අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කළුතර - නාගොඩ රෝහලෙන් දුටු රාජිත සේනාරත්නගේ සෞඛ්‍ය උරුමය

දත්තවලින් දුටු “දොස්තර හොඳ හිත” මගේ දෙනෙතින් දුටු දවස රෝහල් හෝටල් කළ සෞඛ්‍ය ඇමති

දොස්තර රාජිත සේනාරත්න

(සුජිත් මංගල ද සිල්වා)

රජයේ රෝහලකට ඇතුළත් වීම මගේ ප්‍රියතම අත්දැකීමක් නොවේ. නමුත් ආර්ථිකය ඊට ඉඩ දුන්නේ නැත. රෝහලක් කියන්නේ රෝගියෙකුට ජීවිතයේ දුෂ්කරම මොහොතක නතර වීමට සිදු වන තැනකි. ඒ මොහොතේ ඔහුට අවශ්‍ය වන්නේ ප්‍රතිකාර පමණක් නොවේ. පිරිසිදු පරිසරයක්, පිළිවෙළක්, ආරක්ෂාවක්, මනුෂ්‍යත්වයක් සහ තමාට ගෞරවයෙන් සලකන පද්ධතියකි.

ඒ නිසාම රජයේ රෝහල් පිළිබඳ මට තිබුණේ එතරම් සුබවාදී අදහසක් නොවේ. නමුත් ගෙවුණු සතියේ හදිසි අසනීපයක් හේතුවෙන් අසරණ වූ මට කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ නතර වීමට සිදුවූ විට, මගේ දෘෂ්ටිකෝණයේ යම් වෙනසක් සිදු විය.

දැන්වීම

රෝහලක බිත්ති, වාට්ටු, ප්‍රතිකාර ඒකක, පහසුකම් සහ පද්ධතියක් හදිසියේම නිර්මාණය වන්නේ නැත. ඒවා පිටුපස වසර ගණනාවක රාජ්‍ය ආයෝජන, ප්‍රතිපත්ති, ව්‍යාපෘති, නිලධාරීන්ගේ කාර්යය, වෛද්‍යවරුන්ගේ සහ හෙද කාර්ය මණ්ඩලයේ සේවය වගේම දේශපාලන තීරණ තිබේ.

කළුතර නාගොඩ රෝහලේ නතර වූ මට ඒ කතාවේ එක් වැදගත් නමක් නැවත මතක් විය. ඒ වෛද්‍ය රාජිත සේනාරත්නය. දත්තවලින් මම දුටු රාජිත සේනාරත්න මගේ දෙනෙතින් දුටුවේ එදාය. 2025 සැප්තැම්බර් 10 වැනිදා "lankanewsweek" හි මම පළ කළ ලිපියට මා තැබූ ශීර්ෂය වූයේ: “ රටක් සුව කළ දොස්තර හොඳ හිත – රාජිත සේනාරත්න ” යන්නය.

එදා එම ලිපිය සකස් කරන විට මගේ අවධානය යොමුව තිබුණේ සංඛ්‍යා ලේඛන, සෞඛ්‍ය ප්‍රතිපත්ති සහ ඔහුගේ අමාත්‍ය ධුර කාලයේ ක්‍රියාත්මක වූ වැඩසටහන් වෙතය. "lankanewsweek" හි එම ලිපිය ඔහුගේ සෞඛ්‍ය සේවා භූමිකාව පිළිබඳ දත්තමය කරුණු මත ගොඩනගා තිබුණි.

නමුත් මේ වතාවේ තත්ත්වය ඊට පරස්පර විය. මේ වතාවේ මා ඒ කිසිවක් කියවූයේ නැත. සිහිපත් කළේ ද නැත. නමුත් මම ඒවා අතර ජීවත් වුණෙමි. රෝගියෙකු ලෙස කළුතර නාගොඩ රෝහලේ ඇඳක සිටින විට, රෝහල් සංවර්ධනය පිළිබඳ කැබිනට් පත්‍රිකාවක ඇති සංඛ්‍යාවක් තවදුරටත් සංඛ්‍යාවක් නොවේ.

එහි තිබුණේ රෝගියෙකුට ලැබෙන වාට්ටුවකි. ප්‍රතිකාර කිරීමට ඇති ඉඩකඩකි. උපකරණ ගොන්නකි. පරීක්ෂණ ගණනාවකි. මේ සියල්ල රෝගියෙකුගේ ජීවිතය පහසු කරන පහසුකමකි.

කළුතර නාගොඩ රෝහල ගැන කැබිනට් ලේඛන කියන කතාව

රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේ කළුතර මහ රෝහල සංවර්ධනය සම්බන්ධයෙන් නිල කැබිනට් තීරණ කිහිපයක් තිබේ. 2015 ජූලි මාසයේදී කළුතර මහ රෝහල විශේෂිත මාතෘ සහ ළමා සෞඛ්‍ය රෝහලක් ලෙස සංවර්ධනය කිරීම සඳහා නෙදර්ලන්ත ආධාර යටතේ යුරෝ මිලියන 28.78කට වැඩි වටිනාකමක ව්‍යාපෘතියක් අනුමත කර තිබුණි. එම රෝහල මතුගම, අගලවත්ත, දොඩන්ගොඩ, ඉංගිරිය, බුලත්සිංහල, හොරණ, බේරුවල සහ බලපිටිය වැනි ප්‍රදේශවල ජනතාවටද සේවා සපයන බව කැබිනට් ලේඛනය සඳහන් කරයි.

එම වසරේම රෝහලේ Clinic Building පුළුල් කිරීම සඳහාද ව්‍යාපෘතියක් අනුමත කර තිබුණි. දිනපතා විශාල රෝගීන් පිරිසක් පැමිණෙන රෝහලේ ප්‍රමාණවත් ඉඩකඩ නොමැතිවීම ප්‍රතිකාර සේවා සැපයීමට බාධාවක් බව එම කැබිනට් තීරණයේ සඳහන් වේ.

ඊළඟට 2016 ඔක්තෝබර් මාසයේදී කළුතර දිස්ත්‍රික් මහ රෝහල සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 4,121ක ඇස්තමේන්තුගත වියදමකින් වෛද්‍ය වාට්ටු සංකීර්ණයක්, පරිපාලන ගොඩනැගිල්ලක්, කාර්ය මණ්ඩල නිවාස සහ ඖෂධ ගබඩාවක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබුණි.

2017දී අක්ෂි ශල්‍යාගාර සහ වාට්ටු සංවර්ධනය කිරීමේ දෙවන අදියරටද අනුමැතිය ලැබුණි. එම වසරේම කළුතර රෝහලේ හදිසි සහ අනතුරු ප්‍රතිකාර ඒකකයේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහාද කැබිනට් අනුමැතිය ලැබුණි. එහි තුන්වන සහ සිව්වන මහල් ඉදිකිරීම එම අදියරට ඇතුළත් විය.

ඊටත් වඩා විශාල පියවරක් 2019දී ගනු ලැබීය. කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ වසර 50කට ආසන්න පැරණි ගොඩනැගිලි බොහොමයක් පුනරුත්ථාපනය කිරීම සඳහා රුපියල් මිලියන 6,221ක ආයෝජනයක් යටතේ Common Amenities Building, Out-Patient Department, Diagnostic facilities, Laundry, Surgical Wards සහ කාර්ය මණ්ඩල නිවාස ඇතුළු සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණි.

මේවා මතකයෙන් ගොතන ලද දේශපාලන කතා නොවේ. කැබිනට් ලේඛනවල සටහන් වී ඇති රාජ්‍ය තීරණය. රාජිත සේනාරත්නගේ සෞඛ්‍ය වැඩසටහන කළුතර නාගොඩට පමණක් සීමා වූයේ නැත කළුතර නාගොඩ රෝහල එක් උදාහරණයක් පමණි.

2015–2019 කාලය තුළ රාජිත සේනාරත්නගේ අමාත්‍යාංශය යටතේ රෝහල් පද්ධතියේ යටිතල පහසුකම්, හදිසි ප්‍රතිකාර, රෝග විනිශ්චය, ඖෂධ සැපයුම සහ රෝගීන්ගේ වියදම් අඩු කිරීම සම්බන්ධයෙන් වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කර තිබුණි.

2015දී රටේ තෝරාගත් රෝහල් 28ක හදිසි ප්‍රතිකාර සේවා සංවර්ධනය සඳහා වසර හයක වැඩසටහනක් යටතේ රුපියල් මිලියන 9,525ක ප්‍රතිපාදන ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබුණි. 2017දී රෝහල් 20කට PACS/RIS වැනි ඩිජිටල් රේඩියොලොජි තොරතුරු පද්ධති හඳුන්වාදීමටත්, රෝහල් 134ක සහ ප්‍රාදේශීය වෛද්‍ය සැපයුම් අංශ 26ක ගබඩා පහසුකම් වැඩිදියුණු කිරීමටත් ව්‍යාපෘති අනුමත විය. එහි අරමුණ වූයේ රෝගී වාර්තා, රේඩියොලොජි තොරතුරු සහ වෛද්‍ය සැපයුම් කළමනාකරණය නවීන පද්ධතිවලට ගෙන ඒමයි.

නොමිලේ සෞඛ්‍ය සේවය කියන වචනයට තවත් අර්ථයක්

රාජිත සේනාරත්නගේ සෞඛ්‍ය ප්‍රතිපත්තියේ තවත් වැදගත් කොටසක් වූයේ රජයේ රෝහලකට පැමිණෙන රෝගියාගේ පෞද්ගලික වියදම අඩු කිරීම ය. ඔහුගේ 2019 ලෝක සෞඛ්‍ය සමුළුවේ ප්‍රකාශයට අනුව, රජයේ රෝහල්වලදී intra-ocular lenses, cardiac stents, cochlear implants, prostheses, cancer drugs සහ bone marrow සහ organ transplant වැනි ප්‍රතිකාර නොමිලේ ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබුණි. එමෙන්ම බහුලව භාවිත වන ඖෂධ 48ක උපරිම සිල්ලර මිල නියාමනය කර තිබූ අතර, රෝහල් රසායනාගාර පහසුකම්ද වැඩිදියුණු කර තිබුණි.

2019දී coronary stents සහ drug-eluting coronary stents මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 446.39ක ප්‍රසම්පාදනයක්ද අනුමත විය. 2017 පාර්ලිමේන්තු වාර්තාවක රාජිත සේනාරත්න සඳහන් කර තිබුණේ රටට වසරකට stents 8,000ක් පමණ අවශ්‍ය වන බවත්, ඒ සඳහා වාර්ෂික වියදම රුපියල් මිලියන 640ක් පමණ වන බවත්ය.

මෙහි දේශපාලන ප්‍රචාරණයට වඩා වැදගත් ප්‍රශ්නය වන්නේ වෙන එකකි. රෝගියාගේ සාක්කුවට කොපමණ බරක් අඩු කළාද..? රෝහල කියන්නේ ගොඩනැගිල්ලක් පමණක් නොවේ රාජිත සේනාරත්නගේ සෞඛ්‍ය කාලය පිළිබඳ සාකච්ඡාවේදී තවත් කරුණක් අමතක කළ නොහැක.

සෞඛ්‍ය පද්ධතිය යනු ගොඩනැගිලි කිහිපයක් ඉදිකිරීම පමණක් නොවේ. ඖෂධ මිල, රෝග විනිශ්චය, හදිසි ප්‍රතිකාර, NCD පාලනය, රෝහල් උපකරණ, වෛද්‍ය සැපයුම්, දුම්කොළ පාලනය සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවයද එහි කොටස්ය. 2015දී National Medicines Regulatory Authority (NMRA) ස්ථාපිත කිරීම ඖෂධ හා වෛද්‍ය උපකරණ නියාමනය ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස WHO දත්තවල සඳහන් වේ.

එම කාලයේ දුම්වැටි පැකට් මත රූපමය සෞඛ්‍ය අනතුරු ඇඟවීම් 80%ක් දක්වා ගෙන ඒම සහ දුම්කොළ බදු ඉහළ දැමීමද ඔහුගේ සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සම්බන්ධ ප්‍රධාන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග විය. ඒ සඳහා WHO වෙතින් World No Tobacco Day Award ද හිමි විය.

නමුත් සියල්ල රාජිත සේනාරත්නගේ පෞද්ගලික නිර්මාණයක් යැයි කීම නිවැරදිද..? මෙහිදී මාධ්‍යවේදියෙකු ලෙස එක් සීමාවක් අප විසින් තබාගත යුතුය. රජයක අමාත්‍යවරයෙකු යටතේ සිදුවන සෑම ව්‍යාපෘතියක්ම එම අමාත්‍යවරයාගේ පෞද්ගලික නිර්මාණයක් ලෙස හැඳින්වීම ඉතිහාසයට සාධාරණ නොවේ.

සෞඛ්‍ය සේවාව දශක ගණනාවක් පුරා ගොඩනැගුණු පද්ධතියකි. එහි පදනම වන්නේ රාජ්‍ය සේවකයන්, වෛද්‍යවරුන්, හෙදියන්, තාක්ෂණික නිලධාරීන්, පරිපාලන නිලධාරීන්, පෙර සිටි සෞඛ්‍ය ඇමතිවරුන්, රජයන් සහ ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ දායකත්වයයි.

එබැවින් රාජිත සේනාරත්න සම්බන්ධයෙන් වඩාත් නිවැරදිව කිව හැක්කේ මෙසේය. එනම්, ඔහුගේ අමාත්‍ය ධුර කාලය තුළ රෝහල් යටිතල පහසුකම්, හදිසි ප්‍රතිකාර, ඖෂධ ප්‍රවේශය, රෝග විනිශ්චය සහ රෝගීන්ගේ වියදම් අඩු කිරීම සම්බන්ධයෙන් සැලකිය යුතු ව්‍යාපෘති සහ ප්‍රතිපත්ති ගණනාවක් ක්‍රියාත්මක විය.

මගේ කළුතර නාගොඩ රෝහලේ අත්දැකීම

මේ සියල්ල මම මීට පෙර දැන සිටියේ ලේඛනවලිනි. නමුත් රෝගියෙකු ලෙස රෝහලක ඇඳක සිටින විට සංඛ්‍යා ලේඛන වෙනස් අර්ථයක් ගනී. රුපියල් මිලියන 4,121ක් කියන්නේ එවිට අයවැය සංඛ්‍යාවක් පමණක් නොවේ. ඒ පිරිවැය වාට්ටුවක් බවට පත්වේ.

රුපියල් මිලියන 6,221ක් කියන්නේ කැබිනට් පත්‍රිකාවක අංකයක් පමණක් නොවේ. එම මුදල රෝගියෙකුට භාවිතා කළ හැකි පහසුකමක් බවට පත්වේ. Diagnostic building එකක් කියන්නේ ගොඩනැගිල්ලක් පමණක් නොවේ. රෝගය හඳුනාගැනීමට ගතවන කාලයයි.

Emergency Unit එකක් කියන්නේ තවත් මහලක් නොවේ. හදිසි මොහොතක ජීවිතයකට ලැබෙන අවස්ථාවකි. එදා නාගොඩ රෝහලේ සිටියදී මට තේරුණේ මේ වෙනසයි. සෞඛ්‍ය සංවර්ධනය කියන්නේ Excel sheet එකක තිබෙන සංඛ්‍යා නොවේ. එම සංඛ්‍යා රෝගියෙකුගේ ජීවිතයට පරිවර්තනය වන මොහොතයි සැබෑ සංවර්ධනය.

“දොස්තර හොඳ හිත” යළි කියවීම

ඒ නිසා 2025දී මම ලියූ “රටක් සුව කළ දොස්තර හොඳ හිත – රාජිත සේනාරත්න” යන ශීර්ෂය අද මම වෙනත් කෝණයකින් කියවමි. lankanewsweek හි එම ලිපිය රාජිත සේනාරත්නගේ සෞඛ්‍ය සේවා කාර්යභාරය පිළිබඳ දත්ත සහ ප්‍රතිපත්ති මත පදනම් වූ ලිපියක් විය.

එදා මම දත්ත දුටුවෙමි. අද මම එම දත්තවල ප්‍රතිඵලයක් ලෙස රෝහලක සිටි මිනිසෙකු ලෙස අත්දැකීමක් ලැබුවෙමි. ඒ අත්දැකීම මගේ දේශපාලන මතයක් වෙනස් කළාද නැද්ද යන්නට වඩා වැදගත් දෙයක් මට කියා දුන්නේය. රාජ්‍ය සෞඛ්‍ය පද්ධතියක් ගොඩනැගීමේ දේශපාලන තීරණ, වසර ගණනාවකට පසුව රෝගියෙකුගේ ඇඳ අසලදී පෙනෙන්නට පටන් ගනී.

කළුතර නාගොඩ රෝහල ඒ සඳහා මට ලැබුණු ජීවමාන උදාහරණයකි. ඒ නිසා අද මගේ ප්‍රශ්නය වන්නේ, අපි දේශපාලනඥයෙකු මැනිය යුත්තේ ඔහු කියන කතාවලින්ද, නැතිනම් ඔහුගේ ධුර කාලයෙන් පසුවත් ජනතාව භාවිතා කරන පද්ධති, රෝහල්, උපකරණ, ප්‍රතිකාර පහසුකම් සහ සේවාවලින්ද..?

නාගොඩ රෝහලේ ඇඳක සිටි මට නම් දෙවන ප්‍රශ්නය වඩාත් බරපතළ විය. මන්ද, රෝගියාට දේශපාලන කතාවක් අවශ්‍ය නැත. ඔහුට අවශ්‍ය වන්නේ ක්‍රියාත්මක වන රෝහලකි. එම රෝහලේ ඉතිහාසය කියවන විට, රාජිත සේනාරත්නගේ නම එහි සංවර්ධන ගමනේ වැදගත් පරිච්ඡේදයක ලියවී ඇති බව නිල වාර්තා පෙන්වයි. සමහර දේශපාලන උරුමයන් වේදිකාවක නොපෙනේ. ඒවා පෙනෙන්නේ රෝහලක වාට්ටුවකය.

ලියන ලද්දේ Administratorයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 6
බෙදාගන්න
කළුතර - නාගොඩ රෝහලෙන් දුටු රාජිත සේනාරත්නගේ සෞඛ්‍ය උරුමය | Lanka Newsweek