අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ රජයේ උත්සාහය අගය කෙරේ

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ රජයේ උත්සාහය අගය කෙරේ

-සාධාරණ සමජය කියයි- නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා රජය අවධානය යොමු කිරීම අගය කරන්නේ යෑයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි.. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික…

-සාධාරණ සමජය කියයි- 

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා රජය අවධානය යොමු කිරීම අගය කරන්නේ යෑයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි..

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහා ලේකම් සුනිල් ජයසේකර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා රජයේ අවධානය යොමු වී ඇති බවට ගරු අග්‍රාමාත්‍යවරිය සිදුකර ඇති ප්‍රකාශය පිළිබඳව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අගය කරන්නෙමු. ඒ පිළිබඳව අප වඩාත් සතුටු වන්නේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමටත් එහිදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටත්  පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය රට හමුවේ  තබන ලද ප්‍රතිඥාව කෙරෙහි විශ්වාසය තබමිනි. එකී ප්‍රතිඥාවන්  නොපමාව ඉටු කරනු ඇතැයි සමස්ත සමාජයෙහිම බලාපොරොත්තුව වන අතර අග්‍රාමාත්‍යවරිය සිදු කර ඇති ප්‍රකාශය ඒ සඳහා වන ප්‍රවේශයක් වනු ඇතැයි ද අප අපේක්ෂා කරන්නෙමු.

දැන්වීම

එහි දී අප රජයට යෝජනා කරන්නේ 2015-2019 කාල පරිච්ඡේදයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳව මහජන අදහස් විමසීමේ කමිටුව දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන ආකාරයට ලබාගෙන ඇති මහජන අදහස් හා යෝජනා කෙරෙහි අවධානය යොමුකරන ලෙසට ය. එදා එම කටයුත්තට නායකත්වය දෙනු ලැබූවේ අද ජාතික ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ද මුල් පෙළේ නායකයෙකු ලෙස ද ක්‍රියාකරන නීතිඥ ලාල් විජේනායක මහතා විසිනි. එවැනි ප්‍රවේශයකට යොමුවීම  එක් අතකින් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරගැනීමේ දී ඒ සඳහා ගතවන කාලයද වැය කරන්නට සිදුවන මුදල් ද  අවම කරගැනීමට හේතුවක් වන අතර අනෙක් අතට සමස්ත සමාජයේ මෙන් ම රටේ අනෙකුත් දේශපාලන පක්ෂවල විශ්වාසය හා සහයෝගය ලබාගැනීමට හේතු විය හැකි ය.

ඒ සමඟම සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස අප අවධාරණය කරන ඉතා වැදගත් කරුණක් තිබේ. එනම් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ දී හෝ එයට පූර්වයෙන් ගෙන එන ව්‍යවස්ථා සංශෝධනයක දී හෝ කුමන හෝ ආකාරයකට 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපිත කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, ස්වාධීන කොමිෂන් සභාවන් හෝ පරිපාලන විනිශ්චය සභාව වැනි ආයතන දුර්වල හෝ බෙලහීන කිරීම සඳහා කටයුතු නොකල යුතුව ඇති බවයි.

එහි දී වර්තමාන ජනාධිපතිතුමා ඇතුළු එතුමා අද නායකත්වය ලබාදෙන ජනතා විමුක්ති පෙරමුණ 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරගැනීම සඳහා කරන ලද කැපවීම හා දරන ලද ස්ථාවරය ගෞරවයෙන් සිහිපත් කරන අප එකී 17 වැනි සංශෝධනය බලාත්මක කරවා ගැනීමෙන් අපේක්ෂා කරන ලද යහපත් දේශපාලන සංස්කෘතියක් සඳහා වන ප්‍රවේශය ඉදිරි ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ දී කුමන ආකාරයකින් හෝ අවහිර නොකරනු ඇතැයි අපේක්ෂා කරන්නෙමු.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ රජයේ උත්සාහය අගය කෙරේ | Lanka Newsweek