්ටර් ගන්න පටන් අරන්.

එකිනෙකාට දෙවෙනි නොවන බව පෙන්වීමට ඔවුන් පුදුමාකාර විදියට මහන්සි වෙනවා.

මේ මුදල් කොහෙන්ද ?

ඒ හූරා කාපු ගොවියාගේ මහන්සිය. ඒ මේ රටේ බත් කන මිනිහාගෙන් අසාධාරණ විදියට උපයපු මුදල්.

මේ ගොවියො වකුගඩු රෝගය හදාගෙන, නොකා නොබී වවන අස්වැන්න.

මේ මිනිස්සු හාල් කීය වුනත් කන්න වෙලා තියෙන අසරණකම.

අද රොල්ස් රොයිස්, ප්‍රයිවට් ජෙට්ස් වෙලා ඇවිත් තියෙන්නේ ඒ මිනිස්සුන්ගේ අසරණකම.

මොවුන් මහ සමාජයට ප්‍රදර්ශනය කරමින් ඉන්නේ ඔවුන් කොතරම් තක්කඩීන් ද කියලා මිසක් ඔවුන් කොතරම් දක්ෂ ව්‍යාපාරිකයන් ද

කියලා නොවෙයි.

මේ ඔවුන් මහන්සියෙන් හම්බ කරපු සල්ලි ය, මේවා ඔවුන් 'අර්න්' කරපුවා ය කියලා සමහරු කියනවා.

නැහැ.

මේ සාධාරණ බිමක, සාධාරණව උපයපු සල්ලි නෙවෙයි.

මේ ක්‍රොනි කැපිටලිස්ට් ලා දේශපාලන වාසි සහ විවිධ වංචා කරපු උපයපු මුදල්. තමන්ගේ අයියා ජනාධිපති කරන්, පොලී රහිත බැංකු ණය අරන්, දේශපාලකයො සල්ලි වලට අරන් උපයපු මුදල්. රටේ සංවේදි පරිසර කලාප වල නීතිවිරෝධි ඉදිකිරීම් කරලා උපයපු මුදල්.

ඒකාධිකාරී හදාගෙන, මැච් ගහලා, නීති වෙනස් කරන් හොරට උපයපු මුදල්. අසාධාරණ ලාභ එක්ක, තරගකාරීත්වය විනාශ කරලා උපයන මුදල්.

'ක්‍රොනි කැපටලිසම්' කියන්නේ සැබෑ ධනවාදය නොවෙයි.

ඩඩ්ලි ලා, මිත්‍රපාල ලා, සිරිපාල ගම්ලත් ලා 'ක්‍රොනි කැපිටලිස්ට්' ලා. ඔවුන් ව්‍යාපාරිකයො නොවෙයි.

තක්කඩි සමාජයක පමණක් ගොඩනැගිය හැකි තක්කඩියො!

- සචින් රත්වත්තේ -

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න