අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

IMF ඉලක්ක සපුරා ගෙන ජනතාව වෙත එල්ල වන පීඩනය නැති කරනවා

IMF ඉලක්ක සපුරා ගෙන ජනතාව වෙත එල්ල වන පීඩනය නැති කරනවා

ඒ සඳහා විකල්ප විසඳුම් ලබා දෙනවා ජනපති අවධාරණය කරයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් (Krishna Srinivasan), ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය…

ඒ සඳහා විකල්ප විසඳුම් ලබා දෙනවා 

ජනපති අවධාරණය කරයි  

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් (Krishna Srinivasan), ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බ්‍රෙයර් (Dr. Peter Breuer) යන මහත්වරු ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් බ්‍රහස්පතින්දා (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී විශේෂ සාකච්ඡාවක නිරත විය.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් වන මහාචාර්ය අනිල් ජයන්ත හා දුමින්ද හුලංගමුව යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිලධාරීන් පිරිසක්ද සහභාගී වු මෙම හමුවේ දි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර මේ වන විට ක්‍රියාත්මක වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව සමාලෝචනයට ලක් කෙරිණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනේ අරමුණු සමඟ ප්‍රතිපත්තිමය වශයෙන් රජයේ පුළුල් එකඟතාව යළි මෙහිදී තහවුරු කළ ජනාධිපතිවරයා ජනතාව මත පැටවෙන පිඩනය ඉවත් කෙරෙන විකල්ප මාර්ගයන් ඔස්සේ එම අරමුණු වෙත ළගාවීමේ වැදගත්කම ද අවධාරණය කළේය.

දැන්වීම

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනේ ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් වූ වත්මන් ජනාධිපතිවරයාගේ කැපවීම මෙහිදී අගය කළ IMF නියෝජිතයන් ශ්‍රී ලංකා රජය විසින් යෝජනා කරන ලද විකල්ප ප්‍රවේශයන් පිළිබඳව සාකච්ඡා කිරීමට ද එකඟතාව පළ කළහ.

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර වැඩසටහනේ තුන්වන සමාලෝචනය ආරම්භ කිරීම පිළිබඳව ද මෙහිදී දෙපාර්ශ්වයේම අවධානය යොමු කෙරුණු අතර ඉදිරි මහ මැතිවරණය හේතුවෙන් යම් ප්‍රමාදයන් ඇති විය හැකි නමුත්, බාධාවකින් තොරව එම කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත සහතික විය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න