අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සජබ - එජාප සන්ධානය තීන්දුයි

සජබ - එජාප සන්ධානය තීන්දුයි

අවසන් තීරණය නායකයන් ප්‍රකාශ කිරීමට නියමිතය ප්‍රතිපත්තිමය සාකච්ඡා අවසන් - ඉදිරි මැතිවරණ සඳහා පුළුල් පෙරමුණකින් තරඟයට එක්ව තරග කළ හොත් ජයග්‍රහණය නියතයි - සජබ මහලේකම් කියයි ඉදිරියේදී පැවැත්වීමට නියමිත…

අවසන් තීරණය නායකයන් ප්‍රකාශ කිරීමට නියමිතය 

ප්‍රතිපත්තිමය සාකච්ඡා අවසන් - ඉදිරි මැතිවරණ සඳහා පුළුල් පෙරමුණකින් තරඟයට 

එක්ව තරග කළ හොත් ජයග්‍රහණය නියතයි - සජබ මහලේකම් කියයි 

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාතික මැතිවරණ ඇතුළු විවිධ මැතිවරණ සඳහා පුළුල් දේශපාලන සන්ධානයක් යටතේ එකට ඒකාබද්ධව තරඟ කිරීමට සමගි ජන බලවේගය (SJB) සහ එක්සත් ජාතික පක්ෂය (UNP) තරග කිරීමට මූලික එකඟතාවකට පැමිණ 
සිටියි.

සමගි ජන බලවේගය (SJB) සහ එක්සත් ජාතික පක්ෂය (UNP) මෙම ප්‍රතිපත්තිමය තීරණයට එළඹ තිබෙන්නේ දෙපාර්ශවයේ නියෝජිතයන් අතර ගෙවුණු කාල සීමාව පුරා පැවති දේශපාලන සාකච්ඡා වට රැසකින් අනතුරුව බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.  

මෙම දේශපාලන සන්ධානගත වීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් වන අවසන් එකඟතාව සහ ඉදිරි දේශපාලන සැලැස්ම පිළිබඳ නිල ප්‍රකාශය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඉදිරියේදී සිදු කිරීමට නියමිතය.

දැන්වීම

සමගි ජන බලවේගය (SJB) සහ එක්සත් ජාතික පක්ෂය (UNP) අතර කලක් පැවති අභ්‍යන්තර සාකච්ඡා මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් වී ඇති අතර, සන්ධානයේ ව්‍යුහය සහ මැතිවරණ යාන්ත්‍රණය සම්බන්ධයෙන් පාර්ශව දෙකෙහිම නියෝජිතයන් පොදු එකඟතාවන් කිහිපයකට එළඹ තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ මහ ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කළේ ඉදිරි ජාතික මැතිවරණ ඇතුළු සියලු මැතිවරණ සඳහා දෙපාර්ශවය එකට එක්ව පොදු සන්ධානයක් යටතේ තරඟ කිරීමට තීරණය කර ඇති බවය. 

"ඊළඟ සියලු මැතිවරණ සඳහා අප තරඟ කරන්නේ, සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකට එකතු වෙලා. ඒක දැන් තීරණය කරලා ඉවරයි. වෙලාව අපි ඉස්සරහට කියන්නම්. සන්ධානයක් හැටියට තරඟ කරන්න සිද්ධ වෙයි. සන්ධානයක් විදිහට වැඩ කරයි. මම හිතන්නේ රටේ ජනතාව දන්නවා එක්සත් ජාතික පක්ෂයයි අපියි එකතු වුණාම අනිවාර්යයෙන් ජයග්‍රහණය කරනවා කියලා" යනුවෙන් ද රන්ජිත් මද්දුම බණ්ඩාර මහ ලේකම්වරයා වැඩි දුරටත් අවධාරණය කළේය.

2020 වසරේදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී සමගි ජන බලවේගය බිහි කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ දක්ෂිණාංශික සහ මධ්‍යස්ථ-ලිබරල් ඡන්ද පදනම බෙදී යාමකට ලක් වූ අතර එබැවින් මෙම නව සන්ධානගත වීම, රටේ ප්‍රධාන දේශපාලන ධාරාවේ බල තුලනය කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කරනු ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

විශේෂයෙන්ම, ඉදිරියේදී පැවැත්වීමට නියමිත  පළාත් සභා මැතිවරණයෙදී විපක්ෂයේ ඡන්ද බෙදී යාම වැළැක්වීම මෙම ඒකාබද්ධ ක්‍රියාමාර්ගයේ මූලික අරමුණ වී තිබේ. මෙම නව දේශපාලන සන්ධානය තරග වදින මැතිවරණ ලකුණ, නායකත්ව මණ්ඩලයේ ව්‍යුහය සේම ආසන බෙදා ගැනීමේ ප්‍රතිපත්තිය පිළිබඳ තව දුරටත් සාකච්ඡා වෙමින් පවතින බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

දෙපාර්ශවයේම ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගේ එකඟතාවයෙන් සකස් කෙරුණු මූලික යෝජනාවලිය මේ වන විට පක්ෂ නායකයන් වෙත යොමු කර ඇති අතර, ඔවුන්ගේ අවසන් තීරණයෙන් අනතුරුව සන්ධානයේ ඉදිරි ක්‍රියාමාර්ග සහ ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රසිද්ධියට පත්කිරීමට නියමිතය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න