අත්‍යවශ්‍ය භාණ්ඩ-සේවා මිල වහාම නියාමනය කළ යුතුයි

අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා මිල ගණන් නියාමනය කරමින් ජනතාවට සහන සැලසීමට සහ සාධාරණය ඉටු කිරීමට රජය වහාම පියවර ගත යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ…
අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා මිල ගණන් නියාමනය කරමින් ජනතාවට සහන සැලසීමට සහ සාධාරණය ඉටු කිරීමට රජය වහාම පියවර ගත යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින අතර එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
රටේ අද පවත්නා අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිළ ගණන් සැලකිල්ලට ගැනීමේදී ජනතාව බලවත් අපහසුතාවයට පත් කරමින් අසාධාරණ වෙළෙද පොළක් නිර්මාණය වී ඇති බව පෙනෙන්නට තිබේ. විශේෂයෙන්ම මෑත කාලයේ තොග මිළ පහළ බැස ඇති සීනි, තිරිඟු පිටි සහ පරිප්පු වැනි ආහාර ද්‍රව්‍යයන්හි සාමාන්‍ය වෙළෙද පොළ මිළ ගණන් ඊට සාපේක්ෂ ලෙස අඩු නොවීම හේතුවෙන් සාමාන්‍ය පාරිභෝගිකයාට බලවත් අසාධාරණයක් සහ පීඩනයක් ඇති කර තිබේ. මෙම තත්ත්වය පාලනය කිරීම රජයේ වගකීමක් ලෙස සලකන අප ඒ සදහා නිසි, සුදුසු ක්‍රමවේදයකට යොමු වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නෙමු.
විවෘත වෙළෙද පොළ ක්‍රමය තුළ මිළ පාලනය වැනි ප්‍රායෝගික නොවන ක්‍රමවේදයන් මගින් නොව අත්‍යවශ්‍ය භාණ්ඩවල මිළ නියාමනය කෙරෙන යාන්ත්‍රණයක් රටට හදුන්වාදීම එහිදී රජයේ වගකීම වී තිබේ. විවෘත වෙළෙද පොළ ක්‍රමයක් ක්‍රියාත්මක කරන අතරතුර ශ්‍රී ලංකාවේ දේශීය සීනි නිශ්පාදකයන් ද ආරක්ෂා කර ගනිමින් වෙළෙද පොලෙහි සීනි මිළ සාධාරණ මට්ටමකින් පවත්වා ගෙන යාම සදහා සීනි නිශ්පාදකයන්, ආනයනයකරුවන් සහ මහා භාණ්ඩාගාරය එකාබද්ධව 1980 දශකයේ අප රට තුළ ක්‍රියාත්මක කරන ලද ආකාරයේ ක්‍රමවේදයක් ඒ සදහා යොදා ගත හැකිය යන්න අපගේ විශ්වාසයි.
මෙහිදී පාරිභෝගික සේවා අධිකාරියට ද එදිනෙදා ජන ජීවිතයට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ සිමෙන්ති ආදී භාණ්ඩ සඳහා බල පැවැත්විය යුතු සාධාරණ සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කළ හැක. (Indicative price) මෙවැනි ක්‍රමවේදයක් 2000 දශකයේ මුල් භාගයේදී සාර්ථකව ක්‍රියාත්මක වූ බව සඳහන් කළ යුතුයි.
දැන්වීම
අද වන විට අප රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ වාණිජ සහ මූල්‍ය ක්‍ෂ්ත්‍රය බලවත් අපහසුතාවයකට ගොදුරු වී ඇතත් බොහෝ භාණ්ඩ සහ සේවාවන්ට අදාළව ඉහළ ගොස් ඇති මිළ තර්කානුකූලව පිළිගැනීමට අපහසු වී තිබේ. එය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවලට පමණක් නොව ප්‍රවාහන සහ අනෙකුත් බොහෝ සේවාවනට අදාළව ගාස්තු වැඩිවී ඇති ආකාරයෙන් පැහැදිළිවම පෙනෙන්නට තිබේ. පටු අරමුණු සහ අනිසි ප්‍රතිලාභ අපේක්ෂාවෙන් කටයුතු කරන ඇතැම් බලධාරීන්ගේ සහ රාජ්‍ය නිළධාරීන්ගේ අනුග්‍රහය ලබන ගජමිතුරු ව්‍යාපාරික ජාලයක ක්‍රියාකාරිත්වයන් එයට හේතු වී ඇති බව පෙනෙන්නට තිබේ.
මෑත යුගයේ ශ්‍රී ලංකාව තුළ සිදු වූ දැවැන්තම වංචාව ලෙස සැලකෙන සීනි බදු අඩු කිරීම මගින් අයථා ලෙස උපයා ගෙන ඇති දැවැන්ත මුදල් කන්දරාවම ඊට උදාහරණයකි. මෙවැනි පරිසරයක් ඇති නොවීම සදහා ක්‍රියා කිරීම රජයේ මූලික වගකීමකි.
ඒ අනුව සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය ලෙස අප රජයෙන් ඉල්ලා සිටින්නේ රටේ සාමාන්‍ය ජනතාවට බරපතල අසාධාරණයක් සිදු කරමින් යුක්තිසහගත නොවන ආකාරයට ඉහළ දමා ඇති භාන්ඩ සහ සේවාවන්හි මිළ නියාමනය සදහා සුදුසු ,ඉක්මන් ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් වෙත යොමු වන ලෙසටය.