අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අයවැය ගැන සීරියස් නැති විග‍්‍රහක්

අයවැය ගැන සීරියස් නැති විග‍්‍රහක්

(තීක්ෂණ වෙළෙන්එගොඩ ) යහපාලන ආණ්ඩුවේ තුන්වැනි අයවැය ලේඛනය පසුගිය දා (10) මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ‘‘මංගලගේ මංගල අයවැය’’ දැන් පවතින්නේ විවාද මට්ටමේ. ආණ්ඩුවයි…

(තීක්ෂණ වෙළෙන්එගොඩ )

යහපාලන ආණ්ඩුවේ තුන්වැනි අයවැය ලේඛනය පසුගිය දා (10) මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ‘‘මංගලගේ මංගල අයවැය’’ දැන් පවතින්නේ විවාද මට්ටමේ. ආණ්ඩුවයි ඒකාබද්ධ විපක්ෂයයි අතර බල අරගලයට වගේම ජවිපෙ සුපුරුදු විවේචනවලටත් මුහුණ දුන්නාට පස්සේ කිසිම සැකයක් නැතිව අයවැය සම්මත වෙයි. ඒක බොහෝ විට 3/2ක ඡුන්දයක් වෙන්නත් පුළුවන්. ඒ මොකද ආණ්ඩුව වගේම ඒකාබද්ධ විපක්ෂයත් සුපුරුදු විදිහට තමන්ගේ පාර්ලිමේන්තු බලය මේ හරහා උරගා බලන්න සූදානමින් සිටින නිසයි. ඒ අතර ජනමාධ්‍යවලටත් අයවැයේ ගුණදොස් ගැන නිස්කාංසුවේ කතා කරන්න පුළුවන් වෙයි.

නැති ජනතාවක් සීරියස්

කාලයක් තිස්සේ ජනතාවත් අයවැය ගැන ඒ තරම් සීරියස්ව හිතන්න නොයන ස්වභාවයක් දැකිය හැකියි. මේ ලේඛකයා වුණත් අයවැය කතාව සජීවිව ශ‍්‍රවණය කරන්න ගියේ නැහැ. රූපවාහිනියේ ප‍්‍රවෘත්තිවලට (ආණ්ඩුවේ) කිවුව ටික තමයි මුලින්ම දැන ගත්තේ. ඊට පස්සේ පත්තරවලින් එහෙන් මෙහෙන් විස්තර ටිකක් අහුල ගත්තා.

දැන්වීම

මේ තත්ත්වය බොහෝ දෙනෙක් තුළ දැකිය හැකි වුණා. ඒකට හේතුව අයවැය තව දුරටත් තමන්ගේ ජීවිතය, රටේ අනාගතය කෙරෙහි තීරණාත්මක බලපෑමක් කරන්නේ නැති බව ජනතාව වටහා ගෙන තිබීම විය හැකියි. උදාහරණයක් විදිහට ගත්තොත් රජයේ සේවකයෝ අයවැය දිහා බලන් ඉන්නේ පඩි වැඩි කිරීම සිදුවන්නේ අයවැයෙන් හින්දයි. ඒත් ආණ්ඩුවට දැනෙන බලපෑමක් කරමින් ජන ජීවිතය දැඩිව අඩාල කරන්න පුළුවන් වරාය, විදුලිය, දුම්රිය වාගේ රාජ්‍ය අංශයේ සේවකයින්ට අයවැයෙන් පඩි වැඩි කිරීමක් ගැන සීරියස්ව හිතන්න වුවමනා නැහැ. ඔවුන් අවුරුද්ද පුරාම කොහොම හරි ඒ වැඬේ කර ගන්නවා. ඒ නිසා අයවැය ගැන බලන්න ඉන්න තියෙන්නේ ආණ්ඩුවට දැනෙන බලපෑමක් කළ නොහැකි රාජ්‍ය ආයතනවල සේවකයින්ට පමණයි.

මේ තත්ත්වය පුද්ගලික අංශයටත් අදාළයි. 2015 යහපාලන ආණ්ඩුව බලයට පත් වූ විගස රාජ්‍ය සේවකයින්ගේ පඩිය රුපියල් 10,000කින් වැඩි කළත් පුද්ගලික අංශයට හිමි වුණේ 2500ක් පමණයි. ඒකත් සමහර ආයතන දුන්නේ නැහැ. ඒ නිසා පඩි වැඩි කිරීම යන කොන්දේසිය පුද්ගලික අංශයට අදාළම නැහැ. ගැනත් කවුරුත් දැන් සීරියස් නැහැ.

ඉස්සර නම් අයවැය ගැන මිනිස්සු වැඩියෙන් සංවේදී වුණේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් පහළ දැමීම වාගේ සමස්ත පොදු ජනතාවටම බලපාන තීන්දු අයවැය මගින් ගන්න නිසා. ඒත් දැන් බඩු මිල අඩු කිරීම, බදු පහළ දැමීම විකාරයක් වෙලා. අයවැයෙන් බදු අඩු කරන කිසිම භාණ්ඩයක හෝ සේවයක මිල ගණන් කවදාවත් පාරිභෝගිකයාට වාසිදායක විදිහට අඩු වෙන්නේ ම නැහැ. ඒ වාසියෙන් වැඩි ප‍්‍රතිශයක් වෙළෙන්දෝ ගසා ගෙන කනවා. ඒක තමයි ආණ්ඩුව වුණත් පිළිගන්න තිත්ත ඇත්ත. ඒ නිසා අයවැයෙන් අඩුවට කන්න හිතාගෙන ඉන්න මිනිස්සු දැන් නැහැ. මොකද අයවැය නැතිව වුණත් ආණ්ඩුව හිතූමතේ විවිධ හේතු කියමින් බදු සංශෝධනය කරනවා. ඒ නිසා අයවැය යෝජනා මගින් ඉදිරිපත් වන බදු ප‍්‍රතිපත්ති අද එකම විකාරයක් වෙලා ඉවරයි. මොකද

අනෙක් පැත්තෙන් ගත්තොත් මත්පැන් මත බදු පැනවීම වාගේ දේවල් සාම්ප‍්‍රදායිකව සිදු වෙන දේවල් නිසා ඒ අවුරුද්ද පුරාම බදු සංශෝධනය කරමින් ස්වයං පිනවීමක ඉන්න රටක් විදහට දැන් ලංකාව සමාජගත වෙලා ඉවරයි.

අයවැයෙන් වළේ වැටීම

මංගලගේ මංගල අයවැය ඉදිරිපත් වෙන කොට මේ රටේ බොහොම අහිංසකයින් පිරිසක් ලොකු බලාපොරොත්තුවකින් හිටියා. ඒ තමයි තමන්ගේ කියලා වාහනයක් හිමිකර ගන්න 2015 ජනවාරි 08 දා ඉඳන් ඇඟිලි ගනිමින් සිටින පිරිස. පසුගිය සැප්තැම්බර් මාසේ විතර ඉඳලා මිනිස්සු අතර කතාවක් ගියා ‘‘පොඩි වාහනවල මිල අඩු කරයි’’ කියලා. ඒ නිසා මේ මාස කිහිපය තුළ කුඩා වාහන අලෙවිය හා ඇනවුම් කිරීමත් බොහොම අඩු වෙලා තිබුණා කියලා අදාළ සමාගම් ප‍්‍රකාශ කළා. මේ ලේඛකයාගේ පුද්ගලික අත්දැකීමත් ඒකමයි.

ඒත් අයවැයෙන් ඒ පුංචි හීනයට විලංගු දැම්මා. ඉලෙක්ටි‍්‍රක් කාර් මිල මිලියනයකින් අඩු වුණත් ඒක දැනෙන්නේ සීමිත පිරිසකට. පොඩි කාර් මිල අඩු වුණා නම් බොහෝ දෙනෙක් ගොඩ යන්න තිබුණා. මේ නිසා අලූතින් පොඩි කාර් එකක් මිලදී ගන්න හිටිය අහිංසකයෝ ටිකට නම් වැඬේ අවුල් වුණා.

හයිවේ එකට මිලියන 10,000ක්

මධ්‍යම පළාත් අධිවේගී මාර්ගයට රුපියල් මිලියන 10,000ක් වෙන් කරන බව මුදල් ඇමැතිවරයා බොහොම අභිමානයෙන් කිවුවා. ඒත් දවසකට මගීන්, විශේෂයෙන් ශ‍්‍රමිකයින් ලක්ෂ 6ක් කොළඹට ප‍්‍රවාහනය කරන දුම්රිය සංවර්ධනයට ආණ්ඩුව කීයක් වෙන් කළා ද කියලා තාම දැන ගන්න නැහැ. ටි‍්‍රප් යන්න, නෑදෑයෝ බලන්න යන්න වගේ සීමිත අවශ්‍යතාවලට ඉතාම සීමිත පිරිසක් (මධ්‍යම පාන්තිකයින්) භාවිත කරන අධිවේගී මාර්ගවලට වගේම ශ‍්‍රමිකයින් අති විශාල පිරිසක් දුකසේ භාවිත කරන පොදු ප‍්‍රවාහනයට ආණ්ඩුව මීට වඩා ප‍්‍රතිපත්තිමය අවධානයක් යොමු කළ යුතුයි කියලා බොහෝ දෙනෙක් කියන කතාවට ආණ්ඩුව කිසිමදාක සංවේදී වෙන බවක් නම් නැහැ.

අයවැයක් කියන්නේ කුමක්ද ?

අයවැය කියන්නේ නත්තල් සීයා කෙනෙක් නොවන බව මේ වගේ කාරණා නිසා දැන් දැන් ජනතාව තේරුම් අරං ඉන්නවා. ඒක හොඳ ප‍්‍රවණතාවක් විදිහට සැලකිය හැකියි. ගමේ ගහෙන් කඩන පොල් ගෙඩිය ගමේම කඬේ රුපියල් 100ට විකුණන රටක මේවා ගැන ජනතාව පුදුමයට පත් නොවන එකත් පුදුමයක් නොවෙයි.

කොහොම වුණත් අයවැය ලේඛණය ගැන ජනප‍්‍රිය නොවන කතාවක් කෙරේ අපගේ අවධානය යොමු විය යුතුයි. ඒ ඇත්තටම ආණ්ඩුව අයවැය ලේඛනයක් ඉදිරිපත් කරන්නේ ඇයි ? ජනතාවට, රටට ඒක වැදගත් වෙන්නේ ඇයි ?

ආර්ථික විද්‍යාවට අනුව නම් අයවැය ලේඛනයක් කියලා නිර්වචනය වෙන්නේ ‘‘කිසියම් රටක කිසියම් කාල පරිච්ඡ්දයන් තුළ ලැබේ යැයි අපේක්ෂා කරනු ලබන සියලූම ආදායම් මාර්ග හා ඒවා වැය කිරීමට බලාපොරොත්තු වන ආකාරය දැක්වෙන වැඩසටහන’’ යි. ඒ අනුව වාර්ෂික අයවැය ලේඛනය හුදෙක් රජයේ ආදායම් සහ වියදම් ඇස්සමේන්තුවක් පමණක් නොවෙයි. සංවර්ධනය වන රටවලටත්, සංවර්ධිත රටවලටත්, අයවැය ලේඛනයක් එකසේ වැදගත් වන්නේ එය වාර්ෂක සැලැස්මේ එක් අංගයක් වන නිසයි.

අයවැය ලේඛනය කියලා කෙළින්ම ප‍්‍රකාශ වන අදහස වෙන්නේ එය ආණ්ඩුවේ ආදායම් හා වියදම් අන්තර්ගත ලේඛනයක් බවයි. ඒත් ඒක සම්පූර්ණ සත්‍ය අදහසක් වශයෙන් සැලකෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අයවැය ලේඛනය අදායම් හා වියදම්වල ඇස්තමේන්තුවක් පමණක් නොවෙයි. එය ආණ්ඩුවේ අය හා වැය තුලනය කිරීමක් මෙන් ම රටේ ජනතාවගේ ආර්ථික ජීවිතය ස්ථාවර කිරීම කෙරෙහිත් බලපානවා. පාර්ලිමේන්තුව සම්මත කරන සෙසු පනත් වලින් අයවැය ලේඛනය වෙනස් වෙන්නේ මේ නිසයි.

රටේ ආර්ථිකයට අයවැය ලේඛනය අංශ දෙකකින් වැදගත් වෙනවා. ඉන් එකක් වෙන්නේ ‘‘සැලසුම් උපකරණයක් ’’ ලෙස අයවැය සැලකිය හැකිවීමයි. ඒ වගේම අයවැය කියන්නේ පාලන උපකරණයක්. රටේ සම්පත් හා ඒවා උපයෝගීකරණය පිළිබඳව මග පෙන්වීමක් අයවැය ලේඛනය මගින් ලැබෙනවා.

අයවැය ලේඛනය ආර්ථිකයක් හැසිරවීමේ උපකරණයක් වශයෙන් වැදගත් වෙන්නේ ඒ මගින් අදාළ වර්ෂයට අපේක්ෂා කළ ඒ ඒ ඉලක්කයන්ට කොතෙක් දුරට ළඟා වී ඇත්දැයි පිරික්සීමට වගේම ඒවායේ වෙනසක් ඇත් නම් ඒවාට හේතු වුණේ මොන මොන කරුණු ද කියලා දැන ගැනීමට හැකිවීම. මේ හැඳින්වීම අනුව අපට පැහැදිලි වෙනවා අයවැය ලේඛනයක් කොතරම් වැදගත් ද කියලා. ඒත් ඒක ලංකාවට ජෝක් වුණේ කොහොමද ?

ඒකට හේතුව තමයි අයවැය ලේඛනය බොහෝ විට තමන්ගේ දේශපාලන න්‍යාය පත‍්‍ර ඉටුකර ගැනීමේ උපකරණයක් විදිහට ආණ්ඩුව විසින් භාවිත කිරීම. හුදු ජනප‍්‍රියත්වය සඳහා බදු සංශෝධන ආදි තීරණ ගන්නේ, වැටුප් වැඩි කිරීම වැනි කෙටි කාලීන පියවර ගන්නේ මේ නිසයි.

අනෙක් කරුණ වන්නේ ලංකාව වාගේ රටක සැලසුම් මත වැඩ කරන්න කොහොමත්ම බැහැ. අපි ආර්ථික හා දේශපාලන වශයෙන් පරාධීන වෙන තරමටම දේශගුණික, කාලගුණික සාධක හමුවේ නොසිතූ තරම් අසරණ වෙන තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා අයවැය සැලසුම් බොහෝ විට හුදු වචන බවට පත් වීමට තිබෙන සම්භාවිතාව වැඩියි. උදාහරණයක් විදිහට පසුගි කාලයේ ලංකාව දිගින් දිගටම මුහුණ දුන් ස්වභාවික ආපදා නිසා දැවැන්ත ආර්ථික හානියකට රට මුහුණ දුන්නා. ඒ වගේම නියං තත්ත්වය නිසා විශේෂයෙන් කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ නිෂ්පාදනය බිඳ වැටුණා. ඒ නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ (සහල්) විශාල වශයෙන් ආනයනය කරන්න සිදු වුණා. මේ කිසිවක් 2016 අයවැය මගින් අපේක්ෂා කළ දේවල් නොවෙයි.

ඒ වගේම තමයි අයවැය මගින් අමාත්‍යාංශවලට ලබා දෙන මුදල් වැය කිරීම සම්බන්ධ බරපතළ අර්බුදයක් රට හමුවේ තිබෙනවා. බොහෝ රාජ්‍ය ආයතන තමන්ට ලබා දුන් මුදල්වලින් සැලකිය යුතු ප‍්‍රතිශයක්, ඇතැම් විට සියයට 50කට වඩා අධික ප‍්‍රතිශයක් වැය නොකර යළි භාණ්ඩාගාරයට හරවා යනවා. ඒ වගේම අයවැය මගින්, බදු ප‍්‍රතිපත්ති මගින් හඳුන්වා දුන් ආදායම් උපයා ගැනීම බොහෝ විට දුර්වල තත්ත්වයක පවතිනවා. ඇතැම් විට සිදු නොවීම පවතිනවා. උදාහරණයක් ලෙස පසුගිය අයවැය ලේඛනය මගින් හඳුන්වා දුන් වැට් බදු සංශෝධන ගත හැකියි. එම සංශෝධනවලට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. අවසානයේ ආණ්ඩුවට සිදු වුණේ වැට් බදු සංශෝධන හකුගා ගන්නයි. මේ තත්ත්වය තුළ ආණ්ඩුවේ අයවැය සැලසුම් හා උපකල්පන අයාලේ ගිය බව අපට අමතක කළ නොහැකියි.

ඒ වගේම තමයි අපි පසුගිය කාලය තුළ අයවැය ලේඛනයෙන් පසුව නිරන්තරයෙන් සිදුවන බදු පැනවීම් ( ඉහළ දැමීම් / පහළ දැමීම්) දැක්වා. උදාහරණයක් විදිහට ගත්තොත් මංගල සමරවීර මහතා මුදල් ඇමැති ධූරයේ වැඩභාරගත් වහාම කළ බදු සංශෝධන වගේම අයවැයට දින කිහිපයකට පෙර අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක බදු අඩු කිරීම වාගේම වගා සංග‍්‍රාමය ඇරඹුණු දා ජනාධිපතිවරයා විසින් කෘෂිකාර්මික උපකරණවල බදු නිදහස් කිරීම දැක්විය හැකියි.

ඒත් ප‍්‍රශ්නය වන්නේ මේ කිසිම බදු සහනක් ජනතාව වෙත නිසි පරිදි ගලා නොයාමයි. ඒවා ව්‍යාපාරිකයෝ සහ ආනයනකරුවෝ මොහොතකින් බිලියනපතියෝ කරන දේවල් බවට පත්වෙලා තිබෙනවා. මේ තත්ත්වය කොතරම් හාස්‍යජනක ද කියන පසුගිය දා බදු අඩු කළ භාණ්ඩ වැඩි මිලට විකුණන ව්‍යාපාරිකයින්ට එරෙහිව ආණ්ඩුව නීතිය ක‍්‍රියාත්මක කිරීමට යාම ගැන පළවන මාධ්‍ය වාර්තා මගින් පැහැදිලි වෙනවා. මේ හාස්‍යජනක තත්ත්වය දින 100 වැඩසහන මගින් බදු අඩු කළ භාණ්ඩ සම්බන්ධයෙන් ද සිදු වුණා.

මෙවැනි තත්ත්වයක් තුළ උපකල්පන මත පදනම් වෙමින්, ප‍්‍රක්ෂේපණය කිරීම් මත පදනම් වෙමින් හදන බොහෝ සැලසුම් හුදු වචන බවට පත්වන දීර්ඝ කාලීන ප‍්‍රවණතාවක් ලංකාව තුළ කාලයක් පුරා තිබෙනවා. මේවා අයවැය ලේඛනයේ ගරුත්වය වාගේම විශ්වාසනීයභාවය බිඳ වැටීමට ප‍්‍රබල ආකාරයෙන් හේතු වෙලා තිබෙනවා.

පසු විපරමක් නැතිකම

අයවැය ලේඛනයක් සැලකිය හැක්කේ ආර්ථිකයේ අතීත, වර්තමාන හා අනාගත ක‍්‍රියාකාරීත්වය මනාව සම්බන්ධ වන ක‍්‍රියාවලියක් වශයෙනුයි. උදාහරණයක් ලෙස පසුගිය වසරේ අයවැය මගින් හඳුන්වා දුන් දේවල්වල ප‍්‍රතිඵල ලැබෙන්නේ මේ වසරේදී. එහි අවසාන ප‍්‍රතිඵල සමහර විට ලැබෙන්නේ තවත් වසරකින්. ඒක හරියට ගහක් හිටවලා - සාත්තු කරලා - අස්වැන්න නෙලා ගන්නාවා වාගේ වැඩක්.

ඒත් ලංකාවේ අපි දකින්නේ මේ ක‍්‍රියාවලියේ අනෙක් පැත්ත. පසුගිය වසරේ හඳුන්වා දුන් අයවැය යෝජනාවලට හාත් පසින්ම වෙනස් යෝජනා මේ වසරේ ඉදිරිපත් වෙනවා. උදාහරණයක් ලෙස විදුලි කාර් සම්බන්ධයෙන් 2016 වසරේ ඉදිරිපත් වුණ අයවැය යෝජනා සැලකිය හැකියි. 2016 දී විදුලි කාර්වල බදු වැඩි කළා. දැන් 2017 දී බදු අඩු කරනවා. මේ වාගේ පරස්පරතා බහුල වශයෙන් අයවැය ලේඛනවල දැකිය හැකියි. මේ තත්ත්වය අයවැයේ විශ්වාසය වගේම අදාළත්වයත් දුර්වල කරනවා.

ඒ වගේම තමයි අයවැය යෝජනා කොතරම් දුරට ක‍්‍රියාත්මක වුණාද ? එහි ඵලදායිතාවය කොතරම්ද ? එහි අසාර්ථභාවයන් මොනවාද ? වැනි පසුවිපරමක් සිදුවන බවක් කිසිසේත්ම පෙනී යන්නේ නැහැ. 2016 වසරේ ඉදිරිපත් කළ අයවැය ලේඛනයේ තේමාපාඨයට හාත් පසින්ම වෙනස් ‘‘නීල හරිත ආර්ථිකයක්’’ වැනි අලූත් තේමා පාඨ ඉදිරිපත් වන්නේ මේ පසුබිම තුළයි. මේක කොතරම් හාස්‍යජනක ද කියලා පසුගිය දශකයකට ආසන්න කාලය තුළ ඉදිරිපත් වූ අයවැය තේමාපාඨ අධ්‍යයනය කළොත් මනාව වටහා ගන්න පුළුවන් වෙයි.

මුදල් වැය කළ නොහැකි ආණ්ඩුවක්

මාධ්‍ය වාර්තා කරන ආකාරයට දැඩි මූල්‍ය අර්බුදයක් මැද වුවත් පසුගිය අයවැය ලේඛනය මගින් බොහෝ රාජ්‍ය ආයතනවලට වෙන් කළ ප‍්‍රතිපාදනවලින් සැලකිය යුතු ප‍්‍රතිශතයක් මේ දක්වා වැය කරලා නැහැ. සමහර රාජ්‍ය ආයතවල මේ ප‍්‍රතිශතය සමස්ත ප‍්‍රතිපාදනවලින් සියයට 60කට ආසන්න බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. මෙය බරපතළ තත්ත්වයක් වශයෙන් සැලකිය හැකියි.

අයවැය ලේඛනය මේ ආකාරයෙන් විශ්වාසනීයත්වය සහ අදාළත්වය දුර්වල කර ගන්න විට ජනතාවට තව දුරටත් එහි වටිනාකමක් පෙනී යන්නේ නැහැ. එය ආණ්ඩුව වාර්ෂිකව ඉදිරිපත් කරන තවත් පනතක තත්ත්වයට පත්වීම ලංකාව වාගේ රාජ්‍ය අංශය අතිෂයින් පුළුල් හා බලාධිකාරිය පුළුල් කර ගනිමින් සිටින රටකට කිසිසේත් යහපත් නැහැ.

නත්තල් සීයාගේ භූමිකාව ඉවරයිද ?

පඩි වැඩි නොවන විට හෝ එවැනි අවශ්‍යතාවක් නොවන විට, අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පාලනය ආණ්ඩුවෙන් ගිහිලෙන විට අයවැය කියන්නේ නත්තල් සීයා කෙනෙක් නොවන බව මේ වගේ කාරණා නිසා දැන් දැන් ජනතාව තේරුම් අරං ඉන්නවා. ඒක හොඳ ප‍්‍රවණතාවක් විදිහට සැලකිය හැකියි. මොකද රාජ්‍ය අංශය මත ආර්ථිකයේ රැුදියාව හැකි තරම් පටුවීම වගේම ජනතාවගේ එදිනෙදා ජීවිතයේ සලකලවිධ ක‍්‍රියාකාරකම්වලට ආණ්ඩුවේ මැදිහත්වීම් සීමා වීම ඉතාමත් යහපත් ප‍්‍රවණතාවක් වශයෙන් සැලකිය හැකියි. පොල් මිල ඉහළ යන විට ලොරිවලින් පොල් විකුණන්න ඇත්තටම ආණ්ඩුව ඉදිරිපත් විය යුතු නැහැ. ඒ වාගේ සිල්ලර වැඩවලට ආණ්ඩුව ඉදිරිපත් වූ විට සිද්ධ වන්නේ ‘‘පාලනය’’ කියන දේ ආණ්ඩුවෙන් දුරස් වෙනවා. ඒ වගේම ජනතාව අනවශ්‍ය තරමට ආණ්ඩුව මත යැපෙන පරාධීන, පරපුටු තත්ත්වයක් නිර්මාණය වෙනවා. ‘‘මේක බිලි පිත්ත වෙනුවට මාළු දෙන’’ තත්ත්වයක්. එයින් කිසිසේත්ම ආර්ථික සංවර්ධනයක් අපේක්ෂා කළ නොහැකියි.

ඒත් පාලකයින් කැමැතිම වෙන්නේ මාලූ දීමට බව අපට තව තවත් අවධාරණය වෙමින් තිබෙනවා. ඒ ජනතාවට ඇති ආදරය නිසා නොව තම දේශපාලන පැවැත්ම සඳහා බව අප වටහා ගත යුතුයි. මොකද හැම ආණ්ඩුවක්ම තම දේශපාලන පැවැත්ම තහවුරු කර ගන්නේ රාජ්‍ය සම්පත් වැය කරමින් ජනතාව ආකර්ෂණය කර ගැනීම මගිනි. අද යහපාලන ආණ්ඩුවට (එජාපයට) රුපියල් 10,000කින් වැටුප් වැඩි කිරීම වාගේ කතා කියන්න පුළුවන් වෙලා තිබෙන්නේ ඒ නිසයි. මහින්ද රාජපක්ෂ රුපියල් 350ට පොහොර දෙමින් දේශපාලන සූදුවක් කළේ මේ නිසයි.

කොහොම වුණත් අයවැය ලේඛනය ගැන පුරසාරම්වලින් වාගේම විවේචනවලින් ඔළුව කොලොප්පන් කර නොගෙන ඒ ගැන යථාර්ථවාදීව බැලීමට ජනතාව හුරුවිය යුතුයි. මොකද තාවකාලික භාරකාරයින් විසින් පසුගිය කාලය පුරාම වියදම් කළේ ඔවුන්ගේ පොකැට්ටුවෙන් නොව ජනතාවගේ පසුමිබ්යෙන් බව අප දන්නා නිසයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 9
බෙදාගන්න
අයවැය ගැන සීරියස් නැති විග‍්‍රහක් | Lanka Newsweek