අධිකරණ නියෝගයෙන් තිදරු මවක් අනාථයි

(ජයකාන්ත ලියනගේ) අවුරුදු 15ක කාලයක් තිස්සේ පදිංචිව සිටි සිය නිවසින් අධිකරණ නියෝගයක් මත ඉවත්ව යෑමට සිදුවීමෙන් තිදරු මවක් ඇතුළු ඇයගේ මුළු පවුලම අනාථ වී සිටි. අම්බලන්ගොඩ හෙප්පුමුල්ල කැපූ ඇළ පාරේ අංක…
(ජයකාන්ත ලියනගේ)
අවුරුදු 15ක කාලයක් තිස්සේ පදිංචිව සිටි සිය නිවසින් අධිකරණ නියෝගයක් මත ඉවත්ව යෑමට සිදුවීමෙන් තිදරු මවක් ඇතුළු ඇයගේ මුළු පවුලම අනාථ වී සිටි.අම්බලන්ගොඩ හෙප්පුමුල්ල කැපූ ඇළ පාරේ අංක 77/8 දරණ නිවෙසේ පදිංචිව සිටින ඊෂ්ටාචාරිගේ නිෂාණි (39) නැමැති තිදරු මව ඇතුළු පවුලකට මෙසේ පදිංචිව සිටින නිවසින් ඉවත්ව යෑමට සිදුවී තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඊෂ්ටාචාරිගේ නිෂාණි (39) මහත්මිය මෙසේ කීවාය.
දැන්වීම
මගේ දරු තුන් දෙනාම නිවුන්නුග දරුවන් තුන් දෙනාම ගා/කන්දෙගොඩ මහා විද්‍යාලයේ ඉගෙන ගන්නවා. මගේ මහත්තය දරුවන් කුඩා කාලයේදිම නැති වුණා. දැන් මම අම්මයි දරු තුන්දෙනයි සමග ජීවත් වෙනවා. අපි නෙළුව බටහිර බටුවන්ගල ප්‍රදේශයේ පදිංචි සිටියේ. එහිදීත් තමන්ටම කියල තැනක් තිබුණේ නැහැ. දරු තුන් දෙනා හදාගන්න පිහිට වෙන්න කියල අපි ඒ කාලයේ පත්තරයකට අපේ දුක කිව්වා. පත්තරයේ ඒ ප්‍රවෘත්තිය පිංතූරත් එක්ක පල වුණා.
ඒක දැකපු අම්බලන්ගොඩ රන්දොඹේ පදිංචි මහත්තයෙකුත් ඔහු විවාහ වී ඉන්න සුදුනෝනා කෙනෙකුත් ඇවිල්ලා අම්බලන්ගොඩ හෙප්පුමුල්ලේ දැන් පදිංචි නිවස හදල දුන්නා. පසුගිය කාලයේ අපි එළවා දමන්න ඒ අයම කටයුතු කළා. පස්සේ අධිකරණයට ගියා. රුපියල් ලක්ෂ තුනක් (3,00000/-) අරගෙන ඉවත් වෙන්න කියල අධිකරණයෙන් නියෝග කළා. තව මාසයක් වැනි කෙටි කාලයක් තුළදී අපට පදිංචි නිවසින් යන්න වෙනවා. අධිකරණ තීන්දුවක් නිසා මොකුත් කරන්නත් බැහැ.
දැන් යන්නේ කොහාටද කියල කල්පනා කරමින් ඉන්නේ. යන්න කියල තැනක් නැහැ. දරුවන් ගැන හිතන විට ජීවත් වෙන්නේ ඇයි කියලත් හිතෙනවා. ඉන්න හිටින්න තැනක් නැති වුණොත් දරුවන්ගේ අධ්‍යාපනයද කඩාකප්පල් වෙනවා. අපට ඉන්න තැනක් සොයාදෙන ලෙස ඉල්ලා සිටිනවා. දැන් ඉන්න තැන ලැබුණෙත් පත්තරේකට දුක කියපු නිසයි. ඒ වගේ මේ පාරත් පොඩි තැනක් හෝ ලැබුණොත් එය දරුවන්ගේ වාසනාව යැයිද ඇය කීවාය.