අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

අනාගත පරපුර වෙනුවෙන් මිත්‍රත්වයේ දෑත දිගු කරනු

අනාගත පරපුර වෙනුවෙන් මිත්‍රත්වයේ දෑත දිගු කරනු

රජය විද්වත් මතයට ගරු කළා නම් රටට මේ ඉරණම අත් වන්නේ නැහැ කුස ගින්නෙන් බැට කන ජනතාවගේ අඳෝනාව සුළුපටු නැහැ ජන ජීවිතය කඩා වැටිලා ජපානය-ජර්මනිය-චීනය-ඉන්දියාව ආදර්ශයට ගමු..! සියලු භේද පසෙකලා මේ මොහොතේ දී…

රජය විද්වත් මතයට ගරු කළා නම් රටට මේ ඉරණම අත් වන්නේ නැහැ 

කුස ගින්නෙන් බැට කන ජනතාවගේ අඳෝනාව සුළුපටු නැහැ 

ජන ජීවිතය කඩා වැටිලා  

ජපානය-ජර්මනිය-චීනය-ඉන්දියාව ආදර්ශයට ගමු..!

සියලු භේද පසෙකලා මේ මොහොතේ දී වත් අනාගත පරපුර වෙනුවෙන් සියලු පාර්ශවයන් වෙත මිත්‍රත්වයේ දෑත දිගු කර රට බේරා ගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධාන රජයෙන් ඉල්ලා සිටින්නේ යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාති දේශබන්දු කරු ජයසූරිය මහතා පවසයි.

දේශබන්දු කරු ජයසූරිය මහතා මේ බව කියා සිටියේ, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් කොළඹ දී බ්‍රහපතින්ද (10) සංවිධානය කෙරුණු ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය. 

ලෝකයම අවුල් වී ඇති අවදියක  අද පුවත්පත් සාකච්ඡාව පවත්වන මේ අවස්ථාවේදී Covid වසංගතය පැතිරීමේ අඩුවක් දැකීම එක් අතකින් සැනසීමට කරුණක් වනවා. ඒ ගෞරවය රජයටත්, සෞඛ්‍යය දෙපාර්තමේන්තුවේ සෑම තරාතිරමකම නිලධාරින්ටත්, යුධ හමුදාව සහ පොලීසිය ඇතුළු සියලුම සේවාවලටත් අප පුද කරනවා.

දැන්වීම

එසේ වුවද එදිනෙදා ජීවිතයේ සෑම අංගයක්ම විකෘති වී රටත්, ජනතාවත් අති මහත් දුෂ්කරතාවයන්ට මුහුණ දෙන ආකාරය දකින විට අපට විශාල කණගාටුවක් සහ වේදනාවක් දැනෙනවා. ඉන්ධන, විදුලිය, සිමෙන්ති, ගෑස් සහ කිරිපිටි ඇතුළු අත්‍යවශය භාණ්ඩ සහ සේවා නොමැති වීම හේතුවෙන් ජන ජීවිතය අඩාල වෙලා. අත්‍යවශ්‍ය ආහාර හිඟයෙන් බැට කන ජනතාවගේ අඳෝනාව අපට ඇහෙනවා. දැනෙනවා. පෝලිම්වල සිටීමට මිනිස්සුන්ට සිදුව තිබෙන නිසා පවුල් සංයුතිය බිඳ වැටී තියෙනවා. මේ තත්ත්වය විශාල ඛේදවාචකයක් බව කිව යුතුයි.

රජය විද්වත් උපදෙස් පිළි ගෙන ඥානාන්විතව නිසි වේලාවට නිසි පියවර ගත්තේ නම් මේ අවාසනාවන්ත තත්ත්වය ඇති වන්නේ නැහැ. දැඩි විදේශ සම්පත් හිඟයක් රටේ ඇති වූ අවස්ථාවේ දී බහුතර මතය වූයේ ඩොලර් මිලියන පන්සීයක ණය මුදල එකවර නොගෙවා පොලිය පමණක් ලබාදී ණය මුදල ගෙවීම සඳහා අන්තර්ජාතික අරමුදල හෝ වෙනත් ආයතනයකින් උපදෙස්  ලබා ගත යුතු බවයි. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින්ද මේ මතය දන්වා සිටියා. 

සත්භාවයෙන් ඉදිරිපත් වුණු මේ යෝජනාවලට රජයෙන් පිළි ගැනීමක් ලැබුණේ නැහැ. රුපියල පාවීමට ඉඩ දීම හේතුවෙන් විදේශ රැකියාවල නියුතු අයට සාධාරණයක් වන බවත්, අපනයනයට දිරි ගැන්වීමක් වන බවත්, ආනයන ක්‍රියාදාමයේ දී "මුන්ඩේල්" ක්‍රමය වෙනුවට යථාර්ථවාදී මිල පිළිබිඹු වනු ඇති බවත්  අප සඳහන් කළා. එවිට අනවශ්‍ය ආනයනය නිතැතින්ම අඩු වෙනවා. ප්‍රමාද වී හෝ රජයට මේ කරුණ වැටහීම වැදගත් වනවා.

ආර්ථිකයේ බිඳ වැටීමට ප්‍රධාන හේතුවක් වශයෙන් අප දකින්නේ රජය එක් මතයක සිට ක්‍රියා නොකිරීමයි. එම තත්ත්වය පාලනයේ විශාල දුර්වලතාවයක් වනවා. 20 වැනි සංශෝධනයෙන් රාජ්‍ය කරණයේ පූර්ණ බලතල පැවරුණේ එක් පුද්ගලයකුටයි. පාර්ලිමේන්තුවට නොවෙයි. එහෙයින් ජනතාවට වග කිව යුත්තේ 3/2 විධායක බලයක් ඇති ජනාධිපතිවරයායි.
එමෙන්ම නව රජය බලයට පත්වූ පසු දුන් බොහෝ පොරොන්දු ඉටු වී නැහැ. ඉන් සමහරක් නම්,

(01) අවුරුද්දක් ඇතුළත නව ව්‍යවස්ථා යෝජනාවලියක් ගෙන ඒම සහ රාජ්‍ය කරණයේදී ද්විත්ව පුරවැසිභාවය ඉවත් කිරීම. 

(02) ජාතික ආගමික සංහිඳියාව ශක්තිමත් කිරීම සහ සිවිල් සමාජය සමග සහයෝගයෙන් කටයුතු කිරීම.

(03) ප්‍රජාතන්ත්‍රවාදය සහ භාෂණයේ නිදහස රැකදීම.

(04) දේශපාලන පළි ගැනීම් නැවැත්වීම සහ පූර්ණ නිදහස. 

(05) ජීවන වියදම අඩුකිරීම.

ඉහත සඳහන් කරුණු කිසිවක් ඉටු වී නැහැ. ව්‍යවස්ථා යෝජනා සූදානම් කළ යුත්තේ රජයට හිතවත් නීතීඥ කණ්ඩායමකින් නොව පාර්ලිමේන්තුවෙන් සහ ජනතාවගෙනුයි. රජයේ මේ ක්‍රියාකලාපය විශාල අඩුපාඩුවක් සේම වරදක් වනවා.

විරුද්ධ දේශපාලන මතධාරීන්ගෙන් උපාලි අබේරත්න කොමිසම හරහා තවමත් පළි ගනිමින් සිටිනවා. චූදිතයින් නිදහස් වෙනවා. විපක්ෂයේ ප්‍රධාන දේශපාලන චරිත BMICH සම්මන්ත්‍රණ ශාලාවට කැඳවා පරීක්ෂණවලට යොමු කරනවා. ඒ ඔවුන්ගේ දේශපාලන දිවිය විනාශ කිරීමටයි. 

විපක්ෂනායකවරයාගේ සහ ජාතික ජන බලවේගයේ නායකවරයාගේ රැස්වීම් කඩා කප්පල් කිරීමට කටයුතු සිදු කරමින් සිටිනවා. එක් රටක් එක් නීතියක් සංකල්පය විහිළුවක් වෙලා. ඒ ගැන කතා කිරීමත් ඵල රහිතයි. බුවනෙක බාහු රජතුමාගේ මාලිගය කඩා දැමූ අයත්, හිර ගෙදරට ගොස් සිරකරුවන්ට මරණ තර්ජන කළ ඇමතිවරයාත් කිසිම පරීක්ෂණයකට භාජනය නොවී සතුටින් කල් ගෙවනවා. රටේ ජනතාව මේ ගැන විවේචනාත්මකව කතා කරනවා. 

සීනි වංචාව ගැන විගණකාධිපතිවරයා පරීක්ෂණයක් කළ අතර පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ ද වංචාවක් ඇති බවට සඳහන් වුණා. මේ වාර්තා හමස් පෙට්ටියේ. සීනි වංචාව මහ බැංකු වංචාවට ද වඩා විශාලයි. මහ බැංකු මුදල නම් රජය සතු කර ගෙන තිබෙනවා. සීනි අපයෝජනයේ මුදල් ජාවාරම්කරුවන් අතේ.

පසුගිය දා ගරු ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා ඇතුළු මැති ඇමතිවරුන් 2022.03.05 වනිදාගෙන් පසුව විදුලි කප්පාදුවක් නොවන බවට ජනතාව හමුවේ ප්‍රසිද්ධියේ ප්‍රතිඥාවක් ලබා දුන්නා. එම පොරොන්දුව බලපෑවේ පැය කිහිපයකට විතරයි. මේ වන විට පැය 7 ක විදුලි කප්පාදුවක් බල පැවැත් වෙනවා. 

යහපත් චේතනාවෙන් මෙම කරුණු අප සඳහන් කළේ 20 වැනි සංශෝධනය ප්‍රකාරව ජනතාව පිළිබඳ ජාතික වගකීම ඇත්තේ ජනාධිපතිතුමාට නිසයි. රාජ්‍ය නායකයා පොරොන්දු කඩ කළ විට ජනතා විශ්වාසය පිරිහී නායකවරයාගේ කීර්තිනාමයට හානි වෙනවා. එමෙන්ම ඉදිරි පොරොන්දු කෙරෙහි විශ්වාසය ද නැති වීම වැළැක්විය නොහැකියි. ඉදිරියේදීවත්, පොරොන්දු දෙන විට ස්ථිරව ඉටු කළ හැකි කරුණු ගැන කතා කිරීම යෝග්‍ය බව අපගේ විශ්වාසයයි.

අපට මේ ව්‍යසනයෙන් ගොඩ ඒමට පුළුවන්. ලෝක යුද්ධයෙන් අළු බවට පත් වූ රටවල් බලවත් රාජ්‍යයන් බවට පත් වූයේ ජාතික එකඟත්වයකින් කටයුතු කළ නිසයි. ජර්මනිය සහ ජපානය ඊට හොඳම ආදර්ශයයි. 1991 දී ඉන්දියාවද විශාල ආර්ථික අහේනියකට මුහුණ දුන්නා. දැඩි ආනයන සීමාවක් ඇති වුණා. ආනයන කටයුතු සඳහා විදේශ මුදල් තිබුණේ දින පහළොවකට පමණයි. අග්‍රාමාත්‍ය නරසිංහ රාඕ ලෝක බැංකුවේ අත්දැකීම් සහිත ආචාර්ය මන්මෝහන් සිං පූර්ණ බලතල ඇති මුදල් අමාත්‍යවරයා ලෙස පත් කළා. මහ බැංකුවට බුද්ධිමත් ස්වාධීන ආර්ථික විද්වතුන් පත් කළා. දේශපාලකයින්ට එම වැඩ පිළිවෙළ අවුල් කරන්න ඉඩ දුන්නේ නැහැ  නරසිංහ රාඕ අගමැතිතුමා දේශපාලන පක්ෂ පහළොවක් සමඟ "අර්බුදයට මුහුණ දීමට පොදු වැඩ පිළිවෙළක්" නමින් සම්මුතියකට පැමිණියා. 

මේ හේතුවෙන් ඉන්දියාවේ ක්ෂණික ආර්ථික පිබිදීමක් ඇති වුණා. දින 15 කට සීමා වූ විදේශ විනිමය සංචිතය වෙනුවට 2004 දී එම විදේශ සංචිතය ඩොලර් බිලියන 100 දක්වා ඉහළ ගියා. වර්තමානයේ එම සංචිතය ඩොලර් බිලියන 650 ආසන්නයට පැමිණ තිබෙනවා. කෝවිඩ් වසංගතය පැමිණියද ඉන්දියානු ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙනවා. මේ වන විට ඉන්දියාව ලෝකයේ ආර්ථික බලවතෙක්. 

චීනයේ ද ආර්ථිකය මෙහෙය වන්නේ ලෝක පූජිත ආර්ථික විද්වතුන් විසිනුයි. 80 දශකයේ දී මෙන්ග් සියෝ පින්ග් නායකවරයා පසුව ජනාධිපති පදවියට පත් ජියන් සමන්ග් මහතා ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමා ඇතිකළ Public Private Partnership (රාජ්‍ය පෞද්ගලික සහයෝගීතාවය) ගැන හැදෑරීමට ශ්‍රී ලංකාවට එවුවා. එතුමා පැමිණියේ ශ්‍රී ලංකාවට සහ සිංගප්පූරුවට පමණයි. එම හවුල් ව්‍යාපාරයේ එකල සභාපතිවරයා වශයෙන් විශේෂ නියෝජිතවරයා හමුවීමට අපටත් අවස්ථාවක් ලැබුණා. අපේ බොහෝ අය මේ කරුණ ගැන නොදැන සිටියත් චීනයේ මේ වාර්තා සනිටුහන් වී තිබෙනවා.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය මඟින් ද "රට ගොඩ නැගීමට අවම පොදු වැඩපිළිවෙළක්" නමින් යෝජනාවලියක් රජයටත්, ජනතාවටත් ඉදිරිපත් කර තිබෙනවා. මේ කරුණු බලවතුන්ගේත්, ජනතාවගේත්, අවධානයට යොමු වේවායි අප ජාත්‍යාලයෙන් යුතුව පතනවා.

පටු චේතනාවෙන් කටයුතු නොකර දැන්වත් මිත්‍රත්වයේ හස්තය ජනතාවට දිගු කරන ලෙස රජයට කියා සිටිනවා. ජනාධිපතිතුමාට 69 ලක්ෂයක් ඡන්දය දෙන විට 62 ලක්ෂයක් පුරවැසියන් එතුමාව අනුමත කළේ නැහැ. එහෙත් එතුමා දැන් සෑම දෙනාගේම රාජ්‍ය නායකයායි. එම කරුණ සිත්හි තබා ගෙන කටයුතු කළ හොත් රටේ සංහිඳියාව ඇති කළ හැකියි. රටේ ජාතික නායකයන්ට සහ සියලුම පුරවැසියන්ට අපගේ ආයාචනය වනුයේ පටු වාද බේද අත හැර රට වෙනුවෙන් සහ නූපන් පරපුර වෙනුවෙන් දැන්වත් එක් වන ලෙසයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 5
බෙදාගන්න