අරගල කරන දූ දරුවන්ට කරූගෙන් යෝජනාවක්

සියලු දෙනා එකට එක්ව "ජන සභා" පිහිටුවමු..! "ආදරණීය දරුවනේ ඔබේ යහපත් අධිශ්ඨානය රට වෙනුවෙන් නිවැරැදිව මෙහෙය වන්න" ලක් ඉතිහාසයේ ඉතා තීරණාත්මක පරිච්ඡේදය නව දේශයක් වෙනුවෙන් සංවිධානය වෙමු සිය යහපත්…
සියලු දෙනා එකට එක්ව "ජන සභා" පිහිටුවමු..!
"ආදරණීය දරුවනේ ඔබේ යහපත් අධිශ්ඨානය රට වෙනුවෙන් නිවැරැදිව මෙහෙය වන්න"
ලක් ඉතිහාසයේ ඉතා තීරණාත්මක පරිච්ඡේදය
නව දේශයක් වෙනුවෙන් සංවිධානය වෙමු
සිය යහපත් අධිශ්ඨානය රට වෙනුවෙන් නිවැරැදිව මෙහෙය වන ලෙස රටේ ආදරණීය දූ දරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
තරුණ අරගලකරුවන්ගෙන් එම ඉල්ලීම සිදු කරමින් සහ ඒ අයට උපදෙස් ලබා දෙමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
අපට මතක ඇති සියලුම කාලයන්හි අපට වඩා වැඩිහිටි සමාජය කීවේ අනාගතය හිමි වන්නේ තරුණ පරපුරට වන බවය.එහෙත් එම උරුමය හැම කල්හිම සිහිනයක්නම විය. උතුරේත් දකුණේත් මෙරට තරුණ පරපුර අවස්ථා කිහිපයකදීම තම උරුමය ඉල්ලා අරගල කළහ. ඒත් ඒ අරගල මාදිලිය ප්‍රචණ්ඩ විය. ප්‍රචණ්ඩ අරගල සියල්ල පරාජය කරනු ලැබුවේද ප්‍රචණ්ඩත්වයෙනි.එවැනි තත්ත්වයන් මේ රට දශක ගණනාවක් පසු පසට හැරවීය.
දැන්වීම
2015දී මෙරට දේශපාලන වෙනසක් සිදු විය. ඉන් බලයට පත් වූවන්ට තරුණ අපේක්ෂාවන් පිළිබඳ නිෂ්චිත දැක්මක් තිබුණේ නැත. එම අපේක්ෂාවන් බල ලෝභී දුෂ්ඨ බලවේග විසින් කොල්ල කන්නට එද්දී ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට බලවත් සටනක් කරන්නට සිදු විය.
අප පරාජය වූවාද ජයග්‍රහණය කළාද තක්සේරු කළ යුත්තේ ඉතිහාසයයි. 2019 දී නැවතත් රටේ වෙනසක් සිදු විය. එසැනින් තරුණ පරපුර පෙරට ආහ. තමන් පතන, සිතන ලෝකය මේ යැයි ඔව්හු තාප්ප බිත්ති පුරා නේක වර්ණයෙන් සිතුවම් කළහ. එම සිතුවම්වල තිබූ ප්‍රස්තූත කවරක් වුවත් ඒවා සැරසිලි කළ වර්ණවල ඔවුන්ගේ අහිංසක වූත් තිරසාර වූත් බලාපොරොත්තු ගැබ්ව තිබුණේය. එහෙත් අවාසනාවකට එවර ද තරුණ තරුණියන් දුන් පණිවුඩය වැඩිහිටියන් තේරුම් ගත්තේ නැත.
කාලය අපූරු බලවේගයකි. එය වැඩිහිටියන් තව දුරටත් තරුණ අපේක්ෂාවන් සාක්ෂාත් කිරීමෙහි ලා අසමත් බව තහවුරු කෙළේ ය. ඒ ඉතා වේදනාකාරී අත්දැකීම් රාශියක් ඔස්සේය. වසංගතය විසින් එය පළමුව හුදෙකලා අත්දැකීම් ලෙස ඉදිරිපත් කළ අතර ක්‍රමයෙන් එය පොදු අත්දැකීම් බවට පත් විය. සාම්ප්‍රදායික ක්‍රමවේදයන්, අවිද්‍යාත්මක ප්‍රවේශයන්, පටු අවස්ථාවාදී උපදේශයන් සියල්ල එක පිට එක පරීක්ෂාවට ලක් විය. ඒ සියලු පරීක්ෂාවන්හිදී අසමත් බව තහවුරු වී තිබේ.
මෙතෙක් ශ්‍රී ලාංකීය සමාජයේ මුල් බැස ගෙන තිබූ සමාජ දේශපාලන ආගමික ආදී සියලු අධිකාරීවාදයන් සුනු විසිනු කරමින් තරුණ පරපුර පොදු අපේක්ෂාවකින් ඉදිරියට පැමිණ තිබේ. අප මෙය දකින්නේ 2015 දී අතපසු කළ ඉදිරිගාමී ප්‍රවාහයේම දිගුවක් ලෙසය.
මේ පෙරට එන තරුණ දරුවන් අත අවි ආයුධ නැත. ඔවුන්ගේ සිත්වල පටු කුහක සීමාවන් ද නැත. ඔව්හු එක හඬින් ඉල්ලා සිටින්නේ ජීවිතය යි. තමන්ට පමණක් නොව සැම දෙනාටම සාධාරණ විය යුතු වන ජීවිතයයි. ලෝකයේ තමන් සහ සමකාලීන තරුණ තරුණියන් නිදහසේ භුක්ති විඳින ජීවිතයේ චමත්කාරයයි.
මෙය මෙතෙක් අප අත් නොවිඳි, අත් නොදුටු බර සාර අත්දැකීමකි. වැඩිහිටි පරපුර එයට සවන් දිය යුතුය. එයට අවනත විය යුතුය. මන්ද යත්, මේ අප ඉදිරියේ දිනපතා මං මාවත් දිගේ කාහල නාදය දෙන්නේ මේ රටේ අනාගත හිමි කරුවන් නිසා ය.
මම, මෙරටට නිදහස ලැබුණු සමයෙහි පාසැල් දරුවෙකි. එදා මෙදා තුර මේ මිහිපිට සිදු වූ, බොහෝ දෙනා නොදුටු බොහෝ දේ මා දැක තිබේ. බොහෝ සිදුවීම්වලින් මගේ සිත සසල වී තිබේ. නිවැරදි මාවත වෙනුවට මංමුලා වී යමින් මේ ව්‍යසනය ළඟා කර ගත් අයුරු කලකිරීමෙන් විඳ තිබේ.
අද මේ තරුණ නැගිටීම දෙස මා බලා සිටින්නේ ආශ්වාදයෙනි; බලාපොරොත්තුවෙනි. එහෙත්, අසංවිධිත ගමනකට පැවැත්මක් නැති බව මම අත්දැකීමෙන් දනිමි. වැඩිහිටියෙකු ලෙස මගේ සිතෙහි නැගෙන එම සාංකාව ඔබ වෙත හඬගා කියන ලෙස මගේ සිත මට බල කරයි. එහෙයින් මේ ඔබට කියන්නට මට ඉඩ දෙන ලෙස මගේ දේශයේ දරුවන්ගෙන් මම ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
ආදරණීය දරුවනි..,
ඔබ මේ ලියන්නට පටන් ගෙන ඇත්තේ ලක් ඉතිහාසයේ ඉතා තීරණාත්මක පරිච්ඡේදයකි. එය අපතේ නොයැවිය යුතුය. ඒ සංවිධානාත්මකව අවසාන තීරණාත්මක මැදිහත් වීමේ නිමේෂය පැමිණ තිබේ. ජනතාවගේ අරගල සාධනීයවත්, නිර්මාණාත්මකවත්, අපේක්ෂිත ප්‍රතිඵල අත්පත් කර ගැනීම සඳහාත් පෙරට යන්නට නම් ජනතාවගේම සංවිධානාත්මක ඒකක හදා ගත යුතුය.
ඒවා “ජන සභා” ලෙස නම් කිරීම යෝග්‍ය වේ. එයට ඔබ කැමැති ඕනෑම නමක් යොදා ගත්තාට ද කමක් නැත. ඔබේ ගමේ, නගරයේ, පළාතේ, සේවා ස්ථානයේ, ආදී ඕනෑම කේන්ද්‍රයක් වටා “ජන සභා” ගොඩ නැගිය හැකිය. ඔබේ සැබෑ ප්‍රශ්නය ඔබේ සැබෑ වුවමනාව දන්නේ ඔබය. එයට විසඳුම දන්නේ ද ඔබය. විසඳුම සොයන මාර්ගය දන්නේ ද ඔබය. ඕනෑම රජයකට කළ හැක්කේ එය සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය පහසුකම් සැපයීම පමණකි.
මෙතෙක් කල් පැවැති ආචීර්ණ කල්පික පරිපාලන රටාවන්, විශ්වාසයන්, අනුකූලතාවයන්, යටත් වීම් සියල්ල බිඳ වැටීමට නියමිත ය. අවසානයේ ඉතිරි වනු ඇත්තේ “ආදරය”, “සෙනෙහස”, “අනොන්‍ය ගෞරවය” , “විනය” සහ “නීතිය” පමණකි. ඒ සියලු යහගුණ පදනම් කර ගෙන නව සමාජ තත්ත්වයක් බිහි වීමට නියමිතය.
එදිනට එහි අප නියෝජනය කරන නියෝජිතයන් තෝරා ගත යුත්තේ අපේ “ජන සභා” විසිනි. එයට ජාති, කුල, ආගම්, භාෂා, මිල මුදල්, දේශපාලන හේතු නොතිබිය යුතුය. තිබිය යුත්තේ ‘කුසලතාවය’, ‘ඥානය’, ‘කැපවීම’ සහ ‘අත්‍යන්ත විශ්වාසය’ පමණකි. ඒ සඳහා අත්‍යාවශ්‍යයෙන්ම මෙම “ජන සභා” වල ආත්මය විය යුත්තේ “විනිවිද භාවය”, “වගකීම” , “වගවීම” සහ “සත්‍යය” යි.
අද වන විට මේ රටේ මුල් බැස ගෙන ඇති වංචාව, දූෂණය, නාස්තිය සහ මැර බලය මුලිනුපුටා දැමිය හැක්කේද එවන් මගකිනි. අපගේ ජීවිත කාලයේ අප දුටු සිහිනය සැබෑ කරමු. අපේම සැබෑ නියෝජනය නිරූපනය වන “ජන සභා” පිහිටුවා ගනිමු. නව දේශයක් වෙනුවෙන් සංවිධානය වෙමු. එහි චමත්කාරයත් සතුටත් භුක්ති විඳිමු. අපෙන් පසුව එන පරපුරවලටත් එය ඉතිරි කොට තබා සතුටින්ම නික්ම යමු..! ඔබේ දරුවාගේ දෑස ඔබම කියවා ගන්න..!