අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

විපක්ෂයේ පොදු සතුරා සජිත්ද-අනුරද..?

උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය..!

සජිත් ප්‍රේමදාස

අගමැතිගේ අනුමැතියෙන් විපක්ෂ නායකට වාහන හයක්

මේ, 2002 මාර්තු 31 ‘ලංකා’ පත්‍රයේ මුල් පිටුවේ ප්‍රවෘත්තියක්ය. එකල ‘ලංකා’ කියන්නේ ජවිපෙ නිල පුවත්පතය. මේ ප්‍රවෘත්තියෙන් ‘ලංකා’ පුවත්පත කියන්න උත්සාහ ගත්තේ අගමැති සහ විපක්ෂ නායක අතර ඩීල් එකක් ඇති බවය. ඒ, එවක අගමැති රනිල් සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතරය.

දැන්වීම

2001 මහ මැතිවරණයෙන් චන්ද්‍රිකාගේ ආණ්ඩුව පරාජයට පත්වී රනිල් ආණ්ඩුව පිහිටුවූ විට විපක්ෂ නායක ධුරය හිමි වූයේ ශ්‍රීලනිපයටය. චන්ද්‍රිකා විපක්ෂ නායක ධුරයට පත් කළේ රත්නසිරි වික්‍රමනායකය. රත්නසිරි වික්‍රමනායක ධුරයට නුසුදුසු බවට හඬක් මතුවූයේ මේ කාලයේය. ශ්‍රීලනිපයේ කොටසකගේ ඉල්ලීම වූයේ මහින්ද රාජපක්ෂව විපක්ෂ නායක කරන ලෙසය. ඒත් චන්ද්‍රිකා සහ පක්ෂය තුළ සිටි චන්ද්‍රිකාවාදීන් ශ්‍රීලනිපය ප්‍රමුඛ පොදු පෙරමුණට පසු වැඩිම ආසන ගණනක් දිනා සිටි ජවිපෙ එයට කැමැති වූයේ නැත. කොහොම හරි මහින්ද, රත්නසිරිව බැංකොක් නුවර තියා අගමැති රනිල් හරහා කතානායක ජෝශප් මයිකල් පෙරේරාත් එකඟ කරගෙන විපක්ෂ නායක ධුරය හිමිකර ගත්තේ ගේම් එකක් ගහලාය. මහින්දව විපක්ෂ නායක කළේ රනිල් බවත්, මහින්ද සහ රනිල් අතර ඩීල් එකක් ඇති බවත් එතැන් සිට ශ්‍රීලනිපයේ චන්ද්‍රිකාවාදීන් සහ ජවිපෙත් ශ්‍රීලනිපය ප්‍රමුඛ පොදු පෙරමුණේ සිටි වාමාංශික පක්ෂත් කියන්න පටන් ගත්හ.

"විපක්ෂ නායකයා පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ විරෝධතා කඩාකප්පල් කරනවා. විපක්ෂයේ සැලසුම් ගැන අගමැති රනිල්ට ඔත්තු දෙනවා" එකල ජවිපෙ ප්‍රචාරක ලේකම් විමල් වීරවංශ ප්‍රසිද්ධියේ කීවේය. විමල් පමණක් නොව ජවිපෙ නායක සෝමවංශ, ලේකම් ටිල්වින් සිල්වාත් ජවිපෙ මන්ත්‍රීවරු වූ ලාල්කාන්තලා, විජිත හේරත්ලා, අනුර කුමාරලාත් මේ කතාව මන්තරයක් සේ ජප කළහ.

මහින්ද මේ චෝදනා සියල්ල ඉවසා සිටියේය. අවසානයේ රනිල්වත් යූ.ඇන්.පී.යත් පරාජය කර ශ්‍රීලනිපයට යළි ජනාධිපතිකම දිනා දුන්නේ මහින්දය. ඒ, මහින්ද රනිල්ගේ ඉත්තෙක් කී චන්ද්‍රිකාවාදීන් සහ ජවිපෙ ඔහු වටේ එකට එකතු කරගෙනය.

එදා මහින්දට ගහපු මඩේම නේද අද සජිත්ට ගහන්නේ…? සජිත් විපක්ෂ නායක වුණේ මහින්ද වගේ ආණ්ඩුවේ උදව් අරගෙන නොව මහජන වරමකින්ය. 2020දීත් 2024දීත් ඔහුව විපක්ෂ නායක කළේ මහජනතාවය.

2020 ඔහු විපක්ෂ නායක වූ දින සිට ‘සජිත් පණ මදි’, ‘සජිත්ට ගෝඨාභය ජනාධිපති එක්ක ඩීල් එකක් තියෙනවා’ කියන මඩය ගහන්න පටන් ගත්තේ රනිල්, යූ.ඇන්.පී.ය සහ ජවිපෙය.

මේ මඩය සමගි ජන බලවේගය තුළින් මතු කළේ චම්පික රණවකය. ඔහු 2020 සමගි ජන බලවේගයෙන් තරග කොට මන්ත්‍රී වී සමගි ජන බලවේගයෙන් ලොකු තනතුරක් ඉල්ලුවේය. සමගි ජන බලවේග මන්ත්‍රීවරු සජබ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී චම්පිකට තනතුරක් දෙන්න නම් චම්පික ඔහුගේ පක්ෂය විසුරුවා හැර සජබයට සම්බන්ධ විය යුතු යැයි කීහ. සජිත්ද එය අනුමත කළේය.

සජිත් චම්පිකට පක්ෂ උපසභාපති ධුරයක් පිරිනැමුවත් චම්පික ඒ තනතුරට කැමැති නොවීය. චම්පික එතැන් සිට සජිත්ටත්, සමගි ජන බලවේගයටත් ගහන්න පටන් ගත්තේය. මේ වෙනකොට සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ සිට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර නොලැබුණු සජිත්වාදීන් කිහිප දෙනෙකුත්, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර නොලැබීමේ වේදනාවට චම්පික සමග එක්වී සජිත්ටත්, සජබයටත් දිගට හරහට ගහන්න පටන් ගත්තේය. සජිත්ව ඉවර කරන්න බලාගෙන සිටි රනිල්ට මෙය ජිම්කානා එකක් ඇදුණා මෙන් විය. කලින් රනිල් විරෝධීන් ලෙස සිට පසුව සජිත්වාදීන් වූ ජාතික ලැයිස්තු අපේක්ෂකයන් සහ චම්පික රනිල් හමුවී සජිත්ට එරෙහි සන්ධානය ශක්තිමත් කරගත්හ. ඔවුන් සජිත්ට එල්ල කළ ලොකුම චෝදනාව වූයේ පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හොයන්න කොල්ලුපිටියේ ජූලියන් පැටි්‍රක් පියතුමා කැඳවූ රැස්වීමට සජිත් ආවේ නැති බවත්, එකල සජබ මන්ත්‍රීවරුන් වූ හරීන් සහ මනුෂට යන්න එපා කියා කියූ බවත්ය. ඔවුන් එයින් පෙන්වන්න ගියේ සජිත් සහ ගෝඨා මහමොළකරු හංගන්න ඩීල් එකක් දමා ඇති බවය. එහෙත් ජූලියන් පැටි්‍රක් පියතුමා කීවේ තමන් මේ රැස්වීමට සජිත්ට ආරාධනා නොකළ බවය. පසුගියදා චම්පික ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කීවේ පාස්කු බෝම්බය සහරාන්ගේ වැඩක් බවත්, මහමොළකරුවකු ඉන්නවා කියා තමා කීවේ ශානි සහ රවී සෙනෙවිරත්න තමාව නොමග යවපු නිසා බවත්ය. ඒත් සජිත් තවමත් පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවා සොයාගත යුතුය යන ස්ථාවරයේ සිටී.

අවසානයේ ගෝඨා සහ සජිත් ඩීල් කී හරීන් සහ මනුෂ ගෝඨාගේ ආණ්ඩුවට එක්වූහ. ගෝඨා සහ සජිත් ඩීල් එකක් ඇතැයි කී රනිල් ගෝඨාවත් රාජපක්ෂවරුත් අරගලයෙන් බේරාගන්න අගමැති විය. ගෝඨා එක්ක ඩීල් දැම්මා කී සජිත් ගෝඨා අගමැතිකම භාරගන්න යැයි ආරාධනා කළ විට අගමැතිකම භාරගන්න ගෝඨා විධායක බලය අතහැරිය යුතු යැයි කොන්දේසියක් දැම්මේය. සජිත් ගෝඨා සමග රහස් සාකච්ඡා කළේ නැත. ඔහු ප්‍රසිද්ධියේ ගෝඨා සමග ලිපි ගනුදෙනු කරමින් අගමැති ධුරය භාරගැනීමට තම කොන්දේසි ඉදිරිපත් කළේය. රනිල් ජනාධිපති වූ විට චම්පික ඔහුගේ පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉස්සෙල්ලාම පිළිගැන්වූයේ ජනාධිපති රනිල්ටය.

එදා චම්පික ගෝඨා සහ සජිත් ඩීල් කියා කීවේ සජබයේ ඔහුට ලොකු තැනක් හිමි නොවූ නිසාය. එදා පක්ෂයේ සභාපතිව සිටි ෆොන්සේකා සජිත් දුර්වලයකු යැයි කීවේ ඔහුට සජබයේ ජනාධිපති අපේක්ෂකකම නොලැබෙන බව දැනගත්තාට පසුවය. සජිත් ගෝඨාට ගහනවා මදි කියා චෝදනා කළ ඔහුත් අවසානයේ ගෝඨාගෙන් අගමැති ධුරය ගන්න සාකච්ඡා කළේය.

සජිත් 2024 ජනාධිපතිවරණය පරාජය වෙන්න හේතුව රනිල්ලා, චම්පිකලා, අනුර සහ ජවිපෙ, ෆොන්සේකලා සජිත් ඩීල්කාරයෙක්, සජිත් දුර්වලයෙක් කියලා ගහපු මඩ නිසාය. චමපික ජනාධිපතිවරණය ආසන්නයේ සජිත් දිනවන්න ආවත් ඔහු ඒ වනවිට සජිත්ට කරපු හානිය හදන්න බැරි විය.

සජිත් ජනාධිපතිවරණය පරාජය වුවත් 2024 මහ ඡන්දයෙන් ජනතාව ඔහුව විපක්ෂ නායක ධුරයට පත් කළේය. සජිත් යළි විපක්ෂ නායක ධුරයට පත්වීම ඉවසා ගන්න බැරිව යළිත් අලුත් වටයකින් රනිල්ලා, චම්පිකලා සජිත්ට ගහන්න පටන් ගත්හ. මේ සජිත්ට ගහන සන්ධානයට නාමල් සහ පොදුජන පෙරමුණත් එක්වූයේ එළියේ විපක්ෂ නායක නාමල් කියමින්ය. අරගලය වෙලාවේ ගෝඨාභය සජිත්ගේ කොන්දේසිවලට එකඟ වී සජිත්ව අගමැති කරන්න එකඟ විය. සජිත් අගමැති වුණොත් නාමල් ඉවර යැයි ගණන් හදා රාජපක්ෂ පවුල එය කඩාකප්පල් කොට සජිත්ව ඉවර කරන්න රනිල්ව අගමැති කරනු ලැබීය.

ගෝඨා ජනාධිපති ධුරයෙන් ඉවත් වෙන්න සූදානම් බව කතානායකට දැනුම් දුන් වෙලාවේ කතානායක ජනාධිපති කොට සජිත්ව අගමැති කරන්න සර්ව පාක්ෂික සාකච්ඡාවක් පැවැත්විණි. ඒ සාකච්ඡාව කඩාකප්පල් කළේ විමල් සහ රාපජක්ෂ පවුලය. ඒ වෙලාවේ සජිත්ට අගමැති ධුරය දෙන්න සර්ව පාක්ෂික එකඟතාවක් නැතැයි කියා රනිල් අගමැති ධුරයෙන් ඉවත් නොවීය. රාජපක්ෂ පවුල රනිල්ව වැඩ බලන ජනාධිපති ධුරයට පත් කරනු ලැබීය. ඒ වෙලාවේ විමල්ලා එකඟ වුණා නම් රාජපක්ෂ පවුල අසරණ වී සජිත් අගමැති වීමට ඉඩ තිබිණි. ඒකෙන් වුණේ රනිල් ජනාධිපති වී අනුරට ජනාධිපති වෙන්න පාර කපා දීමය.

තමන් සජිත්ට පාර වහන්න ගිහින් අනුරට ජනාධිපති වෙන්න පාර ඇරිය බව පිළිගන්න රනිල්, රාජපක්ෂවරු, චම්පිකලා සහ විමල්ලා සූදානම් නැත. අදත් ඔවුන්ගේ පොදු සතුරා අනුර නොව සජිත්ය.

"අනුර-සජිත් ඩීල් එකක්" මෙහෙම කිය කියා ඔවුන් විනාශ කරන්නේ අනුරව නොව සජිත්වය. හැබැයි විපක්ෂ නායක ඔහුය. අනුරට හැරුණු විට වැඩිම ඡන්ද පදනම තියෙන්නේ ඔහුටය. මොන ඩීල් කතා කීවත් අනුරට එරෙහි ආණ්ඩු විරෝධය පාරට ගේන්න පුළුවන් ඔහුට සහ සජබයට බව 22ට එරෙහි පාර්ලිමේන්තු විරෝධයේදී ඔප්පු විය.

රනිල්ලාට, රාජපක්ෂලාට, චම්පිකලාට, විමල්ලාට ඕනා 2024 කරපු වරදම කර 2029දී යළිත් අනුරව දිනවන්නද..? ඒක දන්නේ ඔවුන් පමණය. හැබැයි රනිල්, නාමල්, චම්පික මේ හැමෝම දත කන්නේ සජිත් නොව නියම විපක්ෂ නායක තමන් යැයි පෙන්වන්නටය. මේ විපක්ෂ නායක තරගයෙන් දිනන්නේ අනුරය.

(උපුල් ජෝශප් ප්‍රනාන්දු)

-මව්රට-

ලියන ලද්දේ Administratorයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 5
බෙදාගන්න
විපක්ෂයේ පොදු සතුරා සජිත්ද-අනුරද..? | Lanka Newsweek