අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

IOC එක්ක හානි කර බලපත්‍රයක් අත්සන් කරන්න යනවා

IOC එක්ක හානි කර බලපත්‍රයක් අත්සන් කරන්න යනවා

1960 ඉඳලා 90 දශකය දක්වා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ස්වර්ණමය යුගයක් සනිටුහන් කලත් මේ මොහොත වන විට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉතාමත් බරපතල තත්වයකට පත්ව ඇතැයි ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති සහ ජාතික…

1960 ඉඳලා 90 දශකය දක්වා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ස්වර්ණමය යුගයක් සනිටුහන් කලත් මේ මොහොත වන විට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉතාමත් බරපතල තත්වයකට පත්ව ඇතැයි ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති සහ ජාතික සම්පත් විකිණිමට එරෙහි වරාය තෙල් විදුලි ඒකාබද්ධ සන්ධානයේ නියෝජිත ආචාර්ය අශෝක රන්වල මහතා කියා සිටියි.

ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති, ජාතික සම්පත් විකිණිමට එරෙහි වරාය තෙල් විදුලි ඒකාබද්ධ සන්ධානයේ නියෝජිත ආචාර්ය අශෝක රන්වල මහතා මේ බව කියා සිටියේ සඳුදා(04) කොළඹ බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී වන අතර එහිදී තව දුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය.

ඛනිජ තෙල් සම්බන්ධ ඒකාධිකාරය වඩාත් ශක්තිමත් කරන්න 1962, 64 කාලවල සංශෝධන ගෙනාවා. පිරිපහදුව ඉදි කළේත් සංශෝධනයක් මත. මේ සංශෝධණ ගෙනාවේ ඛනිජ තෙල් සංස්ථාවේ ඒකාධිකාරය වඩා ශක්තිමත් සහ බලවත් කරන්නයි.

දැන්වීම

ජනතාවට සහන ලබාදෙමින් විදේශ විනිමය ලබාගැනීම තහවුරු කරන්නයි. නමුත් 2002 ඛනිජ තෙල් පනත සංශෝධනය කර ඒකාධිකාරී බලය විසිරුවා හරින්න මුලපිරුවා. වෘත්තීය සමිති විදිහට අපි ඊට විරුද්ධව විශාල හඬක් නැගුවා.

ඛනිජ තෙල් සංස්ථාව කෑලි තුනකට කඩලා ෂධක්‍ සමාගමට කොටසක් දුන්නා. ඉන් පස්සේ සංස්ථාව බරපතල මූල්‍ය අර්බුදයක් දක්වා දිගටම ගමන් කළා. නමුත් පාලකයන් කිව්වේ සංස්ථාව වඩාත් ශක්තිමත් කරන්න පනත සංශෝධනය කරන බවයි. 

2003 අංක 26 දරණ පනතක් ගෙනත් ලංකාවේ ඛනිජ තෙල් සම්පත ප්‍රයෝජනයට ගන්න යන බව පාලකයන් අපට කිව්වා. නමුත් ඒ පනතින් ආවරණය කළ කිසිදු කොන්දේසියක් මේ දක්වා ගත්තේ නෑ.

මැතිවරණයක් ආසන්නයේදී සහ රටේ අර්බුදයන් වඩාත් වේගයෙන් පැතිරෙන විට ඛනිජ තෙල් ගොඩගැනීම පිළිබඳ මාධ්‍ය ප්‍රචාර තොරොම්බල් කරන්න පටන් ගන්නවා. ඛනිජ තෙල් සම්පත් ගවේශන අධිකාරියක් පිහිටුවන බව කියනවා. නමුත් මේ පනත සම්පූර්ණයෙන්ම අවලංගු කර මේ ආකාරයේම තවත් පනතක් ගේන්න යනවා. 

මේ  පනතේ සඳහන් කර තිබෙන්නේ “උද්ගාමී ඛනිජ තෙල් කර්මාන්තය පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම” සම්බන්ධයෙන් කටයුතු කරන බවයි. නමුත් 1961 අංක 28 දරණ පනතින් මේ කාර්යභාරය කරන්න පුළුවන්.

2003 අංක 26 දරණ පනතත් යොදා ගන්න පුළුවන්. නමුත් අලුත් පනතක් ගෙනත් ඛනිජ තෙල් සම්පත් සම්බන්ධයෙන් අනුගමනය කරන්න යන ක්‍රියාමාර්ග පිළිබඳව බරපතල සැකයක් අපට ඇති වෙනවා.

මේ පනතෙත් නිවැරදි නීතිමය උපදෙස් ගන්න නොහැකි තැන් ගණනාවක් තිබෙනවා. 2003 පනත අනුව මේ දක්වා ඛනිජ තෙල් ගවේෂණයට කිසිවක් නොකළ මිනිස්සු කඩිමුඩියේ මෙවැනි පනතක් ගේන්නේ ඇයි? විදේශීය සමාගමකින් ඩොලර් කුට්ටියක් අරගෙන තෙල් සංස්ථාව ලොක්ඩවුන් කරන්නද මේ ලෑස්ති වෙන්නේ? ඒ ණය අනාගත පරම්පරාවට ගෙවන්න සිද්ධ වේවි. 

මේ අතර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පරීක්ෂා කරන්න ඉන්දියානු විදේශ ලේකම්වරයා ගියා. 2023 අවසන් වන අයිඕසී සමාගමේ ගිවිසුම නැවත දීර්ඝ කරන්න සූදානම් වෙන බව අපට පැහැදිලියි. ලංකාව සතු සම්පතක් අයිඕසී සමාගම බලහත්කාරයෙන් තබා ගැනීම පිළිබඳව අපි නඩු දෙකක් දාලා තියෙනවා.

වෘත්තීය සමිති විදිහට පවරා තියෙන නඩුව විභාගවෙමින් පවතිනවා. ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් වසන්ත සමරසිංහ පෞද්ගලික නඩුවක් පවරා තිබෙනවා. වර්තමාන ආණ්ඩුව බලයට පත්වූ මුල වර්තමාන ඇමතිවරයා ඉතා පැහැදිලිව ප්‍රතිඥා දුන්නේ ඛනිජ තෙල් සම්බන්ධයෙන් අයිඕසී සමාගමේ කාලය දීර්ඝ නොකර තෙල් සංස්ථාවට අත්පත් කර ගන්නා බවයි. 

මේ බව වසන් කරමින් ඇමතිවරයා සාවද්‍ය ප්‍රකාශයක් කර තිබෙනවා. ඉන්දු ලංකා ගිවිසුම අනුව ත්‍රිකුණාමලයේ ටැංකි සියල්ලම ඉන්දියාවට පවරා අවසන් බව ප්‍රකාශ කර තිබෙනවා. මේ ප්‍රකාශය වෘත්තීය සමිති විදිහට අපි දැඩිව හෙළා දකිනවා.

ඉන්දු ලංකා ගිවිසුමේ ඇමුණුම්වල එක තැනක සඳහන් වෙන්නේ තෙල් ටැංකි සම්බන්ධවෙන් කිසියම් තීන්දුවක් ගන්නවා නම් ඉන්දියාව දැනුවත් කර එය කළ යුතු බවයි.  2003 පනත අභිබවා යන හානිකර ආකාරයේ කොන්දේසි සහිත බලපත්‍රයක් අයිඕසී සමාගම සමඟ අත්සන් කරන්න සූදානම් වෙනවා.

ඊට අදාළ ප්‍රතිපාදන ඛනිජ තෙල් පනතේ නොමැති නිසා අදාළ තත්වයන් සම්පූර්ණ කරගන්න දැන් ක්‍රියාකරමින් සිටිනවා. ඒ නිසා මේ පනත පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ යුතුයි. තිබෙන පනත අවලංගු කර නව පනතක් ගෙන එන්න තිබෙන අවශ්‍යතාවය රටට හෙළිකළ යුතුයි.

ඛනිජ තෙල් ක්ෂේත්‍රය විදුලිය සහ වරාය වෘත්තීය සමිති ඒකාබද්ධව දේශපාලන පක්ෂත් සමඟ කටයුතු කරමින් සිටිනවා. මේ කරන අරගලය වැටුප් වැඩිකර ගැනීමට නොවෙයි.

මෙය හුදු වෘත්තීය සමිති අරගලයක් නොවේ. මේ සම්පත් රටේ ඊළඟ පරම්පරාවට අත්කරදීමේ අරමුණින් තිරසර සංවර්ධනයේ මූලික න්‍යායන් අනුව දියත්කර ඇති බව අවධාරණය කරනවා.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න