අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රජය 22 වැනි සංශෝධනයෙන් ප්‍රජාතන්ත්‍රවාදය සමූළ ඝාතනය කරනවා

රජය 22 වැනි සංශෝධනයෙන් ප්‍රජාතන්ත්‍රවාදය සමූළ ඝාතනය කරනවා

- විපක්ෂ නායක චෝදනා කරයි - රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට පැමිණි වත්මන් රජය 22 වැනි සංශෝධනය ගෙනවිත් ප්‍රජාතන්ත්‍රවාදය උඩුයටිකුරු කරමින්…

- විපක්ෂ නායක චෝදනා කරයි - 

රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා  බලයට පැමිණි වත්මන් රජය 22 වැනි සංශෝධනය ගෙනවිත් ප්‍රජාතන්ත්‍රවාදය උඩුයටිකුරු කරමින් යන බවත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර ඇති බලය බෙදීම යාම සංවරණ හා තුලන තිබියදී 22 වැනි සංශෝධනය තුළින් ගරු අධිකරණයට අපහාස කරමින් විනිසුරුවන්ට අපහාස කරමින් යුක්තිය පසිදලීමෙ ක්‍රියාවලිය සමූල ඝාතනය කරමින්, නීතියේ ආධිපත්‍ය කෙලසමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මහාමාන්‍ය ඩී. ඇස්. සේනානායක දේශපාලන විද්‍යා පීඨයේ පැවැති ඩිප්ලෝමා ප්‍රධානෝත්සවයක් අමතමිනි.

පසුගිය ආණ්ඩුව පවා ප්‍රජාතන්ත්‍රවාදය සහ ජන ජීවිත යන දෙකම සංකෝචනය කරමින් රට ස්ථාවර යැයි පැවසූ නමුත් ස්ථාවර වූයේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී සුපිරි කෝටිපතියන්ට අත නොතියා අර්ථසාධක අරමුදලට බලපෑම් කිරීම බවත් වත්මන් රජය පවා තමන්ට ඡන්දය ලබා දුන් කෘෂිකර්මාන්තය කරන ගොවි ජනතාව පවා පාගා දමමින් සෑම වී කිලෝවකින්ම රු. 17ක් පාඩු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දැන්වීම

මේ ගෙවෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ අසාර්ථකම රජයයි

පවුල් පාලනය පරාජය කරමින් යුක්තිය හා විමුක්තිය උදෙසා රට ගොඩනගනවා කියා ඇවිදින පුස්තකාල කියා බලයට පැමිණ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ අසාර්ථකම ප්‍රතිඵල ලැබූ රජයක් පත්ව ඇති බවත් හිටපු ආණ්ඩුවට වඩා වැඩියෙන් මේ රජය ජන ජීවිතය විනාශ කරන බවත් මේ රජය පවා ලුම්පන් ධනවාදය ශක්තිමත් කරන බවත් ආණ්ඩුව වටේ ඉන්නේ සුපිරි ධනවතුන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාවට හොඳ දේශපාලන සාක්ෂරතාවක් තිබිය යුතුයි

අද වන විට අප රටේ ජනතාව සෑම පාලන තන්ත්‍රයක් තුළ ම ඒ පාලනයේ ක්‍රියාකාරීත්වය, පිරිවැය හා ප්‍රතිලාභ ගැන හොඳ විශ්ලේෂණයක් කළ හැකි විය යුතු බවත් අප රටේ නිදහසින් පසු බොහෝ කාලයක් රටේ ගමනේ යම් ප්‍රගතියක් ලැබූ බවත් එය කාටවත් ප්‍රතික්ෂේප කළ නොහැකි බවත් ළමා මරණ, මාතෘ මරණ අනුපාතයේ සිට ආයු කාලය වර්ධනයේ සිට සෑම දර්ශයකින්ම අප රටක් ලෙස ප්‍රගතියක් අත්කර ගෙන ඇති බවත් මේ ප්‍රගතිය ලැබු වේගය ගැන ප්‍රශ්න කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සිංගප්පූරුව අප පසුකර ගිය හැටි ගැන සිතා බලන්න

ලී ක්වාන් යූ අගමැතිවරයා සිංගප්පූරුව සංවර්ධනය කිරීමේ ආකෘතිය වූයේ ශ්‍රී ලංකාව වුවත් එය උඩු යටිකුරු වු බවත් මෑත කාලයේ සිට සිංගප්පූරුව සේ ශ්‍රී ලංකාව දියුණු කළ යුතු යැයි කියන බවත් අප රට අභිබවා සිංගප්පූරුව ඇතුළු බොහෝ රටවල් ඉදිරියට යන විට අප කළ දේ ගැන සිතා බැලිය යුතු බවත් කාලයක් පුරා වැහුණු ආර්ථියක් රටේ තිබු බවත් සමාජවාදය තුළින් කිසිදු රටක ධනයක් උත්පාදනය කළ නොහැකි බවත් චීනය පවා ධනවාදය අනුගමනය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමාජවාදයට ධනය උත්පාදනය කරන්න බැහැ

කිසිසේත්ම අන්ත සමාජවාදී ක්‍රමයට ධනය උත්පාදනය කළ නොහැකි බවත් ධනය උත්පාදනය කළ හැක්කේ ධනවාදය තුළින් බවත් ධනවාදය තුළ සමාජයේ බෙදීම් ඇති කර පොහොසතා උග්‍ර පොහොසතා වී දුප්පතා තවතවත් දුප්පත් වන නිසා මානුෂීය ධනවාදය හා සමාජ වෙළෙදපොළ ආර්ථිකය අවශ්‍ය බවත් ආර්ථිකය ඉල්ලුමට සැපයුමට ඉඩදී කරබාගෙන බලන් නොසිට මානුෂීය ධනවාදය තුළින් ධනය උත්පාදනය කර එම ධනය සාධාරණ ලෙස බෙදී යා යුතු බවත් අප රටට අවශ්‍ය වන්නේද සමාජ සාධාරණත්වය ශක්තිමත් කරන උත්පාදනය කරන ධනය සැමට බෙදී යන සැවොම ඇතුළත් කර ගත් වර්ධනයක් බවත් IMF සහ ලෝක බැංකුව පවා මෙය පිළිගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපි මැද මාවත පිළිපැදිය යුතුයි

දකුණ වම දකුණේ කදවුර වමේ කදවුර ලෙස යැයි කිව්වත් ජේ. ආර් ජයවර්ධන, ආර් ප්‍රේමදාස යන ජනාධිපතිවරු දෙදෙනාම අනුගමනය කළේ මැද මාවත බවත් මේ කොටස් 2ම සාරය ගුණාංග එකට එකතු කර ගත යුතු බවත් ගම් උදාව, මහවැලිය වැනි වැඩසටහන් වාමාංශික ප්‍රතිපත්ති බවත් මේවා දක්ෂිණාංශික ප්‍රතිපත්ති නොවන බවත් මේ වාමාංශික හා දක්ෂිණාංශික ප්‍රතිපත්ති එකට එකතු වූ පසු නිවැරදි මාවතක් කරා යා හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මූලික අයිතිවාසිකම් වෙනස් විය යුතුයි

දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය කතා කළේ බටහිර කේන්ද්‍රීය අයිතිවාසිකම්වල සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් බවත් කවුරුත් ආර්ථීක, සමාජීය, සංස්කෘතික, ආගමික අයිතිවාසිකම් ගැන කතා නොකළ බවත් අධිරාජ්‍යවාදී රටවල් කේන්ද්‍රිත නිර්වචනයක් මූලික අයිතිවාසිකම්වලට දුන් බවත් ඉන් පසු 50, 60 දශකවල අධිරාජ්‍යවාදී රටවලට යටපත් වූ රටවල් නිදහස ලබා මේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්වලට අමතරව ආර්ථීක, සමාජීය, සංස්කෘතික, අධ්‍යාපනික, සෞඛ්‍ය අයිතිවාසිකම් ඇතුළත් විය යුතු බවත් පැවසීය.

අප රටේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි පරිච්ඡේදයේ  පවා ඇත්තේ අධිකරණයෙ අභියෝග කළ හැකි සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් බවත් ඊට අමතරව 6 වැනි පරිච්ඡේදයේ ආර්ථික, සමාජීය අයිතිවාසිකම් රැසක් තිබුණත් ඒවා අධිකරණයේ අභියෝග කළ නොහැකි බවත් මේ ව්‍යවස්ථාවේ වෙනස්කම් ඇති කරන්න නම් මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය වෙනස් කර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්ලවට අමතරව ආර්ථීක, සමාජීය, සංස්කෘතික, අධ්‍යාපනික, සෞඛ්‍ය අයිතිවාසිකම් ඇතුළත් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
රජය 22 වැනි සංශෝධනයෙන් ප්‍රජාතන්ත්‍රවාදය සමූළ ඝාතනය කරනවා | Lanka Newsweek