අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

“අතයි-පොහොට්ටුවයි” TNA වෙත දුන් පොරොන්දු ගැන එජාපෙන් හෙළිදරව්වක්..!

“අතයි-පොහොට්ටුවයි” TNA වෙත දුන් පොරොන්දු ගැන එජාපෙන් හෙළිදරව්වක්..!

“උතුරු-නැගෙනහිර ද්‍රවිඩ ජනයා වෙනුවෙන් ඉටු කරන්නේ ජනපතිත් තමාත් දුන් පොරොන්දුයි” තිරය පිටු පස කතාව රනිල් වික්‍රමසිංහ හෙළි කරයි..! (සුජිත් මංගල ද සිල්වා) සිය පක්ෂයේ සහය ලබා ගැනීම සඳහා “මෛත්‍රී-මහින්ද”…

“උතුරු-නැගෙනහිර ද්‍රවිඩ ජනයා වෙනුවෙන් ඉටු කරන්නේ ජනපතිත් තමාත් දුන් පොරොන්දුයි”

තිරය පිටු පස කතාව රනිල් වික්‍රමසිංහ හෙළි කරයි..!

“අතයි-පොහොට්ටුවයි” TNA වෙත දුන් පොරොන්දු ගැන එජාපෙන් හෙළිදරව්වක්..!

(සුජිත් මංගල ද සිල්වා)

සිය පක්ෂයේ සහය ලබා ගැනීම සඳහා “මෛත්‍රී-මහින්ද” හවුලේ නාමල් රාජපක්ෂලා ඇතුළු අය ලබා දුන් පොරොන්දු ද්‍රවිඩ ජාතික සන්ධානය හෙළි කළොත් ඒ අයට දුවන්න පාරවල් නැති වී දේශපාලන වශයෙන් සදා අනාථ වනු ඇතැයි එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි.

ඔහු මේ බව පැවසුවේ අග්‍රාමාත්‍ය ධූරයට තමා පත් කළ යුතු බවට විශ්වාසය පළ කරමින්  ද්‍රවිඩ ජාතික සන්ධානය පාර්ලිමේන්තුවේදී සිය ඡන්දය පාවිච්චි කළේ රට පවා දෙන කොන්දේසි හයකට යටත්ව යැයි කියමින් ගෙන යන ප්‍රචාරය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් සමග අරලිය ගහ මන්දිරයේදී අද (13) අදහස් දක්වමිනි.

මේ අසත්‍ය,අභූත,නීති විරෝධී,සදාචාර විරෝධී සහ පදනමක් නොමැති චෝදනාව සම්බන්ධයෙන් ඍජු පිළිතුරක් ලබා දිය යුතු බවට එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් පෙන්වා දුන් අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියේ ද්‍රවිඩ ජනතාවත්,උතුරු සහ නැගෙනහිර පළාත් වෙනුවෙනුත් ඉටු කරන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් තමාත් මුල සිට සැලසුම් කර තිබූ කටයුතු පමණක් බවය.

2015 ජනවාරි 8 වැනිදා පැවති ජනාධිපතිවරණයේදී සහ එම වර්ෂයේම අගෝස්තු මාසයේ පැවති මහා මැතිවරණයේදී ඒ සැලසුම්,කටයුතු සහ කාර්යභාරයන් සඳහා ජන වරමක් ලැබී තිබෙන බව ද ඔහු එහිදී සිහිපත් කළේය.

එහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

“මේ කොන්දේසි හයක කතාව අලි බොරුවක්...මේ අය ඉතිහාසයේ සිටම කළේ “අලි-කොටි” ගිවිසුම් ගැන කියමින් එක්සත් ජාතික පක්ෂය රට පාවා දෙනවා කියා දේශපාලන  මඩ ගැසීමයි.

එහෙත් මේ රට වැඩිම කාලයක්  පාලනය කර තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයයි.එදා මෙදා තුර අප මේ රටේ බිම් අගලක්වත් හොල්ලලා නැහැ.එක්සත් ජාතික පක්ෂය එසේ කළා නම් මේ වන විට රටක් පවතින්නේ නැහැ.ඒක නිසා මේ යල් පැන ගිය අභූත,අසත්‍ය සහ පදනම් විරහිත චෝදනාවලින් ජතාවගේ ඇස්වලට වැලි ගසා මුලා කිරීමට කිසිවෙකුට හැකියාවක් ඇත්තේ නැහැ.

එම නිසා මේ අය මේ මොහොතේ සිටවත් කළ යුත්තේ මේ යල් පැන ගිය,අභූත සහ අසත්‍ය චෝදනා එල්ල නොකර එක්සත් ජාතික පක්ෂයට දේශපාලන වශයෙන් මඩ ගැසීමට අවශ්‍ය නම් කාලයට සහ තාලයට ගැලපෙන අලුත් මාදිලියේ වගේම අවම වශයෙන් ජනතාගෙන් සුළුතරයකට හෝ පිළි ගත හැකි තාර්කික චෝදනා නිර්මාණය කර ගැනීමයි.එසේ බොරුවක් වුණත් ඇත්තක් ලෙස පෙනී යන අයුරින් තාර්කික චෝදනා නිර්මාණය කර ගැනීමට නොහැකි වීමෙන් පැහැදිළි වන්නේ මේ අයගේ දේශපාලන බංකොලොත්භාවය සහ බොළඳකමයි.

ද්‍රවිඩ ජනතාවත්,උතුරු සහ නැගෙනහිර පළාත් වෙනුවෙනුත් ඉටු කරන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් තමාත් මුල සිට සැලුම් කර තිබූ කටයුතු පමණයි.

2015 ජනවාරි 8 වැනිදා පැවති ජනාධිපතිවරණයේදී සහ එම වර්ෂයේම අගෝස්තු මාසයේ පැවති මහා මැතිවරණයේදී ඒ සැලසුම්,කටයුතු සහ කාර්යභාරයන් සඳහා ජන වරමක් ලැබී තිබෙනවා.ඒ සියල්ල සිදු කරන්නේත් බුදුද හමට ප්‍රමුඛත්වය ලැබෙන ඒකීයභාවය සුරැකෙන නොබෙදුණු ශ්‍රී ලංකාවක් තුළයි.

මගේ සහ ආර් සම්බන්ධන්ගේ බොරු අත්සන් යොදා හොර ගිවිසුමක් සකස් කර  අන්තර් ජාලයට මුදා හැර ඇති බව මට ආරංචියි.මේ අය අද ඒ තරමටම දේශපාලන වශයෙන්  බංකොලොත් වෙලා.

සිය පක්ෂයේ සහය ලබා ගැනීම සඳහා “මෛත්‍රී-මහින්ද” හවුලේ නාමල් රාජපක්ෂලා ඇතුළු අය ඒ ඒ සාකච්ඡාවලදී ලබා දුන් පොරොන්දු ද්‍රවිඩ ජාතික සන්ධානය රටට හෙළි කළොත් ඒ අයට දුවන්න පාරවල් නැති වී දේශපාලන වශයෙන් සදා අනාථ වේවි.”

එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ශවය ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහයෝගය ලබා ගැනීම සඳහා එම පක්ෂයට ලබා දුන් පොරොන්දු ගැන රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ හෙළිදරව් කරමින් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මහතා මෙසේ කීය.

“මහින්ද රාජපක්ෂලා ද්‍රවිඩ ජාතික සන්ධානයට පුදුම සහගත පොරොන්දු රැසක් දී තිබෙනවා.ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අප සමග ඒ පොරොන්දුවලින් සමහරක් හෙළි කළා.   උතුරු සහ නැගෙනහිර පළාත් යළි එක් කිරීම ගැන සලකා බැලීමට මේ අය ද්‍රවිඩ ජාතික සන්ධානයට පොරොන්දු වෙලා.ඒ වගේම එල්ටිටිඊ හිරකරුවන් සම්පූර්ණයෙන්ම නිදහස් කිරීමටත් ඉඩම් සියල්ල පවරා දී යුද්ධයට පෙර තිබුණු හමුදා කදවුරු පමණක් ඉතිරි කරන්න පවා පොරොන්දු වුණාලු.

“ෆෙඩරල්” නාමයෙන් තොරව ඒ නම සඟවා ඒ ක්‍රමයේම බලය බෙදීමක් සිදු කෙරෙන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමට පොරොන්දු වූ  අතර මූල්‍යමය වශයෙන් උදව් උපකාර සහ අනුග්‍රහය ලබාදීමටත් එකඟ වූ බව ද්‍රවිඩ මන්ත්‍රීවරුන් අප සමග කියා සිටියා.”

“අගමැතිවරයෙකු සහ ආණ්ඩුවක් නොමැතිව පවා රට හොඳට ඉදිරියට යන බව කියන අයත් සිටිනවා යැයි එහිදී මන්ත්‍රීවරුන් මතු කළ කාරණයට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය.

“එක්සත් ජාතික පෙරමුණ මහා පාරට බැහැලා, සිවිල් නීති කඩලා, කලකෝලාහල කරලා මහා විනාශයක් නොකිරීම නිසයි රට හොදට යනවා වගේ සමහරුන්ට පෙනීමට තිබෙන්නේ...එහෙත් මුළු රටම නැවතිලා...විනාශ වෙලා...අරාජික වෙලා...සේවක සේවිකාවන්ට වැටුප් නැහැ... වසර අවසානයේ හැමදාම ලැබුණු  නත්තල් පාරිතෝෂිකය නැහැ...අපනයන නැවතිලා...ආනයනය කළ යුතු අත්‍යවශ්‍ය භාණ්ඩවලටත් කලට වේලාවට ඇනවුම් ලබාදී නැහැ...ඒ ඒ ව්‍යපෘති සඳහා වන ටෙන්ඩර් සියල්ල ඇණ හිටලා...ආයෝජකයෝ හැරිලා යනවා...විදෙස් ආධාර සහ සහන ණය සියල්ල හිර වෙලා... නමුත් සාමාන්‍ය මිනිස්සුන්ට මේ කඩා වැටීම දැනෙන්න සහ දකින්න තව ටික දවසක් යාවි.”

“අතයි-පොහොට්ටුවයි” TNA වෙත දුන් පොරොන්දු ගැන එජාපෙන් හෙළිදරව්වක්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
බෙදාගන්න
“අතයි-පොහොට්ටුවයි” TNA වෙත දුන් පොරොන්දු ගැන එජාපෙන් හෙළිදරව්වක්..! | Lanka Newsweek