දේශගුණික - කාලගුණික විපර්යාස සාර්ථකව කළමනාකරණය කරන්න පරිසර සංරක්ෂණය සහ තිරසර සංවර්ධනය යන විෂය මුල් ළමා වියේ සිටම ඉගැන් විය යුතුයි
- විපක්ෂ නායක -

(සංජනා ද සිල්වා)
දැන්වීම
දේශගුණික කාලගුණික විපර්යාස පිළිබඳ සාක්ෂරතාව යුගයේ අවශ්‍යතාවක් බැවින් අධ්‍යාපන ක්‍රමය තුළින් එනම් 1 වසරේ සිට හෝ මුල් ළමා විය අධ්‍යාපනයේ සිටම දරු පරපුරට ඉගැන්විය යුතු බවත් හරිත කේන්ද්‍රීය ආර්ථිකයේ ඇති වටිනාකම පැහැදිලි කර දී තිරසර රටක් ලබා දීම සියලු දෙනාගේම වගකීම බවත් මේ තුළින් පුරවැසියාගේ ද දේශගුණික හා කාලගුණික විපර්යාස සේම පරිසරය සම්බන්ධ සාක්ෂරතාව වර්ධනය කළ හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මහචාර්ය එල්. එම්. අබේවික්‍රම මහතාගේ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සම සභාපතීත්වයෙන් යුත් දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය අමතමිනි.
එල්නීනෝ ලානීනා ඇති වීමේ සම්භාවිතාව සම්බන්ධයෙන් විද්‍යාත්මක අවබෝධය ආයතනික පෙර සුදානම සහ මේ අභියෝගය අප රටේ පරිසරයට සිදුවන බලපෑම පුරෝකථනය කර එම බලපෑම අවම කර ගැනීමට කටයුතු කළ යුතු බවත් මේ විශේෂිත දේශගුණික සංසිද්ධීන්ට වර්ෂාපතනයෙන් සේම උශ්නත්ව රටාවට සිදුවන වෙනස මිනිසාට පරිසරයට වෘක්ෂලතාවට ජෛව විවිධත්වයට සහ සතා සිව්පාවාට එල්ල වන බලපෑම ගැන විද්‍යාත්මක පුරෝකථනයක් කිරීම අතිශය වැදගත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ආපදාවලට මුහුණ දෙන්න මුළු රටම සූදානම් කළ යුතුයි
ජල සම්පත, කෘෂිකර්මාන්තය, ආහාර සුරක්ෂිතභාවය, පරිසරය, වන ජීවීන් හා වෘක්ෂලතා සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කළ යුතු බවත් එල්නීනෝ ලානීනා තත්ත්වය පැමිණෙයි ද නැද්ද කියා අවිනිශ්චිතතාවක් ඇති බවත් මේ අවිනිශ්චිතතාවක් පැවැතීම නිසා ආයතනික පූර්ව සූදානමක් අවශ්‍ය නොවන බව පැවසිය නොහැකි බවත් කුමන දේ සිදු වුවත් එයට නිසි ප්‍රතිචාර දැක්වීමේ ක්‍රමවේදයකට යා යුතු බවත් ඒ සඳහා මුළු රටම සූදානම් කළ යුතු බවත් ආපදා සිදුවූ පසු ප්‍රතිචාර දක්වනවා වෙනුවට එයට පූර්වයේ සිටම ප්‍රතිචාර දැක්වීමට සූදානම් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පරිසර විෂය සම්බන්ධ සාක්ෂරතාව ජනතාවට ලබා දිය යුතුයි
ලබන ඔක්තෝබර් 13 වැනිදා ජාත්‍යන්තර ආපදා අවදානම් අවම කිරීමේ දිනය යෙදී ඇති බවත් ආපදාවකට මුහුණ දීමේ හැකියාව ආරම්භ කල යුත්තේ නිවසින් බවත් මෙය රජයකට පමණක් ක්‍රියාත්මක කළ යුතු දෙයක් නොව රාජ්‍ය, රාජ්‍ය නොවන, පුරවැසියන් ඇතුළු සියලු දෙනාම මැදිහත් විය යුතු දෙයක් බවත් පරිසර විෂය පිළිබඳ සාක්ෂරතාව පුරවැසියාට ලබා දිය යුතු බවත් එය පාසල් සමයේ සිටම ආරම්භ කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
පරිසර සාක්ෂරතාව එකතු කර විෂය නිර්දේශ වෙනස් කළ යුතුයි
පරිසර සංරක්ෂණය සහ තිරසර සංවර්ධනය යන විෂය 1-13 අනිවාර්ය විෂයක් බවට පත්විය යුතු බවට අගමැතිනිය යෝජනා කළ බවත් මේ සම්බන්ධ සාක්ෂරතාව කුඩා දරුවන්ට පවා ලැබිය යුතු බවත් දැනටමත් ප්‍රමාද වැඩි වුවත් දැන් හෝ ආරම්භ කළ යුතු බවත් මේ නිසා විෂය නිර්දේශය ද වෙනස් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.
ආපදාවලින් රට ආරක්ෂා කර ගන්නා ගමනකට පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව සහයෝගය දැක්විය යුතුයි
පවතින ආපදා කළමනාකරණ ව්‍යුහය නීතිරීති වැඩපිළිවෙළ නිර්මානය වන ආපදා සංසිද්ධීන්ට ප්‍රමාණවත් නොවන නිසා අංගසම්පූර්ණ යාන්ත්‍රණයක් සකස් කල යුතු බවත් ඒ සඳහා මේ සංසදයේද පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව දායකත්වය ලබා දිය යුතු බවත් සෑම ආපදාවකදීම අලුත් පාඩම් ඉගෙන ගෙන සෑම අවස්ථාවකම යාවත්කාලින වන යාන්ත්‍රණයක් සකස් කළ යුතු බවත් අවසානයේ රට ආරක්ෂා කරන ගමනක් කරා සියලු දෙනාම එකට එක්ව ගමන් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ භූවිද්‍යා අධ්‍යයනාංශ ප්‍රධානී මහාචාර්ය නිෂාන් සකලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් එම අධ්‍යයනාංශය නියෝජනය කරමින් ආචාර්ය සසීකා විජේසේකර මහත්මිය, ආචාර්ය ඩබ්ලිව්. වී. ඩබ්ලිව්. ජී. වනිගනෙත්ති මහතා සහ කථිකාචාර්ය පසිඳු ජයතිලක මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයෝ පිරිසක් එක්ව සිටියහ. ඊට අමතරව, එම අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන්, කථිකාචාර්යවරුන් සහ සහකාර කථිකාචාර්යවරුන් පිරිසක් ද කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේ මහාචාර්ය රත්නසිරි ප්‍රේමතිලක මහතා ද එක්විය.
එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතන කිහිපයක් නියෝජනය කරමින් නිලධාරීහු රැසක් ද සහභාගි විය. ඒ අතර එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDO) නියෝජනය කරමින් country programme advisor එච්. සී. එන්. සිරිවර්ධන මහතා ද, එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහන (UN-Habitat) නියෝජනය කරමින් Country Programme manager හර්ෂිනී හලංගොඩ මහත්මිය ද සහභාගි විය. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) නියෝජනය කරමින් සුරේකා දිල්රුක්ෂි මහත්මිය ද, ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය (IOM) නියෝජනය කරමින් සංක්‍රමණය, පරිසරය සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව සම්බන්ධයෙන් කටයුතු කරන ශිරන්ත ගමගේ මහතා ද, ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) නියෝජනය කරමින් අනූප් කුමාර් සත්පති මහතා මේ සඳහා එක්විය.