අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

රජයේ නොහැකියාව, අකාර්යක්ෂමතාම සහ අදක්ෂකම සඟවා ගන්න මර්දනකාරී පනත් එනු එපා

- විපක්ෂ නායක -

සජිත් ප්‍රේමදාස

පොහොසත් රටක් ලස්සන ජිවිතයක ප්‍රතිපත්ති මාලාව තුළ පැහැදිලිවම වත්මන් ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුවේ 2/3 කණ්ඩායම රටට පොරොන්දු වූයේ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රසාරණය, ව්‍යාප්ත කිරීම සහ ජනතා නිදහස වඩාත් ඉහළ මට්ටමකට ගෙන ඒම සේම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වඩාත් ශක්තිමත් කරනවා යැයි කියූ නිසා ජනතාව වරම දුන් බවත් රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කර ගැනීමේ පනත සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත යන මාතෘකා යටතේ පැහැදිලිවම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් හකුලන මූලික අයිතිවාසිකම් සංකෝචනය කරන ජනතාවට කතා කිරීමේ නිදහස තමන් විශ්වාස කරන පක්ෂයක සාමාජිකයකු වීම, ඒ පක්ෂය නියෝජනය කරමින් නිදහස් නිවහල් සාමකාමී අරගලයක නියැලීමේ නිදහස හකුලා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

දැන්වීම

ජනාධිපතිවරයා සහ අධිකරණ ඇමතිවරයා ප්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටින්නේ කරුණාකර රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කර ගැනීමේ පනත සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත නමින් නිර්මාණය වූ පනත් දෙක හකුලා ලෙස ප්‍රශස්ත ප්‍රබුද්ධ ප්‍රජාතන්ත්‍රවාදී පනත් දෙකක් ගෙන එන ලෙස යෝජනා කරන බවත් සංවිධානාත්මක අපරාධ වළක්වාලීම නොව ජන සමාජයෙන් ඒවා ඉවත් කරලීමට අවශ්‍ය පනත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය හකුලන්නේ නැතිව ගෙන එන ලෙසත් ඒ සඳහා විපක්ෂය ද සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අප රටට ජාතික ආරක්ෂක පනතක් අත්‍යාවශ්‍ය වුවත් මේ පනත ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සුරක්ෂා වන ආකාරයට නිර්මාණය විය යුතු බවත් රජයේ සමාජ අවබෝධතාව එකගතාව ක්‍රියාත්මක කිරිමට නොහැකි වීම ඇති වූ නොහැකියාව අකාර්යක්ෂමතාම හා අදක්ෂකම යන අඩුපාඩු සගවා ගන්න මෙවැනි මර්ධනකාරී පනත් ගෙන ඒම වරදක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ක්ලීන් ශ්‍රී ලංකා සහ ප්‍රජා ශක්ති වැඩසටහන්වල ප්‍රගතිය ඉදිරිපත් කරන්න

ප්‍රජා ශක්ති සහ ක්ලීන් ශ්‍රී ලංකා නමින් වැඩසටහන් දෙකක් රජය ක්‍රියාත්මක කරන බවත් ප්‍රජ ශක්ති වැඩසටහන වෙනුවෙන් 2026 වසරේ මිලියන 25000ක් සහ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට මි. 6500ක් වෙන් වූ බවත් 2027 ද ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට මි. 7000ක් වෙන් කර ඇති මුත් මේ වැඩසටහන්වල ‌භෞතික හා මූල්‍ය ප්‍රගතිය ඉදිරිපත් කර නොමැති බවත් අවම වශයෙන් සැප්තැම්බර් 30 දක්වා මේ ප්‍රගතිය පෙන්වන්න රජයට නොහැකි වී ඇති බවත් ගම් හදා නගර හදා රට හදන දුප්පත්කම තුරන් කරන්න ප්‍රජා ශක්ති වැඩසටහන සේම වගවෙන වගකියන පිරිසුදු රටක් නිර්මාණය කරන්න ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ගෙන ආවත් මේවායේ ප්‍රගතියක් නොපෙනෙන බවත් පසුගිය දා කොළඹට බලපෑ ගංවතුර තුළින් සැබැ ප්‍රගතිය පෙනී යන බවත් විපක්ෂ නායකවරයා පැවසිය.

අද පාර්ලිමේන්තුවේ ජනතා ගැටලු ඉදිරිපත් කරන්නත් අයිතියක් නැහැ

විපක්ෂ නායකවරයා ලෙස පාර්ලිමේන්තුවේ රීති ප්‍රශ්නයක් ඉදිරිපත් කරන විට කතානායකවරයා එයට බාධා පැමිණවීම සිදු කළ බවත් මෙය වෙට්ස්මිනිස්ටර් සම්ප්‍රදාය ද කියා ප්‍රශ්න කරන බවත් මීට දින කිහිපයකට පෙර පවා ගෑස් මිල ඉහළ යාම ගැන කතා කරන විට ඊට බලපෑම් එල්ල කළත් විපක්ෂය මේ ගෑස් මිල ඉහළ යාම ගැටලුව ඉදිරිපත් කළ නිසා අවසානයේ මිල අඩු කර ගන්න හැකි වූ බවත් ගෑස් මිල ඉහළ යාම පෞද්ගලික ගැටලුවක් නොව ජනතාව මුහුණ දෙන ගැටලුවක් බවත් ජනතාව මුහුණ දෙන ගැටලු සාකච්ඡා කරන්න අද පාර්ලිමේන්තුවේ නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දේශසීමා ඉක්මවා පැතිරෙන වායු දූෂණය ගැන ඇයි රජයට තවමත් ප්‍රකාශයක් සිදු කරන්න බැරි වුණේ..?

දේශසීමා ඉක්මවා පැතිරෙන වායු දූෂණය ගැන සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් සහ පරිසර අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක් සිදු කරන ලෙස ඉල්ලා සිටි බවත් ස්වසන පද්ධතියට හා හෘද රෝගවලට දරුණු ලෙස බලපෑම් සිදු කරන මේ වායු දූෂණය ගැන රජයේ පැහැදිලි කිරීමක් කරන ලෙස ඉල්ලා සිටි බවත් මේ අවස්ථාවේ පවා රජයේ පැත්තෙන් බාධා කිරීම් සිදු කළ බවත් කතානායකවරයාගේ අභිමතය පරිදි සභානායකවරයාට ඔ්නෑ තරම් කතා කිරීමේ හැකියාව පවතින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දැන් පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අහන්නත් තහනම්

අජිත් පෙරේරා මන්ත්‍රීවරයා විසින් ඉම්රාන් ඛාන් අගමැතිවරයා සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ යෝජනාවක් ගෙන ආ අවස්ථාවේ පක්ෂ නායක රැස්වීමේ දී රටවල් දෙකක සබඳතාවට බලපෑමක් එල්ල විය හැකි නිසා ඒ ගැන කතා කර තීන්දුවක් දෙන ලෙස විපක්ෂ නායකවරයාගෙන් කතානායකවරයා ඉල්ලා සිටි බවත් කතානායකවරයා එවැනි ඉල්ලීමක් කරන්න පෙර අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් අප රට හෝ තවත් රටක් හෝ රටවල් සමූහයක් අතර ප්‍රශ්න ඇති කර බොරු වින්දනයක් ලබන පහත් දේශපාලනයක් ක්‍රියාත්මක නොකරන බවත් මේ යෝජනාව ප්‍රතික්ෂේප කිරීම ගැන අහන්න පවා තහනම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආණ්ඩුවට එක හැන්දකින් සහ විපක්ෂයට තවත් හැන්දකින් කතානායකවරයා බෙදනවා

මේ පක්ෂ නායක රැස්වීමේ දී රජයේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා විසින් ස්ථාවර නියෝග පෙන්වා පාකිස්ථානයේ අධිකරණයේ විභාගවන කරුණක් ගැන කතා කරන්න නොහැකි යැයි කියන බවත් රජයේ මන්ත්‍රීවරු එවැනි දේවල් කියන විට කතානායකවරයා විසින් පිට පිටම පුනපුනාම වැදගත් ප්‍රශ්න කතා කිරීමේ දී කටවල් වහන්න උත්සාහ කරන බවත් ආණ්ඩුවට එක සැලකිල්ලක් සහ විපක්ෂයට තවත් සැලකිල්ලක් දක්වන්නේ කුමන පදනමෙන් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පාර්ලිමේන්තු නිලධාරීන්ගේ ද දීමනා කප්පාදු කරලා

පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවක් රැස්වී 2024 වසර දක්වා මූලික වැටුපට සාපේක්ෂව නිලධාරීන්ට 40%ක් රැස්වීම් දීමනාව ගෙවූ නමුත් 23% දක්වා පහත දමා ඇති බවත් එම නිසා මේ මුදල නැවත ලබා දෙන ලෙස යෝජනා කරන බවත් 30%ක් වූ විශේෂ දීමනාව 16% දක්වා කප්පාදු කර ඇති බවත් විපක්ෂ නායකවරයා අවසාන වශයෙන් පැවසීය.

ලියන ලද්දේ Administratorයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 4
බෙදාගන්න
රජයේ නොහැකියාව, අකාර්යක්ෂමතාම සහ අදක්ෂකම සඟවා ගන්න මර්දනකාරී පනත් එනු එපා | Lanka Newsweek