අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් නව ඉන්ධන පිරවුම්හල් 75ක්

වෛද්‍ය නලින්ද ජයතිස්ස

(සංජනා ද සිල්වා)

දැන්වීම

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන බෙදාහැරීමේ ජාලය ආවරණය නොකරන ප්‍රදේශ හඳුනාගෙන එම ප්‍රදේශවල නව ඉන්ධන පිරවුම්හල් 75ක් ඉදිකිරීමට ඉදිරියේදී කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අඟහරුවාදා (13) වන දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

ඉන්ධන බෙදාහැරීමේ සමස්ත වෙළෙඳපොළ සැලකිල්ලට ගැනීමේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බෙදාහැරීමේ ජාලය ක්‍රියාත්මක නොවන ප්‍රදේශ 75ක් පමණ හඳුනාගෙන ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ලෝක වෙළෙඳපොළේ පිරිපහදු කළ ඉන්ධන මිල ඉහළ යන අවස්ථාවලදී මෙරටට ඉන්ධන ආනයනය කරන ඇතැම් සමාගම් සාමාන්‍යයෙන් වෙළෙඳපොළට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය අඩු කරන බවත්, පසුගිය සති කිහිපයේදී ද එම තත්ත්වය නිරීක්ෂණය වූ බවත් හෙතෙම පැවසීය.

කෙසේ වෙතත්, රටට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය රජය විසින් ආනයනය කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඒ අනුව ඉන්ධන වෙළෙඳපොළ තුළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු වෙළෙඳපොළ කොටස සියයට 80ක් දක්වා වර්ධනය වී ඇති බව සඳහන් කළේය.

එම ඉන්ධන තොග සංස්ථාවේ පිරවුම්හල් හරහා බෙදාහැරීමට කටයුතු කරන අතර, බෙදාහැරීමේ ජාලය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල අවශ්‍යතාව සපුරාලීම සඳහා නව පිරවුම්හල් 75ක් විවෘත කිරීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

එසේම, ලෝක වෙළෙඳපොළේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජනතාවට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය බෙදාහැරීමට පෞද්ගලික සමාගම් කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද හෙතෙම සඳහන් කළේය.

තවද, පෞද්ගලික සමාගම්වලට අවශ්‍ය පරිදි ඉන්ධන මිල වෙනස් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

ලියන ලද්දේ Administratorකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් නව ඉන්ධන පිරවුම්හල් 75ක් | Lanka Newsweek