අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

අනීතික ක්‍රියාවන්ට එරෙහිව වහාම පියවර ගනු

අනීතික ක්‍රියාවන්ට එරෙහිව වහාම පියවර ගනු

රට මුහුණ දෙමින් සිටින අර්බුදය තව තවත් තීව්‍ර නොකරනු ජනතාව බිය ගැන්වීම නතර කරනු අවනීතියට එරෙහිව පෙළ ගැසෙමු රටේ සිදු වන අනීතික සහ අත්තනෝමතික ක්‍රියාවලට එරෙහිව නොපමාවම පියවර ගැනීමට ජනාධිපතිවරයා ප්‍රධාන…

රට මුහුණ දෙමින් සිටින අර්බුදය තව තවත් තීව්‍ර නොකරනු 

ජනතාව බිය ගැන්වීම නතර කරනු 

අවනීතියට එරෙහිව පෙළ ගැසෙමු  

රටේ සිදු වන අනීතික සහ අත්තනෝමතික ක්‍රියාවලට එරෙහිව නොපමාවම පියවර ගැනීමට ජනාධිපතිවරයා ප්‍රධාන රජයේ සියලු පාර්ශ්වයන් ක්‍රියා කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

රටේ යහපැවැත්ම තහවුරු වනු ඇත්තේ, ජනතාව සිය පාලනය පිළිබඳව දක්වන ගෞරවය සහ පිළි ගැනීම තහවුරු වන ප්‍රමාණයටය. ශ්‍රී ලංකාව අද වන විට මුහුණ දෙමින් සිටින්නේ පෙර නොවූ විරූ ආකාරයේ දැවැන්ත අර්බුදයකටය. ආර්ථික සහ සමාජීය වශයෙන් සමස්ත රටම බරපතළ කඩා වැටීමකට ගොදුරු වෙමින් පවතී. 

දැන්වීම

එහිදී වර්තමාන රජය සේම ඒ පිළිබඳව වගකීමකින් යුතුව කටයුතු කළ යුතුව ඇති බොහෝ පාර්ශ්වයන් කටයුතු කරමින් සිටින ආකාරය පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත් විය නොහැක. එකී පාර්ශ්වයන් එහිදී බොහෝ දුරට කටයුතු කරමින් සිටින්නේ වගකීම් විරහිත සේම අත්තනෝමතික ආකාරයකටය. එම පසුබිම රට මුහුණ දෙමින් සිටින මෙම අර්බුදය තව දුරටත් තීව්‍ර කිරීමට ඉවහල් විය හැකිය. 

විශේෂයෙන්ම රටේ ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කරමින් ඒකාධිකාරී පාලනයක් වෙත යොමු වීමේ ප්‍රමණතාවය සේම නීති විරෝධී මැර කල්ලිවලට කිසිදු බියකින් තොරව  නිදහසේ කටයුතු කිරීමට හැකි වන ආකාරයට සහ ඊට අනුබල සපයන ආකාරයට සිදු වන ක්‍රියාවන් දිනෙන් දින වාර්තාවන තත්ත්වයක් මත මේ රටේ ජනතාවගේ නිදහසට වගේම ජනමාධ්‍ය නිදහසට ද බරපතළ තර්ජනයක් මතුව තිබීම සම්බන්ධව සියලු පාර්ශ්වයන් හි අවධානය යොමු විය යුතුව ඇතැයි යන්න අපගේ බලවත් විශ්වාසයයි. 

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල වූ නින්දනීය මැර ප්‍රහාරය, පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් ජනතාවගේ අයිතිවාසකම් වෙනුවෙන් පෙනී සිටින සහ එම කුරිරු සිදු වීමට එරෙහිව යුක්තිය ඉල්ලා සිටින සමාජ ක්‍රියාකාරකයෙකු වූ ෂෙහාන් මාලක මහතා මහා දවාලයේ පැහැර ගැනීමක ස්වරූපයකින් අත්අඩංගුවට ගැනීම සේම රටේ විවිධ ප්‍රදේශවල ජනමාධ්‍යවේදීන් ද ඇතුළු සමාජ ක්‍රියාකාරිකයන්ට එල්ල වෙමින් පවතින තර්ජන අතිශයින්ම බරපතළය. 

ප්‍රජාතන්ත්‍රවාදය අගයන, ජනතාවගේ අයිතිවාසිකම් සුරකින, ශිෂ්ටසම්පන්න කිසිදු පාලනයක් වෙතින් එවැනි ක්‍රියාවන් අපේක්ෂා කළ නොහැකිය. එවැනි බරපතළ සිදු වීම් හමුවේ මේ රටේ පාලකයන් ඒ ගැන ප්‍රමාණවත් අවධානයක් යොමු කරමින් ක්‍රියා කරන ආකාරයක් ප්‍රදර්ශනය නොවීම හේතුවෙන් මේ රටේ අවනීතිය නැවත හිස ඔස වන තත්ත්වයක් මතුව ඇද්ද යන සැකය බරපතළ ලෙස ඉස්මතු වෙමින් පවතී. එම වාතාවරණය අතිශයින්ම බියකරු සේම ඛේදනීය තත්ත්වයකි. 

එබැවින් වගකීමකින් යුතුව කටයුතු කරන සිවිල් සමාජ සංවිධානයක් ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය රජයෙන් උදක්ම ඉල්ලා සිටින්නේ ජනතාව බිය ගැන්වෙන සහ ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් මර්දනය කෙරෙන එවැනි දුර්දාන්ත සිදු වීම් තවදුරටත් නොවන ආකාරයට වගකීමකින් යුතුව ක්‍රියාකරන ලෙසටය. 

එවැනි දුර්දාන්ත සහ අනීතික ක්‍රියාවන් තවදුරටත් සිදු නොවීම සහතික කිරීමට නම් එවැනි ක්‍රියාවන්ට සම්බන්ධ වූ පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා ක්‍රියා කරමින් නීතිය ක්‍රියාත්මක කළ යුතුව තිබේ. එහෙත් අවාසනාවකට එවැන්නක් සිදු වන බවක් මේ දක්වාම පෙනෙන්නට නැත. 

මේ රටේ ඉතිහාසයේ අන්කිසිදු පාලකයෙකුට නොතිබූ ආකාරයේ අසීමිත බලයක් සහිත රාජ්‍ය නායකත්වයක් යටතේ සුවිශේෂ බලයක් හිමි කර ගෙන සිටින වර්තමාන ආණ්ඩුවට මෙවැනි සිදු වීම් හමුවේ නිදහසට කරුණු කිසිවක් හෝ තිබිය නොහැක. 

රාජ්‍ය නායකයෙකුට හෝ ආණ්ඩුවකට කෙතරම් තරම් බලයක් ආරෝපණය කර ගෙන පැවතියද රටක යහපැවැත්ම පවතිනු ඇත්තේ ජනතාව සිය රටේ පාලනය කෙරෙහි දක්වන ගෞරවය සහ පිළි ගැනීම තහවුරු වන තරමටය. මෙවැනි සිදු වීම් හමුවේ නිසි ක්‍රියා මාර්ග ගැනීමට අපොහොසත් වන පාලන ව්‍යුහයකට ජනතාවගේ ගෞරවය හෝ පිළි ගැනීම අපේක්ෂා කළ නොහැකිය. එවැනි තත්ත්වයක් අප රට මුහුණ දෙමින් සිටින ආර්ථික සහ සමාජ අර්බුදය තව දුරටත් තීව්‍ර කිරීමට හේතු විය හැකිය. 

එබැවින් අප මේ මොහොතේ රජයේ සියලු පාර්ශ්වයන් වෙතින් ඉතාමත්ම ඕනෑ කමකින් යුතුව ඉල්ලා සිටින්නේ, රටේ සිදු වන අනීතික සහ අත්තනෝමතික ක්‍රියා මාර්ගයන්ට එරෙහිව නොපමාවම පියවර ගන්නා ලෙසටය. 
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න