අරගලකරුවෝ අගමැති කාර්යාලයටත් පනිති

(ශානිකා ශිරෝමාලි) 39ක් රෝහලේ කාන්තාවෝ 2ක් ඒ අතර කොළඹ මල් පාරේ පිහිටි අගමැති කාර්යාලය ඊයේ (13) අරගලකරුවෝ අත්පත් කර ගත්හ. අගමැති කාර්යාලය අත්පත් කර ගැනීමෙන් අනතුරුව කාර්යාලයේ උඩුමහලට නැගි අරගලකරුවෝ එහි…
(ශානිකා ශිරෝමාලි)
39ක් රෝහලේ කාන්තාවෝ 2ක් ඒ අතර
කොළඹ මල් පාරේ පිහිටි අගමැති කාර්යාලය ඊයේ (13) අරගලකරුවෝ අත්පත් කර ගත්හ. අගමැති කාර්යාලය අත්පත් කර ගැනීමෙන් අනතුරුව කාර්යාලයේ උඩුමහලට නැගි අරගලකරුවෝ එහි ජාතික ධජය එසවූහ.
මෙහිදී සිදු වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් අරගලකරුවෝ 39 දෙනෙක් පමණ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණහ.
දැන්වීම
මෙම සිදුවීම ඇරඹීමට පෙරාතුව තුංමුල්ල ගුවන් හමුදා මුලස්ථානය ආසන්නයේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබුණ අතර ඒ ආසන්නයේ පිහිටි එක්සත් ජාතින්ගේ ශ්‍රී ලංකා කාර්යාලයේ පිරිස් සේවා ස්ථානයෙන් ඉවත් වූහ.
මල් පාරට ඇතුළුවිය නොහැකි වන සේ මාර්ගය දෙසින්ම මාර්ග බාධක යොදා වසා තිබිණි. ගෝල්ෆේස් පිටියේ සිට පාගමනින් පැමිණි අරගලකරුවන් අතර සිටි කිහිපදෙනෙක් තර්ස්ටන් හන්දියේ මාර්ග බාධක උඩ නැග එහි රැස්ව සිටි පිරිස අමතමින් ' අපි අද අගමැති කාර්යාලය අල්ලා ගන්නවා. හැබැයි එහි තිබෙන කිසිම ලිපි ලේඛණයකයට භාණ්ඩයකට හානි කරන්න එපා. රනිල් වික්‍රමසිංහ අගමැතිකමෙන් අයින් වෙන්න ඕනේ. රනිල් වික්‍රමසිංහ අගමැති ධූරය භාර ගන්න බැහැ.' යි පැවසූහ.
පසුව එම ස්ථානයේ වූ මාර්ග බාධකය බිද දමමින් අරගලකරුවෝ සටන් පාඨ කියමින් ඉදිරියට පැමිණියහ. ඒ වන විටත් අගමැති කාර්යාලයට පොලිස් හා හමුදා ආරක්ෂාව යොදා තිබිණි. අරගලකරුවන් අගමැති කාර්යාලයේ තාප්පයට සහ ගස්වලට නැග කාර්යාල භූමියට ඇතුළුවීමටත් උත්සාහ කරන අවස්ථාවේ පොලිසිය අහසට වෙඩි තබමින් අරගලකරුවන්ට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දැනුම් දුන්නේය. පසුව දිගින් දිගටම කඳුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කෙරිණි.
ගුවන් හමුදා හෙලිකොප්ටරයක් අගමැති කාර්යාලයට ඉහළින් කිහිපවරක් පියාසර කෙරිණි. මේ අවස්ථාවේදී කැලඹීමට පත්වූ අරගලකරුවෝ වහාම එම ස්ථානයෙන් ඉවත්ව ගෝඨා ගෝ ගමට යන්නැයි ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් පිරිස දැනුම්වත් කළහ. ඒ සමඟ එහි සිටි සමහරෙක් එම ස්ථානයෙන් වහාම ඉවත් වන්නට පියවර ගත්තේය. හෙලිකොප්ටරය පියාසර කිරීම නතර කිරීමත් සමඟ තැන් තැන්වල විසිර සිටි පිරිස් නැවත කාර්යාලය වට කරගත්හ.
දිගින් දිගටම ආරක්ෂක බළඇණි කැඳවන ආකාරයද දක්නට ලැබිණි. සමහර අරගලකරුවන් ආරක්ෂක අංශ අසලට පැමිණ බැණවදින ආකාරයද දිස්විය.
අරගලකරුවන් විශාල පිරිසක් ද එහි සිටි අතර ආරක්ෂක අංශ හා අරගලකරුවන් අතර ඇති වූ ගැටුම්වලින් තුවාල ලැබූවන් 30 දෙනෙකු මේ වන විට ජාතික රෝහලට ඇතළත් කර තිබේ. ඒ අතර කාන්තාවන් දෙදෙනෙක් සිටින අතර කුඩා දරුවන් කිසිවෙක් නැතැයි හෙද නිලධාරී පුෂ්පා රම්‍යා ද සොයිසා මහත්මිය සඳහන් කළේය. රෝහල්ගත කර ඇති අය අතර කැපුම් තුවාල සිදු වූ කිහිප දෙනෙක් ද සිටින නමුත් කිසිවෙකුට බරපතළ තත්ත්වයක් නොමැති බවද ඇය සඳහන් කළාය.