“අධ්‍යාත්මික දියුණුව සලසන විහාරස්ථාන දිවි හිමියෙන් රකිනවා”
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2

මහ සංඝ රත්නය-විහාරස්ථාන රැකීම රජයේ මූලික වගකීමයි..! (සුජිත් මංගල ද සිල්වා) සිංහල, බෞද්ධ බහුතර ජනතාවක් සිටින ශ්‍රී ලංකාවේ අධ්‍යාත්මික දියුණුව ලබා දෙන විහාරස්ථාන දිවි හිමියෙන් රැක ගත යුතුව ඇතැයි…
මහ සංඝ රත්නය-විහාරස්ථාන රැකීම රජයේ මූලික වගකීමයි..!
(සුජිත් මංගල ද සිල්වා)
සිංහල, බෞද්ධ බහුතර ජනතාවක් සිටින ශ්‍රී ලංකාවේ අධ්‍යාත්මික දියුණුව ලබා දෙන විහාරස්ථාන දිවි හිමියෙන් රැක ගත යුතුව ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි.
ඔහු මේ බව පැවසුවේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ තිබෙන විහාරස්ථාන සඳහා මුදල් පරිත්‍යාග කිරීම නිමිත්තෙන් අරලිය ගහ මන්දිරයේ අද (21) පැවති උත්සවයේදීය.
කොළඹ මහ නගර සභාව විසින් මෙම වැඩ සටහන වාර්ෂිකව සංවිධානය කරන අතර එහිදී නගර සභා බල ප්‍රදේශයේ පිහිටි සියලූ ආගමික මධ්‍යස්ථාන වෙත රුපියල් 50,000 බැගින් මූල්‍ය පරිත්‍යාග සිදු කරනු ලබයි.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ විහාරස්ථාන සඳහා වෙසක්, පොසොන් උත්සව වෙනුවෙන් ද, එදිනෙදා නඩත්තු කටයුතු වෙනුවෙන් ද විශාල මුදලක් වැය වෙනවා. මේ කටයුතු සඳහා විහාරස්ථානවලට මුදල් සොයා ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. විහාරස්ථාන බොහොමයක් පිහිටා තිබෙන්නේ කොළඹනගරයේ දුප්පත් ජනතාව ජීවත් වන ප්‍රදේශ ආශ්‍රිතවයි.
දානපතියන් සිටින ප්‍රදේශවල පිහිටි විහාරස්ථාන සීමා සහිතයි. එම නිසා විහාරස්ථානවල කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා අතහිතදීමක් ලෙස වාර්ෂිකව මෙම මුදල් සම්මාදන් ලබාදෙනවා. නගරයේ විහාරස්ථාන මෙන්ම ගමේ විහාරස්ථානත් අප ආරක්‍ෂා කරගත යුතුයි. එම සියලූ විහාරස්ථාන දියුණු කර ඉදිරියට ගෙන යා යුතුයි. නගරයේ පන්සල් මෙන්ම ගමේ පන්සල් ද කිසි විටෙක පිරිහී යන්නට ඉඩ තැබිය යුතු නැහැ. අපගේ රජය කිසි විටෙක එවැනි කටයුත්තක් සඳහා ඉඩ තබන්නේ නැහැ.
සමාජය සංකීර්ණ තත්ත්වයට පත් වුවත් අධ්‍යාත්මික කටයුතු සඳහා ඇති ඉල්ලූම දිනෙන් දින වැඩි වෙනවා මිස අඩු වන්නේ නැහැ. එසේ නම් එම අධ්‍යාත්මික දියුණුව ලබාදෙන විහාරස්ථාන දියුණු කිරීම සඳහා කටයුතු කළ යුතුයි.
රටක් දියුණු වනවා නම් පන්සලේ දායකයන් ද දියුණුවට පත් වෙනවා. එම දායකයන්ගේ මුදල් යොදා ගෙන විහාරස්ථාන දියුණු කළ හැකියි. එමෙන්ම රජය මැදිහත් වන්නේ ද විහාරස්ථාන දියුණු කිරීමේ කාර්යය සඳහායි. සිංහල, බෞද්ධ බහුතර ජනතාවක් සිටින ශ්‍රී ලංකාවේ විහාරස්ථාන දිවි හිමියෙන් රැකගත යුතුව තිබෙනවා.
පෘතුග්‍රීසීන් මෙරටට පැමිණි යුගයේ දී අප රටේ විහාරස්ථාන විනාශයට පත් වුණා. එම විහාරස්ථාන නැවත ගොඩනැගීමට මෙන්ම උපසම්පදා පිංකම් පැවැත්වීමට ශත වර්ෂ තුන හතරක් ගත වුණා. එම නිසා වර්තමානයේ දී විහාරස්ථාන මෙන්ම මහා සංඝ රත්නය ආරක්‍ෂා කිරීම රජයේ මූලික කටයුත්තක් සේ සැලකිය යුතුයි.
වර්තමානයේ දී ගමේ ජනතාව නගරයට සංක්‍රමණය වෙමින් සිටිනවා. ගමේ ජනතාව අඩු වන විට පන්සලේ දායක පිරිස අඩු වෙනවා. ගමේ සිට නගරයට එන ජනතාවගෙන් එක් වරම නගරයේ පන්සල්වලට ආධාර උපකාර ලැබේ යැයි සිතන්නට හැකියාවක් නැහැ. මෙම තත්ත්වය නිසා ගමටත්, ගමේ පන්සලටත් ප්‍රශ්න තිබෙනවා. මේ තත්ත්වයන් මඟහරවා ගැනීම සඳහා රජයට හැකි අයුරින් ආධාර උපකාර කිරීම අපේ අරමුණයි. ජනාධිපති අරමුදලෙන් මෙන්ම අගමැති කාර්යාලයෙන් කරන උපකාරවල අරමුණ විහාරස්ථාන ගොඩනැගීමයි.
මෙම සත්කාරය සංවිධානය කළ කොළඹමහ නගර සභාවට මෙන්ම නගරාධිපතිතුමියටත් ස්තූතිවන්ත විය යුතුයි. මේ පුණ්‍ය ක්‍රියාව ඉදිරියටම ගෙන යන ලෙස මා දැනුම් දෙනවා.
මෙම අවස්ථාවට නුගේගොඩ නාලන්දාරාමාධිපති තිනියාවල පාලිත හිමි, හුණුපිටිය ගංගාරාමාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි, සේදවත්ත වෙහෙරගොඩ පුරාණ රජමහා විහාරාධිපති අඹන්වල ඥාණාලෝක හිමිවරු ඇතුලූ මහා සංඝ රත්නය ද, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ද, කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය ප්‍රමුඛ නාගරික මන්ත්‍රීවරු ද සහභාගි වූහ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2