ජනපති ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා

නීතීඥ සංගමයේ සභාපති චෝදනා කරයි (සුජිත් මංගල ද සිල්වා) ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ ඇති විනිසුරු පුරප්පාඩු පිරවීමට පියවර නොගැනීම මගින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටේ ආණ්ඩුක්‍රම…
නීතීඥ සංගමයේ සභාපති චෝදනා කරයි
(සුජිත් මංගල ද සිල්වා)
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ ඇති විනිසුරු පුරප්පාඩු පිරවීමට පියවර නොගැනීම මගින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇතැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා අවධාරණය කර සිටියි.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා මේ බව අවධාරණය කර සිටියේ, දෙරණ "360" වැඩ සටහනට එක්වෙමින් වන අතර එහිදී ඔහු වැඩි දුරටත් කියා සිටියේ, අධිකරණ පද්ධතියේ ඉහළම තනතුරුවල පවතින පුරප්පාඩු පිරවීමට කටයුතු නොකර විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජය උත්සාහ කිරීම දූෂිත ක්‍රියාවක් බවය.
මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පුරප්පාඩු හතරක් සහ අභියාචනාධිකරණ විනිසුරු පුරප්පාඩු හතරක් වශයෙන් සමස්ත විනිසුරු පුරප්පාඩු අටක් පවතින බව පෙන්වා දුන් රජීව් අමරසූරිය මහතා සාමාන්‍යයෙන් මෙවැනි පුරප්පාඩුවක් ඇති වූ සැනින් එම පුරප්පාඩු පිරවීම සම්ප්‍රදාය වුවද, වසරකට ආසන්න කාලයක් තිස්සේ මෙම තනතුරු සඳහා පත් කිරීම් සිදු නොකිරීම බරපතළ ගැටලුවක් බවය.
දැන්වීම
මෙම පුරප්පාඩු පිරවීම ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථානුකූල වගකීමක් වන නමුත් එම වගකීම පැහැර හැර ඒ වෙනුවට විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට පනත් ගෙන ඒම අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල කරන බලපෑමක් වන බව ඔහු පැවසීය.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් 2026 මාර්තු මාසයේදී අධිකරණ අමාත්‍යවරයාටත්, මැයි මාසයේදී ජනාධිපතිවරයාටත් නීතීඥ සංගමය ලිඛිතව කරුණු ඉදිරිපත් කළ නමුත් ඒ සඳහා මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ද ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා මෙහිදී හෙළි කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරු මඩුල්ලේ පුරප්පාඩු නොපිරවීම හේතුවෙන් නඩු විභාග ප්‍රමාද වීම සහ අධිකරණ ක්‍රියාවලිය මන්දගාමී වීම හරහා අවසානයේ මහ ජනතාව දැඩි අසීරුතාවකට පත්වන බව ද රජීවු අමරසූරිය මහතා වැඩි දුරටත් පැවසීය.