අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

ජාතික වශයෙන් සැවොම එකග වන බල ශක්ති - විදුලි ප්‍රතිපත්තියක් රටට අවශ්‍යයි

- විපක්ෂ නායක පෙන්වා දෙයි -

සජිත් ප්‍රේමදාස

ජාතික වශයෙන් සැවොම එකග වන බලශක්ති හා විදුලි ප්‍රතිපත්තියක් රටට අත්‍යාවශ්‍ය බවත් 2024 සංගණනය⁣ට අනුව 77 ලක්ෂයක් විදුලි පාරිභෝගිකයන් හා 61 ලක්ෂයක් විදුලිය භාවිත කරන පවුල් සිටින බවත් සමස්ත විදුලි අවශ්‍යතාවෙන් 13%ක් සපයන ඩීසල් දැවිතෙල් හා නැප්තා ජනනය සදහා සමස්ත ජනන වියදමින් 38%ක් වෙන් කරන නිසා අධික පිරිවැයක් සහිත විදුලි ජනනය අවම කර අඩු පිරිවැයකින් අඛණ්ඩ විදුලිසැපයුම සහතික කරන ක්‍රමයක් ඇති කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

දැන්වීම

විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන උපදේශනය (2026 සිව්වන කාර්තුව) අමතමිනි.

වහල මත සූර්ය විදුලි නිෂ්පාදනය තුළ විදුලිය නිපදවන අයට සේම පාරිභෝගිකයන්ට සාධාරණ මිලක් ලබා දී සුනිත්‍ය බලශක්තිය මොට කරනවා වෙනුවට ප්‍රවර්ධනය කිරීම ජාතික වගකීමක් හා යුතුකමක් බවත් ගාස්තු ක්‍රමවේදය විනිවිදභාවයෙන් යුක්තව ක්‍රියාත්මක කිරීම අතිශය වැදගත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මිල ගණන් සෑදීම ගැන ජනතාවට කරුණු ඉදිරිපත් කළ යුතුයි

ගාස්තු ගණනය සදහා භාවිත කරන ඩීසල් හා ගල් අගුරු මිල ගණන් සැබැ මිලදී ගැනිමේ මිල සමග සසදා පාරිභෝගිකයන් දැනුවත් කිරීම වැදගත් බවත් ඇස්තමේන්තුගත මිල හා සැබැ මිල අතර වෙනසක් ඇති වුවහොත් එහි වාසි අවාසි පාරිභෝගිකයන්ට හා රටට බලපාන ආකාරය සංඛ්‍යාත්මකව ඉදිරිපත් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

බලාගාරවල සැබෑ කාර්යක්ෂමතාව මත පදනම්ව ගෙවීම් කළ යුතුයි

ඉන්ධන මිල වෙනස් වීම මත පදනම්ව පාරිභෝගිකයන්ගෙන් අයකරන මුදල් නිසි ලෙස ගණනය කළ යුතු බවත් විදුලිය නිෂ්පාදනය නොකරන හෝ නිෂ්පාදනය කිරීමට අපේක්ෂා නොකරන බලාගාර සදහා ධාරිතා ගාස්තු සිදුවන්නේ ඇයි සහ සොබාදනවි බලාගාරය නොවැම්බර් මස විදුලිය නිපදවන්නේ නැති වුවත් රු. බි. 1.3ක ධාරිතා ගාස්තුවක් ඇතුළත් කිරීමේ පදනම දැන ගන්න අවශ්‍ය බවත් බලාගාරවල සැබෑ කාර්යසාධනය සහ විදුලි පද්ධතියට ලබා දුන් දායකත්වය අනුව මේ ගෙවීම් සාධාරණීකරණය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බැටරි පද්ධතියේ වාසිය ජනතාවට සංඛ්‍යාත්මකව ඉදිරිපත් කළ යුතු යි

බැටරි බලශක්ති ගබඩා පද්ධති ක්සේත්‍රයේ මෙගවොට් 160ක පද්ධතිය සදහා යෝජිත මිලියන 703ක වියදම ගැන සම්පුර්ණ තොරතුරු මහජනතාව දැනුවත් කළ යුතු බවත් බැටරිවලින් කොපමණ කාලයක් විදුලිය සැපයිය හැකිද හා ගබඩා ධාරිතාව ද පැහැදිලි කළ යුතු බවත් මේ නිසා ලැබෙන ආර්ථික ප්‍රතිලාභ හා ජනතාවට ලැබෙන වාසිය සංඛ්‍යාත්මකව ඉදිරිපත් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බාල ගල් අගුරු පාඩුව ජනතාව කරපිට පැටවීම නොකළ යුතුයි

ගල් අගුරු භාවිතය ගැන කතා කරන විට ප්‍රමිතියෙන් තොර ගල් අගුරු භාවිතය නිසා ඇති වු අමතර වියදම NSO ආයතනය රු.බි. 2.856ක්ද PUSCL එක රු.බි. 4.380ක් ලෙස ගණනය කර ඇති නිසා මේ වෙනසට හේතුව පෙන්වා දිය යුතු බවත් මේ අමතර වියදම් සදහා වගකිවයුතු පාර්ශ්ව හදුනා ගෙන අදාළ මුදල් පාරිභෝගිකයන් මත පටවනවා වෙනුවට වගකිවයුතු සියලු දෙනාගෙන් අදාළ පාඩුව අය කර ගත යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

ගල් අගුරු මිලදි ගැනිමේදී තත්ත්ව පරීක්ෂණ වඩාත් විධිමත්ව සිදුවිය යුතු බවත් සාමාන්‍යයෙන් විදුලි මිල ගණනය කිරීමේ දී ඒ අනුගමනය කරන සූත්‍රය කොතෙක් දුරට පසුගිය කාලයේ නිර්මාණය වු සමාජ ගිවිසුම සමග සසදන කොට කොතෙක් දුරට ගැලපේද කියා හෙළිදරව් කළ යුතු බවත් ජනතාව 33%කින් විදුලි බිල අඩුවන තුරු අපේක්ෂාවෙන් සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

පොහොසතුන්ට වඩා දුප්පත් ජනතාව ගැන අවධානය යොමු කරන්න

රටේ අඩු ආදායම්ලාභී දරිද්‍රතාවයට පත් ජනතාව සිටින බවත් දරිද්‍රතාවය 30-40%ක් අතර ප්‍රමාණයට වර්ධනය වී ඇති නිසා මිල ගණනය කිරීමේ දී මේ ජනතාව ගැන අවධානය යොමු කළ යුතු බවත් බිලියනපතියන්ට ත්‍රිලියනපතියන්ට තාප බලාගාර මාෆියාකරුවන්ට මේවා වැදගත් නොවුවත් ජනතාවට වැදගත් බවත් පුනර්ජනනීය බලශක්තිය මොට කරනවා වෙනුවට ප්‍රවර්ධනය කළ යුතු බවත් පක්ෂ විපක්ෂ දේශපාලනයෙන් තොරව මෙය සිදු කළ යුුතු බවත් පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධන කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වගකීම් විරහිත තීරණවල වියදම ඒ තීරණ ගත් අයගෙන්ම අය කරන්න

වගකීම් විරහිත තීරනවල වියදම ජනතාවගෙන් අය නොකර එම තීරණවලට හවුල් වු අයගෙන් වන්දි ගත යුතු බවත් විදුලි ගාස්තු ගණනයට ඇතුළත් කරන සෑම වියදමක් ගැන මහජනතාවට පරීක්ෂා කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් අඩු ආදායම් ලාභී පාරිභෝගිකයන් ආරක්ෂා කර පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධන කරන්න කැපවිය යුතු බවත් ඉන්ධන හා තාප බලාගාර මාෆියාව යටපත් කර පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධන කිරීමට කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ලියන ලද්දේ Administratorකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
ජාතික වශයෙන් සැවොම එකග වන බල ශක්ති - විදුලි ප්‍රතිපත්තියක් රටට අවශ්‍යයි | Lanka Newsweek