අන්තිමට මිනිස්සුන්ට රටයි බඩයි දෙකම නැති වුණා -රවී-

රට ගොඩ ගන්න රනිල්ට පුළුවන් පරක්කු වෙලා හරි මිනිස්සු ඇත්ත තේරුම් ගැනීම වටිනවා රට වැටී තිබෙන මේ ප්‍රපාතයෙන් ගොඩ ගෙන ජනතා පීඩනය අවසන් කර ඔවුන්ට සහන සලසා රට නිවැරදි මාර්ගයට ගැනීමේ හැකියාව සහ ශක්තිය…
රට ගොඩ ගන්න රනිල්ට පුළුවන්
පරක්කු වෙලා හරි මිනිස්සු ඇත්ත තේරුම් ගැනීම වටිනවා
රට වැටී තිබෙන මේ ප්‍රපාතයෙන් ගොඩ ගෙන ජනතා පීඩනය අවසන් කර ඔවුන්ට සහන සලසා රට නිවැරදි මාර්ගයට ගැනීමේ හැකියාව සහ ශක්තිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තිබෙන්නේ යැයි එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි.
කලක් නිහඬව සිටී එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතා යළි සක්‍රීය දේශපාලන කරළියට පැමිණෙමින් ජනමාධ්‍ය හමුවේ මේ බව කියා සිටී අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.
2015 දී අප මේ රට භාර ගන්නා අවස්ථාවේදීත් අද වගේම රට ආර්ථික වශයෙන් කඩා වැටී බඩු මිල අහස උසට වැඩි වී ජනතාව අන්ත අසරණ වී සිටියා. නමුත් අප සියලු දෙනා එකට එක්ව යහ පාලන රජය යටතේ නිවැරදි තීන්දු තීරණ ගෙන රට යළි ගොඩනගා ජනතාවට විශාල වශයෙන් සහන ලබා දුන්නා.
දැන්වීම
නමුත් ජනතාව ඒ සියල්ල සැහැල්ලුවට ගත්තා. බඩට උඩින් රට තැබිය යුතු යැයි ද, සිය දූ දරුවන්ට ජීවත් වීමට රටක් තිබිය යුතු යැයි ද කියා ජනාධිපතිවරණයේ දී සහ මහා මැතිවරණයේ දී අපව පළවා හැරියා. අන්තිමට ජනතාවට රටයි බඩයි දෙකම නැති වුණා.
ආවේගශීලීව ජනතාව එදා ගත් එම තීරණය නිසා වලපල්ලට ගිය රට යළි ගොඩනැගීමට එක්සත් ජාතික පක්ෂය ලෙස අප කටයුතු කරනවා. රට-ජනතාව වෙනුවෙන් මට කළ හැකි සියල්ල මම කරනවා. අප වැඩ කරන්නේ තනි පුද්ගලයින් ලෙස නොව කණ්ඩායමක් ලෙසයි.
රට වැටී තිබෙන මේ ප්‍රපාතයෙන් ගොඩ ගෙන ජනතා පීඩනය අවසන් කර ඔවුන්ට සහන සලසා රට නිවැරදි මාර්ගයට ගැනීමේ හැකියාව සහ ශක්තිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තිබෙන අතර අප සියලු දෙනා එතුමාට උපරිම සහය ලබා දෙනවා. වෛරී දේශපාලනයට තිත තැබිය යුතු කාලය එළැඹ තිබෙනවා. ඒ නිසා රට ජනතාව-වෙනුවෙන් දේශපාලන පක්ෂ, පාට සහ පෞද්ගලික න්‍යාය පත්‍ර පසෙක තබා සියලු දෙනා එකට එකතු විය යුතුයි.
එදා අප රාජ්‍ය සේවක සේවිකාවන්ගේ වැටුප රුපියල් දස දහසකින් වැඩි කළා. එවිට මේ අය අපට උසුළු විසුළු කළා. නමුත් අද එම ජනතාව ජීවත් වන්නේ ඒ වැඩි කළ වැටුපෙන් නොවේද..? රුපියල් 155 ට එදා තිබුණු පෙට්‍රල් ලීටරය අප රුපියල් 122 ට අඩු කළා. අද පෙට්‍රල් ලීටරය රුපියල් 500 ට ගන්න ජනතාවට සිදු වෙලා. ඒ මිලටත් පෙට්‍රල් නැහැ. අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ දහයක මිල අප එදා විශාල වශයෙන් අඩු කරද්දී කට්ටිය අපට හිනා වුණා. ඒ සෑම භාණ්ඩයකම මිල මේ වන විට 500%කින් වැඩි වෙලා. රටක ආර්ථිකයක් ගොඩ දැමීමට අවුරුදු පහක් යනවා. නමුත් ඒ ආර්ථිකය විනාශ කිරීමට යන්නේ තත්පර පහක් වැනි සුළු කාලයයි.
තරුණ තරුණියන් ඇතුළු රටේ ජනතාව අද සියල්ල තේරුම් ගෙන වෙනස්ම ආකාරයකට සිතමින් සහ ක්‍රියා කරමින් සිටිනවා. ජනතාවගෙන් ඒ හඬට අප ඇහුම්කන් දිය යුතුයි. බහුතර ජනතාව සියල්ල තේරුම් ගනිමින් සිටීම අගය කළ යුතුයි. එසේ නොවුණා නම් දේශපාලනය කිරීමට තබා අපට ජීවත් වීමටවත් රටක් ඉතිරි වන්නේ නැහැ. අඳුරට හෙන ගහන තුරු බලා නොසිට එක පහනක් හෝ දැල්වීම වටිනවා. බිල්ලෝ මවලා රටක් සංවර්ධනය කරන්න බැහැ.