අපේ ප්‍රතිපත්තිය සම්බුද්ධ ශාසනයට මුල් තැන ලබා දීමයි
- විපක්ෂ නායක -

සම්බුද්ධ ශාසනයට සහ බුදු සසුනට මුල් තැන ලබා දීම සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික නීතියේ සඳහන්ව ඇති ආකාරයට එය එලෙසම ක්‍රියාත්මක කරන බවත් බුද්ධ ශාසන අමාත්‍යාංශය කැබිනට් අමාත්‍යාංශයක් ලෙසත් සෙසු ආගම් හා සංස්කෘතින් ද ජාතීන් වෙනුවෙන් වෙන්මම රාජ්‍ය අමාත්‍යාංශ ඇති කර ඔවුන්ගේ අනන්‍යතාව සුරක්ෂා කිරීමටත් කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
දැන්වීම
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉරිදා (11) වාදදුව බෝධිරාජ විහාරස්ථානයේ දී මහාවිහාර වාංශික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාවේ අනුනායක, ප්‍රධාන ලේඛකාධිකාරී මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල නා හිමියන් මුණ ගැසී ආශිර්වාද ලබා ගැනීමෙන් පසුවය
ගෞරවනීය මහා සංඝරත්නය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම සංඝ සභාවල කරුණක්
එක රටක් තුළ සත්ජාතිකත්වයෙන් සැවොම එකට එකතු වී ජිවත් විය යුතු බවත් මෙහි දී ආගමික නායකයන්ට සේම චීවරයට ද මුල්තැන ලබා දිය යුතු බවත් චීවරය කේන්ද්‍ර කර ගෙන ඉස්මතු වූ වත්මන් ගැටලුව කඩිනමින් නිරාකරණය විය යුතු බවත් මෙය සති ගණන් ලබා නොගෙන යාවත්කාලීන නොවූ රෙගුලාසි ඇත්නම් ඒවා යාවත්කාලීන කරමින් චීවරයට නිසි ගරුත්වය ලබා දිය යුතු බවත් චීවරය පළදින ගෞරවනීය ස්වාමීන්වහන්සේලා සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම ඒ ස්වාමීන් වහන්සේලා අයත් සංඝ සභාවල කරුණක් බවත් මේ ප්‍රතිපත්තිය සෙසු ආගම්වලට ද වලංගු බවත් විපක්ෂ නායකවරයා මෙහි දි පැවසීය.
බොහෝ අය ගරුතර ස්වාමීන්වහන්සේ අතර භේදබින්නතා ඇති කරන්න උත්සාහ කරනවා
මේ දිනවල ගෞරවනීය මහා සංඝරත්නය අතර භේද බින්නවීම් ඇති කරන්න විවිධ කණ්ඩායම් කටයුතු කරන බවත් සංඝභේදය යනු ආනන්තරීය පාපකර්මයක් බවත් ඒ පාපකර්මය සිදු කරන කිසිදු අයකුට සුගතියක් අත්නොවන නිසා සියලුම පාර්ශ්ව සියලුම නිකායන් සියලුම සංඝ සභා එකට එකතු වී එක ප්‍රතිපත්තියක තුළ සම්බුද්ධ ශාසනය සුරක්ෂා කිරීමටත් චීවරයට ලබා දිය යුතු උපරිම ගෞරවය ලබා දී ඒ ප්‍රතිපත්තිය සෙසු ආගම් හා සංස්කෘතීන්ට ද ලබා දිය යුතු බවත් මෙය යුගයේ අවශ්‍යතාව බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.