අඩුම කාලයකින් රටට එපා වුණු ජනපති ගෝඨායි

කෙටිම කාලයක් ඇතුළත ජනතාවගේ අප්‍රසාදයටත් විරෝධයටත් පත් වුණු ආණ්ඩුව සහ එකම නායකයා බවට මේ ආණ්ඩුව සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පත්ව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර…
කෙටිම කාලයක් ඇතුළත ජනතාවගේ අප්‍රසාදයටත් විරෝධයටත් පත් වුණු ආණ්ඩුව සහ එකම නායකයා බවට මේ ආණ්ඩුව සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පත්ව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර සිටියි.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ අදහස් පළ කළේ, කොළඹ බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී අඟහරුවාදා(29) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දක්වූ ඒ මහතා මෙසේද කියා සිටියේය.
තමන් මුහුණ දෙන පීඩනයන්ට එරෙහිව, තමන් මුහුණ දී සිටින ගැටලු විසඳා ගැනීම වෙනුවෙන් විවිධ සමාජ කණ්ඩායම් මැදිහත්වීම් කරනවා. නමුත් ආණ්ඩුව විටෙක පොලීසිය යොදා ගනිමින්, තව විටෙක අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව යොදාගනිමින්, තව විටෙක මැර කණ්ඩායම් යොදා ගනිමින් ජනතාවගේ සාධාරණ උද්ඝෝෂණ සහ ඉල්ලීම්වලට මර්දනය දියත් කර තිබෙනවා.
දැන්වීම
පසුගිය දිනවල සමාජ මාධ්‍යවල විවිධ කරුණු ලියන කියන අය හඹාගෙන ගොස් අත්අඩංගුවට ගැනීම හා රඳවා තබාගැනීම් සිදුකළා. ආණ්ඩුවට විරුද්ධව ජනතාවගේ පැත්තෙන් යමක් ලියන්න හෝ ප්‍රකාශ කරන්න ඉඩ නොදී බියගැන්වීමට උත්සාහ කරනවා. පසුගිය කාලය පුරා ආණ්ඩුව මෙවැනි ක්‍රියාමාර්ග රැසක් ගනු ලැබුවා. අනික් පැත්තෙන් උද්ඝෝෂණවලට පොලීසිය යොදවා පහරදීම් සිදුකරනවා.
මෝදර ප්‍රදේශයේ පැවති සාධාරණ ධීවර උද්ඝෝෂණයකට පහර දුන්නා. පර්ල් නෞකාව ගිනිබත්වීමෙන් ජනතාවගේ එකම ජීවනෝපාය ධීවරයන්ට අහිමිවුණා. ඒ වගේම තෙල් මිල ඉහළ ගිහින් පීඩාවකට පත්ව සිටිනවා. ඒ උද්ඝෝෂණයේදී පුද්ගලයන් පැහර ගෙන යන්නත් පොලිසිය යොදවා ප්‍රහාරය එල්ල කරන්නත් ක්‍රියා කළා.
අධ්‍යාපනය මිලිටරීකරණය කිරීමට හා පෞද්ගලීකරණය කිරීමට විරුද්ධව ශිෂ්‍යයන් ගෙනගිය සාමකාමී උද්ඝෝෂණට පොලීසිය යොදවා මර්දනය දියත් කළා. ඒ වගේම විවිධ කරුණු ඉදිරිපත් කරන සමාජ ක්‍රියාකාරිකයින්ගේ නිවෙස්වලට රාත්‍රියේ පොලීසිය යොදවා පැහැරගැනීම් කළ අයුරු අපි දැක්කා. ආණ්ඩුවට එරෙහිව ඔවුන්ගේ වංචා-දූෂණ හා අපරාධ හෙළිකරව් කරන බොහෝ පිරිස් හඹාගෙන ගොස් මර්දනය කිරීමේ ප්‍රයත්නයක ආණ්ඩුව යෙදී සිටිනවා.
එහි උච්ඡතම අවස්ථාවක් 27වැනිදා මහියංගන රිදීමාලියද්දේදී සිදුකළා. උඩ සිට පහළට ඉන්න ආණ්ඩුවේ දේශපාලකයන් සියලු දෙනා මහජනයාගේ දේපොළ නාස්ති කිරීම හා හොරකම් කිරීම මහජන ධනය විනාශ කිරීම සිදුකරනවා. එවැනි උදාහරණයක් රිදීමාලියද්ද මාර්ගයක් ඉදිකිරීමේදී සිදුකර තිබෙනවා.
ග්‍රාමීය මාර්ග ලක්‍ෂයක් ඉදිකිරීමේ වැඩසටහන අනුව ඉදිකළ මාර්ගයක් මේක. මේවාට යොදවන්නේ මහජනයාගේ බදු මුදල්. ඒ නිසා ඒ මුදල් යොදවන ආකාරය පිළිබඳව ජනතාව විමසිලිමත්වීම අතිශය වැදගත්. ඒ ගම්වාසීන් කිව්වේ පාර ප්‍රමිතියෙන් තොරව ඉදිකර මුදල් යටිමඩි ගසා අනාරක්‍ෂිත තත්වයට මාර්ගය ඉදිකර ඇති බවයි. ඒ පාරේ පැති බැම්මක් වෙනුවට හිස් බැරල් කිහිපයක් හිටවා තිබෙනවා. මේ නිසා මුළු පාරම කඩාගෙන වැටෙනවා. පැති බැම්මට වෙන්කළ මුදල් යටිමඩි ගහගෙන හිස් බැරල් ගෙනල්ලා තියලා. මහජනයා පාරට බැහැලා කිව්වේ “ජීවිත අනතුරේ - පැති බැම්ම ඉදි කරනු” කියලා. පස්සර පාරක් ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුදායි තත්වයක තිබීමෙන් බස් රථයක් ප්‍රපාතයට පෙරළී මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් අහිමිවුණා. මේ තිබෙන්නේ පුරවැසියන්ගේ ජීවිත සම්බන්ධ ප්‍රශ්නයක්. ගම්වාසීන් පාරට බැහැලා උද්ඝෝෂණය කළේ ඒ නිසයි. මෙවැනි උද්ඝෝෂණවල වැරැද්දක් පේන්නේ හොරෙකුට විතරයි.
මහියංගන ආසනයේ අපේ සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී බලගල්ල සහෝදරයා ඒ පැති බැම්ම බලන්න ගියා. එතෙන්ට මැර කණ්ඩායම් පැනලා පා පහර එල්ල කරමින් වාහනයකට හේත්තුකර තර්ජනය කරමින් ක්‍රියාකළ ආකාරය ඔබ දකින්න ඇති. රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ප්‍රමුඛ මැර කණ්ඩායමක් ඇවිත් හිටියා. රැකියා ලක්‍ෂය යටතේ බඳවා ගත් තරුණයන් සහ ප්‍රාදේශීය සභාපතිවරයා එක්ක මැර ක්‍රියාවල යෙදෙන කණ්ඩායමක් එතැන හිටියා. ප්‍රාදේශීය සභාවේ වාහනවල මේ මැර කණ්ඩායම් ආවා. ගම්වාසීන්ට ප්‍රහාරයක් එල්ල කළේ මේ කණ්ඩායමයි.
ගම්වල අහිංසක පුරවැසියන් ඔවුන්ගේ සාධාරණ ඉල්ලීමක් වෙනුවෙන් පෙනී සිටින අවස්ථාවේ ඔවුන්ට පහර දෙනවා. මේ සාපරාධී ක්‍රියාවට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෑ නැද්ද? උඩ ඉඳලා පහළටම මැරකම්වලින්, ත්‍රාඩකම්වලින් රටක් පාලනය කරන්න පුළුවන් කියලා හිතන කණ්ඩායමක් මේක. ගෝඨාභය රාජපක්‍ෂගේ මානසිකත්වය ක්‍රියා කරන්නේ ජනතාව බිය වද්දලා, රාජ්‍ය සේවකයන් බිය වද්දලා, මහ බැංකු නිලධාරීන් බිය වද්දලා රට පාලනය කිරීම. ජනාධිපතිවරයාගේ ආදර්ශය රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාත් ක්‍රියාත්මක කරමින් ඉන්නවා.
මේ සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. මේ සභාපතිවරු ගොඩක් අය ප්‍රදේශයේ මැර කණ්ඩායම්වල නියෝජිතයෝ. ප්‍රාදේශීය ජාවාරම්කරුවන්. වැලි ගොඩ දැමීම, ගස් කැපීම, ඇතුළු සියලුම නීතිවිරෝධී වැඩවලට නායකත්වය දෙන්නේ මොවුන්. මේ සභාපතිවරයා කොන්ත්‍රාත්කරුවෙක්.
කොන්ත්‍රාත්කරුවා තමයි ප්‍රාදේශීය සභාවේ සභාපති. අපේ රටේ දේශපාලනයේ විශාලතම ඛේදවාචකය මේ තුළින් පෙනෙනවා. මැරයන් අපරාධකරුවන්, වංචනිකයන් ජනතා නියෝජිත ආයතනවල ඉහළම පුටුවල ඉන්නවා. මේ සම්බන්ධයෙන් අපේ බලගල්ල සහෝදරයා රිදීමාලියද්ද පොලීසියේ පැමිණිල්ලක් දැම්මා. ගම්වාසීනුත් පැමිණිලි කර තිබෙනවා. මේ වනවිට දහ දෙනෙක් පමණ අත්අඩංගුවට ගත්තත් මැරයන්ගේ නායකයා අත්අඩංගුවට ගෙන නැහැ. මේකත් එක නාටකයක්. සමාජ විරෝධයක් මතු වුණාම අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරනවා. උසාවියෙන් ඇප ලබාගෙන රතිඤ්ඤා පත්තු කරලා ගෙදර යනවා. එවැනි සංස්කෘතියකුත් අපේ රටේ නිර්මාණය වෙමන් තිබෙනවා. මේ මැරයන් අත්අඩංගුවට ගෙන නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කළ යුතුයි. ඒ සඳහා බල කරමින් අද දිනයේ රිදීමාලියැද්ද ප්‍රාදේශය සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වනවා.
ජනතාවගේ උද්ඝෝෂණවලට මැර කණ්ඩායම් යොදලා තර්ජනය කර පහර දෙමින් යන්න හදන මේ ගමන ආරම්භයේදීම අප පරාද කළ යුතුයි. නැත්නම් මාධ්‍යවේදීන් හැටියට ඔබටත් මැර කණ්ඩායම් තර්ජනය කරන්න පටන් ගනීවි. සමාජ අපරාධයක් වාර්තා කරන්න මාධ්‍යවේදීන්ට බැරි තත්වක් ඇතිවේවි. ජනතාවට තමන්ගේ සාධාරණ අදහසක් ඉදිරිපත් කරන්න බැරි වේවි. ඒ නිසා ගෝඨාභය රාජපක්‍ෂගෙන් අපි අහන්නේ විනයක් හදන්න, රටේ එක නීතියක් ක්‍රියාත්මක කරන්න ඇවිත් කරන්නේ මේවාද? තමන්ගේ ආණ්ඩුවේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරු මැර කණ්ඩායම් එක්ක ගම්වලට පැන පහර දෙන එක ගෝඨාභය රාජපක්‍ෂගේ විනයද?
ඔවුන්ගේ බලය තිබෙන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා දරන අතර ඉහළ නායකත්වය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ දරනවා. ඒ නිසා ඔවුන් සම්බන්ධයෙන් ගන්නා දේශපාලන තීන්දුව මොකක්ද කියලා ගෝඨාභය රාජපක්‍ෂ රටට කියන්න. ගම්වැසියන්ට පහර දීම ගෝඨාභය රාජපක්‍ෂ අනුමත නොකනවා නම් පොලීසිය හරහා නීතිය ක්‍රියාත්මක කරනවා වගේම මේ මැරයන්ට විරුද්ධව දේශපාලන තීන්දුවකුත් ගතයුතු වෙනවා.
එක නීතියක් තිබෙන රටක්, වාක්‍ය විතරක් වෙන්න බැහැ. ඒවාට පණ දෙන්න නම් මේ සභාපතිවරයා ඇතුළු මැරයන් පිළිබඳව දේශපාලන පක්‍ෂයක් හැටියට ගන්නා තීන්දුව මොකක්ද? ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයෙන් ඉදිරිපත්වූ ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්‍ෂ. ඒ පක්‍ෂයේ රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ අපේක්‍ෂකයෙක් වුණු මැරයෙක් දැන් ප්‍රාදේශීය සභාවේ සභාපති. ඔහු සම්බන්ධයෙන් ගන්නා දේශපාලන තීන්දුව රටට පැහැදිලි කරන්න ඕනෑ.
අපි ජනතාවට කියන්නේ සාධාරණ උද්ඝෝෂණවලට, සාධාරණ හඬනැගීම්වලට එරෙහිව මැරයන් යොදවන ක්‍රියාමාර්ග පරාජයට පත්කළ යුතුයි. ඒ වෙනුවෙන් සියලු දෙනාට එකතුවෙන්න කියලා ආරාධනා කරනවා. මේ සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ සියලුම බලපෑම් කරන්න අපි සූදානම්. ක්‍රමානුකූලව වර්ධනය වෙමින් එන මර්දනකාරී මේ වැඩපිළිවෙළ පරාජයට පත්කිරීම දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපේත් මාධ්‍යවේදීන් හැටියට ඔබේත් මේ රටේ පුරවැසියන්ගේත් විශාල වගකීමක් බව අපි අවධාරණය කරනවා.