අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අරගලයේ තරුණ අපේක්ෂාවන් රටට ආදර්ශයක්

අරගලයේ තරුණ අපේක්ෂාවන් රටට ආදර්ශයක්

එම අපේක්ෂා යතාර්ථයක් බවට පත් කිරීම ආණ්ඩුවේ වගකීමක් තරුණ පරපුර වෙත ජාතියේ ගෞරවය හිමි විය යුතුයි මහා ජන අරගලයේ තරුණ අපේක්ෂාවන් රටට ආදර්ශයක් වන අතර ඔවුන් වෙත මුළු මහත් ජාතියේම ගෞරවය හිමි විය යුතු යැයි…

එම අපේක්ෂා යතාර්ථයක් බවට පත් කිරීම ආණ්ඩුවේ වගකීමක් 

තරුණ පරපුර වෙත ජාතියේ ගෞරවය හිමි විය යුතුයි 

මහා ජන අරගලයේ තරුණ අපේක්ෂාවන් රටට ආදර්ශයක් වන අතර ඔවුන් වෙත මුළු මහත් ජාතියේම ගෞරවය හිමි විය යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

දේශබන්දු කරු ජයසූරිය මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

අද වන විට මේ රටේ තරුණ පරපුර ප්‍රමුඛ කර ගත් සාමාන්‍ය සිවිල් ජනතාව රට වෙනුවෙන් වූ සිය යුතුකම ඉටු කිරීම සඳහා ස්වෙච්ඡාවෙන්ම පෙරට පැමිණ තිබේ. එම ප්‍රවේශය අතිශයින්ම ප්‍රශංසා කටයුතු තත්ත්වයකි. ඔවුන් වෙත මුළු මහත් ජාතියේම ගෞරවය හිමි විය යුතුය.

දැන්වීම

ඔවුන් එක හඩින් ඉල්ලා සිටින්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා අත්‍යාවශ්‍ය වශයෙන්ම සිදු කළ යුතුව ඇති දේශපාලන ප්‍රතිසංස්කරණයන් ය. එමෙන්ම අද වන විට මේ රටේ ජනතාව මුහුණ දෙමින් සිටින අනේකවිධ ගැටලුවලට විසදුම් ලබා දෙන ලෙසටය. රටේ ආර්ථිකය නිසි කළමනාකරණයකින් යුතුව නැවත යථා තත්ත්වයට පත් කරන ලෙසටය. 

සැබවින්ම මේ ඉල්ලීම් ඉතාමත්ම සාධාරණ සහ යුක්ති සහගත ඉල්ලීම් වේ. ඒ කිසිවක් ඔවුන්ගේ පටු පුද්ගලික අභිමතාර්ථයන් සපුරා ගැනීම සඳහා වන ඉල්ලීම් නොවේ. සමස්ත රට වෙනුවෙන්, රටේ ජනතාව වෙනුවෙන් සහ මතු පරපුරේ යහපත සේම ආරක්ෂාව සඳහා වන ඉල්ලීම් වේ.

එබැවින් ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය අන් සියල්ලටම පෙර සමස්ත ජාතියේම නාමයෙන් ඔවුන්ගේ එම ඉල්ලීම් කෙරෙහි සාවධානව ඇහුම්කන් දිය යුතුව තිබේ. සිය පෞද්ගලික බලය හෝ වරප්‍රසාද පසෙකලමින් ඔවුන්ගේ ඉල්ලීම් කෙරෙහි නම්‍යශීලී විය යුතුව තිබේ.

එමෙන්ම රට වෙනුවෙන් හඩ නඟන අප රටේ ආදරණීය දූ දරුවන්ගෙන් ද එක ඉල්ලීමක් කිරීමට කැමැත්තෙමු. එනම් ඔබ අධිෂ්ඨානශීලීව ගෙන යමින් සිටින මෙම අරගලයේ ජීව ගුණය සමඟම මේතාක් දුරට ආරක්ෂා කර ගත් සාමකාමී බව තව දුරටත් ආරක්ෂා කර ගන්නා ලෙසටය. එමෙන්ම සියලු පාර්ශව අතර පවත්වා ගත් නොබිඳුනු සමඟිය තව දුරටත් රැක ගන්නා ලෙසටය. 

අප මෙම ඉල්ලීම සිදු කරන්නේ ඒ සඳහා වන විශේෂ හේතූන් ද පැන නැගෙමින් පවතින නිසාය. එනම් ඔබගේ සමඟිය අධිෂ්ඨානය සහ සාමකාමී ගුණය බිඳ දැමීම සඳහා දියත් කරන ලද කුමන්ත්‍රණ කිහිපයක්ම මේ වන විටත් හෙළිදරව් වී ඇති නිසාය. 

විශේෂයෙන්ම රජයේ ආරක්ෂක අංශ අතර ඔබ කෙරෙහි වෛරී ස්වභාවයක් නිර්මාණය කිරීම සඳහා වන සැලැසුම් සහගත ක්‍රමන්ත්‍රණ ඉදිරියේදී ද දියත්වීමට බොහෝ සේ ඉඩ ඇතැයි යන සැකය දැනටමත් බොහෝ දෙනෙකු අතර මතුවී තිබේ. එබැවින් ඔබගේ සහ රටේ ගෞරවය මේතාක් දුරට ආරක්ෂා කර ගත් පරිද්දෙන්ම තව දුරටත් පවත්වා ගෙන යාම වැදගත්ය. අප ඔබ වෙතින් මෙම ආයාචනය සිදු කරනු ලබන්නේ ඔබේත් රටේත් ගෞරවය ඉතා වැදගත් වන නිසාවෙනි.

එමෙන්ම අප රටට මහත් ව්‍යසනයක් වී ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසී කිරීම සඳහා වන අවශ්‍යතාවය සමාජයේ සෑම පාර්ශවයක් වෙතින්ම පිළි ගෙන තිබීම සහ ඒ සඳහා වන සිය උනන්දුව සේම අභිලාෂයන් ප්‍රකාශයට පත් වෙමින් තිබීම ඉතාමත්ම සුබදායක තත්ත්වයක් ලෙස අපි සලකන්නෙමු.

අප සංවිධානය එහි ආරම්භයේ සිටම කැපවූයේ ද එම අරමුණ වෙනුවෙනි. අපවත් වී වදාළ අති පූජ්‍ය මාඳුළුවාවේ සෝභිත නා හිමිපාණන් වහන්සේ සිය ජීවිත කාලයේ අවසන් යුගයම කැප කරන ලද්දේ එකී අරමුණ වෙනුවෙනි. අද වන විට ඒ අරමුණ මේ රටේ සමස්ත තරුණ පරපුරද ඇතුළු දේශපාලන බලවේග අන් කවර දාකටත් වඩා ඉදිරියට ගෙන තිබීම අප සලක්නනේ රටේ යහපත සඳහා වන සාධනීය පියවරක් ලෙසටය. එබැවින් අප මේ රටේ සියලුම දේශපාලන පක්ෂ වෙතින් සහ විශේෂයෙන්ම වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මහ ජන මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ ඒ සඳහා නොපමාව ඉදිරි පියවර ගන්නා ලෙසටය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
අරගලයේ තරුණ අපේක්ෂාවන් රටට ආදර්ශයක් | Lanka Newsweek