අක්මා බද්ධ ශල්‍යකර්මයට ආධාර කර මාධ්‍යවේදී සිසිර විජේසිංහගේ ජීවිතය බේරා ගනිමු..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2

මාධ්‍යවේදී , සිසිර විජේසිංහ මහතා මේ වන විට අක්මාව අක‍්‍රීය වීමේ (ඇල්කොහොල් නොවන සිරෝසිස් - Nonalcoholic Cirrhosis) රෝගී තත්ත්වයට ලක්ව සිටින අතර ඒ මහතා සුව පත් කිරීම සඳහා කඩිනමින් නිරෝගී අක්මාවකින්…
මාධ්‍යවේදී, සිසිර විජේසිංහ මහතා මේ වන විට අක්මාව අක‍්‍රීය වීමේ (ඇල්කොහොල් නොවන සිරෝසිස් - Nonalcoholic Cirrhosis) රෝගී තත්ත්වයට ලක්ව සිටින අතර ඒ මහතා සුව පත් කිරීම සඳහා කඩිනමින් නිරෝගී අක්මාවකින් කොටසක් බද්ධ කළ යුතු බව ඔහු පරීක්ෂා කරන ඉන්දීයවේ ග්ලැනිගල් ග්ලෝබල් රෝහලේ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය මොහොමඞ් රිලා මහතා සහ ශල්‍ය වෛද්‍ය ගෝමතී නාරාසිම්හාන් මහත්මිය දැනුම් දී ඇත.
මෙම ශල්‍ය කර්මය සඳහා පමණක් රුපියල් ලක්ෂ අසූ පහක මුදලක් වැය වන බවත් ශල්‍ය කර්මයෙන් අනතුරුව සිදු කරන වෛද්‍ය පරීක්ෂණ සහ අනෙකුත් ප‍්‍රතිකාර ඇතුළු සමස්ථ වියදම රුපියල් ලක්ෂ සියයක් පමණ වන බවත් ඉන්දියාවේ චෙන්නායි ග්ලැනිගල් ග්ලෝබ්ල් රෝහල වැඩිදුරටත් දැනුම් දී තිබේ.
සාහිත්‍ය වේදිනියක වන අනුරාධා නිල්මිණි මහත්මියගේ ස්වාමි පුරුෂයා වන සිසිර විජේසිංහ මහතා මුලින්ම මාධ්‍ය ක්ෂේත‍්‍රයට අවතීර්ණ වන්නේ 1994 වසරේදී පමණය. අනතුරුව ඔහු ශ‍්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ ප‍්‍රවෘත්ති සහ කාලීන වැඩ සටහන් අංශයේ, සහාය ප‍්‍රවෘත්ති නිෂ්පාදකවරයෙකු ලෙස කෙටි කාලයක් කටයුතු කළේය.
පසුව ශාන් වික‍්‍රමසිංහ මහතාගේ ඇරයුමින්, සිසිර විජේසිංහ මහතා TNL රූපවාහිනි සේවයට සම්බන්ධ වූ අතර එහි ප‍්‍රවෘත්ති සංස්කාරකවරයෙකු ලෙස දිර්ඝ කාලයක් සේවය කළේය. ඒ අතර තුර සිසිර විජේසිංහ මහතා කැලණිය විශ්ව විද්‍යාලයයේ, සෞන්දර්ය අධ්‍යයන ආයතනට ද ඇතුළත් විය.
පසුව හිරු ගුවන්විදුලියේත්, 2005 වසරේ දෙරණ ප‍්‍රවෘත්ති අංශයේ ආරම්භක සාමාජිකයකු ලෙසත්, සත් FM ගුවන් විදුලිය, MAX රූපවාහිනි සේවය යන මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදියෙකු ලෙසත් කටයුතු කළේ ය.
එමෙන්ම සිසිර විජේසිංහ මහතා 2009 වසරේ සිට වැවිලි කර්මාන්ත, විදුලි බල, මුදල්, විදේශ කටයුතු යන අමාත්‍යාංශවල අමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා ලෙසත්, හිටපු අග‍්‍රාමාත්‍ය දි මු ජයරත්න මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙසත් කටයුතු කළේ ය.
හතලිස් හත් වැනි වියේ සිටින, සිසිර විජේසිංහ මහතාට පාසල් යන වියේ පසු වන දියණියක ද සිටින්නීය.කොට්ටාව,මත්තේගොඩ ප‍්‍රසන්න උයන අංක 193/54, නිවසේ පදිංචිව සිටින සිසිර විජේසිංහ මහතා මාධ්‍යවේදියෙකු ලෙසත්, අමාත්‍යාංශ මාධ්‍ය ලේකම්වරයෙකු ලෙසත් මාධ්‍යවේදීන් අතර පුළුල් විශ්වාසනීය භාවයක් ගොඩ නගා ගත් නිහතමානී පුද්ගලයෙකි.
එහෙත් අද සිසිර විජේසිංහ මහතා , අක්මාව අක‍්‍රීය වීමේ මාරාන්තික රෝගී තත්ත්වයෙන් පසුවේ. මුදල් වෙනුවට මිනිසුන් හම්බකර ගත් සිසිර විජේසිංහ මහතාගේ ජීවිතය සුවපත් කර ගැනීමට අප පෙළ ගැසිය යුත්තේ කෘතගුණ සැලකීමක් ලෙසය.
සිසිර විජේසිංහ මහතාගේ ශල්‍ය කර්මය සඳහා වැය වන රුපියල් ලක්ෂ සියයක මුදල දැරීමට තරම් ආර්ථික පසුබිමක් ඒ මහතාට නොමැත. එබැවින් මෙම මුදල රැස් කර ගැනීමට, ශ‍්‍රී ලංකාවාසී පරිත්‍යාගශීලි ජනතාවගේ නොමසුරු සහාය අපේක්ෂා කරයි.සංවේදී මාධ්‍ය සගයකුගේ ජීවිතය සුව පත් කර ගැනීම සඳහා ඔබ ලබා දෙන දායකත්වය මාහැඟි පුණ්‍ය කර්මයක් බඳුය.
මෙම සත්කාරය වෙනුවෙන් ඔබ ලබා දෙන මූල්‍ය ආධාර, සිසිර විජේසිංහ මහතාගේ බිරිඳගේ නමින් මත්තේගොඩ මහ ජන බැංකුවේ ආරම්භ කර ඇති පහත සඳහන් ගිණුමට බැර කළ හැකිය. (ඩී.එන්.ඒ. අබේසේකර - ගිණුම් අංකය 328-2-001-1-0319272) තවද මහ ජන බැංකුවේ, බම්බලපිටිය, මැජෙස්ටික් සිටි ශාඛාවේ සිසිර විජේසිංහ මහතාගේ නමින් ආරම්භ කර ඇති පහත සඳහන් ගිණුමට ඔබේ ආධාර බැර කළ හැකිය. (W.M.S KUMARA - ගිණුම් අංකය 200-2-001-2-3233728) ඔබට මේ පිළිබඳව වැඩිමනත් තොරතුරු අවශ්‍ය නම් 0714048940 යන ජංගම දුරකථනයට ඇමතීමට හැකිය.
"ජීවිතය වෙනුවෙන්-මනුෂ්‍යත්වයේ හඬ"
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2