අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

අපේ රටට අවශ්‍ය සෑම ආගමකටම, ජන කොට්ඨාසයකටම සංස්කෘතියකටම ජාතියකටම සමානව සලකන සංවේදී රාජ්‍ය නායකයෙක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

සජිත්

(සංජනා ද සිල්වා)

දැන්වීම

අධිරාජ්‍යවාදී කාලයේ සිට පවතින නීතිරීතී යුගයට ගැලපෙන ආකාරයට සංශෝධනය විය යුතු බවත් ආගමි නායකයන්ගේ ඇඳුමට නිග්‍රහයක් නොවන ආකාරයට නව නීති පද්ධතියක් සකස් විය යුතු බවත් මේ රටට අවශ්‍ය සංවේදී නායකයකු බවත් සෑම ආගමකටම ධර්මයකටම සංස්කෘතියකටම ජාතියකටම සෑම තරාතිරමකටම එක හා සමානව සලකන සංවේදී රාජ්‍ය නායකයෙක් අවශ්‍ය බවත් සංවේදී ජාතික වැඩපිළීවෙළක් රටට අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්කයේ, මොරටුව ආසනයේ සමගි වනිතා බලවේගයේ කාන්තා බල මණ්ඩල රැස්වීම අමතමිනි. මේ අවස්ථාවට සමගි වනිතා බලවේගයේ සභාපතිනි පා.ම. රොහිණී කවිරත්න මහත්මිය, සමගි ජන බලවේගයේ මොරටුව ආසන සංවිධායක සේනක දමයන්ත මහතා ඇතුළු විශාල පිරිසක් එක්විය.

රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට මුල් තැන ලබා දී ඇති බවත් බුදුදහම පෝෂණය කරන්න සුරක්ෂිත කරන්න රටක් ලෙස කැපවෙන අතරතුර සෙසු ආගම් ජාති සංස්කෘතීන්ට සම්බන්ධ සියලු දෙනාට තමන් විශ්වාස කරන ආගමක් ඇදැහීමේ අයිතිය ද ලබා දී ඇති බවත් ඒ ආගම් හා සංස්කෘතීන් සුරක්ෂිත කිරීම ද සියලු දෙනාගේම වගකීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආගම දහමට නිගා නොවන ලෙස නීති රීති යාවත්කාලීන විය යුතුයි

ආගම දහම ගැන කතා කරන විට ඒ ඒ ආගම් නියෝජනය කරන ආගමික නායකයන් එනම් ගරුතර ස්වාමීන් වහන්සේලා සමඟ වාද නොකළ යුතු බවත් සෑම විටම චීවරයට ගරු කළ යුතු බවත් මේ කරුණ බුදුදහමට සේම සෙසු ආගම්වලට ද වලංගු බවත් ඒ ආගමික නායකයන් පුද්ගලයා කෙසේ වෙතත් ඒ ආගමික නායකයන්ට ගරු කළ යුතු බවත් අප රටේ නීති රීති රෙගුලාසි චක්‍රලේඛවල විවිධ දේවල් සදහන් නමුත් මේ නීති රීති රෙගුලාසි චක්‍රලේඛ යාවත්කාලීන විය යුතු බවත් ආගම දහමට නිග්‍රහයක් නොවන ආකාරයට කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ස්වාමීන් වහන්සේලාගේ සිවුර ඉවත් කිරීම ගිහියන්ට අයිති රාජකාරියක් නොවේ

ස්වාමීන් වහන්සේ නමකගේ සිවුර පැළදීම සේම ඉවත් කිරීම අදාළ නිකාය හෝ සංඝසභාවේ රාජකාරිය මිස ගිහියෝ කළ යුතු දෙයක් නොවන බවත් මේ ගරු කරන්නේ පුද්ගලායට නොව අදාළ ආගම දහමට සහ චීවරයට බවත් වර්තමානයේ මේ ආන්දෝලනාත්මක තත්ත්වය ඇති වූ පසු කමිටුවක් දමා සති 2කින් විසදන බව රජය පවසන බවත් මේ කරුණු කාරණා, සංවේදීභාවය, රටට බලපාන ආකාරය ආදී තත්ත්වයන් තුළ මේ ගැන පර්යේෂණ කරන්න සති 2ක් නොව අද හෙටම තීන්දුවක් ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මම කවදාවත් අධිකරණ තීන්දු විවේචනය කරන්නේ නෑ

තමා කිසිදු අවස්ථාවක ගරු අධිකරණය ලබා දෙන තීන්දු තීරණ ප්‍රශ්න නොකරන බවත් මෙහි ඇති ගැටලුව වන්නේ නිර්මාණය වූ තත්ත්වය තුළ බුදුදහමට සිදු කළ නිග්‍රහය සහ අපහාසය බවත් මෙය දැඩි ලෙස විවේචනය කරන බවත් එය බරපතළ වරදක් බවත් මේ වරද සිදුවූ පසු කල්මැරීම ද බරපතළ වරදක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජයේ මේ හැසිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක්

රජයේ මේ ක්‍රියාව නිසා විවිධ පාර්ශ්ව විවිධ පැතිවලට බෙදී මේ බෙදීම තුළ භේදබින්නවීම තුළ රටේ එකමුතුභාවයට හා ශක්තියට බරපතළ තර්ජනයක් එල්ල කරන බවත් මෙය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවත් මේ තුළින් අසමගිය මතු වී ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බවත් බුදුදහමට මුල් තැන ලබා දෙමින් සෙසු ආගම් හා සංස්කෘතීන් ද ජන කොට්ඨාස ද රැකගන්නා වැඩපිළිවෙළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පෙන්වා දී ඇති නිසා එය අකුරටම පිළිපැදිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය

ලියන ලද්දේ Administratorයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 2
බෙදාගන්න
අපේ රටට අවශ්‍ය සෑම ආගමකටම, ජන කොට්ඨාසයකටම සංස්කෘතියකටම ජාතියකටම සමානව සලකන සංවේදී රාජ්‍ය නායකයෙක් | Lanka Newsweek