සියදිවි නසා ගත් එංගලන්ත තරුව වෙනුවෙන් සැරසුණු ක්‍රීඩකයෝ

ග්‍රැහැම් තෝප් කියන්නේ එංගලන්තය බිහි කරපු බොහොම අඩු කතා බහට ලක්වෙන පිතිකරුවන්ගෙන් කෙනෙක්. ඔහු ඩේවිඩ් ගවර් - ග්‍රැහැම් ගුච් දෙපළගේ සමයෙන් පසු එංගලන්ත වගකීම බාරගත් අලංකාරම පිතිකරුවා විදිහටත්…
ග්‍රැහැම් තෝප් කියන්නේ එංගලන්තය බිහි කරපු බොහොම අඩු කතා බහට ලක්වෙන පිතිකරුවන්ගෙන් කෙනෙක්. ඔහු ඩේවිඩ් ගවර් - ග්‍රැහැම් ගුච් දෙපළගේ සමයෙන් පසු එංගලන්ත වගකීම බාරගත් අලංකාරම පිතිකරුවා විදිහටත් හැඳින්වෙනවා.
එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ බොහොම අසීරු සහ අමිහිරි පරාජයන් රැසක් උරුම වුණ 1993-2005 කාල සමය තුළ ග්‍රැහැම් තෝප් කණ්ඩායමේ බොහොම වගකිවයුතු පිතිකරුවෙක් ලෙසින් කටයුතු කළා.
ඔහු බොහොම නිහඬ සංවේදී සහ සුළු දෙයත් සෑහෙන තරම් දුරට සිතන පුද්ගලයෙක්. ඒ සියලු පෞද්ගලික ජීවිතයේ වටපිටාවත් සමගින් ග්‍රැහැම් තෝප් අවුරුදු 12 ක් පුරාවට එංගලන්තය වෙනුවෙන් තම දායකත්වය ලබා දුන්නා.
දැන්වීම
එම කාල සමය තුළ එංගලන්ත ජර්සිය හැඳ ඔහු ක්‍රීඩා කළ ටෙස්ට් තරග සංඛ්‍යාව 100 ක්. මෙම තරග 100 තුළ ඉනිමක සාමාන්‍යය ලකුණු 44.66 ක අගයක පවත්වාගෙන තෝප් ලකුණු 6744 ක් රැස් කළා. එයට ශතක 16 ක් සහ අර්ධ ශතක 39 ක් ඇතුළත්.
එක්දින තරග 82 ක් වෙනුවෙන් ද තම දායකත්වය ලබාදුන් ග්‍රැහැම් තෝප් පළමු පෙළ ක්‍රිකට් පිටියේ ලකුණු 20 000 ඉක්මවා රැස් කරගෙන තිබෙනවා. එංගලන්තය වෙනුවෙන් ඉතාම නිහඬ නමුත් වගකීම් සහගත සේවයක් කළ ඔහු ක්‍රීඩාවෙන් සමු ගැනීමෙන් අනතුරුව විශාල මානසික පීඩනයකට ගොදුරු වුණා.
කලින් කිව්වා වගේම ග්‍රැහැම් තෝප් කියන්නේ බොහොම නිහඬ සංවේදී චරිතයක්. පෞද්ගලික ජීවිතයේ සිදුවුණ යම් යම් ගැටලුත් ඔහුගේ මේ මානසික පීඩනයට හේතු වෙන්න පුළුවන්.
2022 වර්ෂයේ දී ග්‍රැහැම් තෝප් සියදිවි නසා ගැනීමට උත්සාහ කළා. ඉන් අනතුරුව එංගලන්ත වෘත්තීමය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය ප්‍රකාශ කළේ තෝප් දැඩි මානසික ව්‍යාකූලතාවයකින් රෝගාතුරව සිටින බවයි.
2024 වර්ෂයේ අගෝස්තු මස 4 වනදා ග්‍රැහැම් තෝප් තමන්ගේ මානසික පීඩනය පිරුණු ජීවිතය සදහටම අවසන් කරන්න තීරණය කළා. ඒ ධාවනය වන දුම්රියකට ගැටී සියදිවි හානි කර ගැනීමෙන්. 55 හැවිරිදි ග්‍රැහැම් තෝප් ගේ හදිසි මරණය බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන්ම ප්‍රේක්ෂකයන් ද කම්පනයට පත් කළා.
ග්‍රැහැම් තෝප් ගේ උපන්දිනය අගෝස්තු මස 1 වනදා, එනම් ඊයේ දිනයේ යෙදී තිබුණා. එංගලන්තය සහ ඉන්දියාව අතර පැවැත්වෙන 5 වන ටෙස්ට් තරගයේ දෙවන දිනය වෙන් වී තිබුණේ ග්‍රැහැම් තෝප් වෙනුවෙන්.
මානසික රෝගීන් රැක බලාගන්නා සහ එම රෝගීන් වෙනුවෙන් කැප වන පුණ්‍යාතයනයක් වන Mind වෙනුවෙන් අරමුදල් රැස් කිරීමක් ද ග්‍රැහැම් තෝප් වෙනුවෙන් ඊයේ සංවිධානය වුණා.
ග්‍රැහැම් තෝප් කියන්නේ හෙඩ් බෑන්ඩ් එකක් පැළඳගෙන ක්‍රිකට් ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක්. ඉතින් ඔහුගේ රුවක් ඇතුලත් කරලා GT විදිහට සටහන් කරපු හිස් පළඳනා අලෙවි කිරීම ඊයේ සිද්ධ වෙන්නේ අරමුදල රැස් කිරීමේ ක්‍රමයක් විදිහට.
එංගලන්ත ක්‍රීඩකයන් පවා මෙම හිස් පළඳනාව පැළඳගෙන ඉන්න ආකාරය ඊයේ ක්‍රිකට් තරගය නරඹපු අය දකින්න ඇති. ඒ විතරක් නෙමෙයි ඉන්දීය ක්‍රීඩක මොහොමඩ් සිරාජ් මෙම හිස් පළඳනාව පැළඳගෙන පන්දු යැවීමේ කටයුතු වලත් නිරත වුණා.
ග්‍රැහැම් තෝප් මියගියත් ඔහුගේ මතකය වෙනුවෙන් මේ කරන දේ පිළිබඳව ඔහුගේ පවුලේ අයට සහ අදාල පුණ්‍යාතයනයට ජාත්‍යන්තර වශයෙන් සෑහෙන ප්‍රසංශා හිමි වෙලා තිබුණා.
ක්‍රීඩාව කියන්නේ ලෝකයක් වෙනස් කරන්න හැකියාව තියෙන දෙයක්.