අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

Express Pearl ගින්න කුමත්‍රණයක් ද..? -රනිල්-

Express Pearl ගින්න කුමත්‍රණයක් ද..? -රනිල්-

වහාම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරනු රජය නීතිය ක්‍රියාත්මක නොකළේ ඇයි..? "MEPA" ආයතනය ජාත්‍යන්තර ආධාර නොගත්තේ ඇයි..? ජාතික සභාව රැස් නොකළේ මන්ද..? ▶ වීඩියෝව නරඹන්න (සුජිත් මංගල ද සිල්වා)…

වහාම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරනු 

රජය නීතිය ක්‍රියාත්මක නොකළේ ඇයි..?

"MEPA" ආයතනය ජාත්‍යන්තර ආධාර නොගත්තේ ඇයි..?

ජාතික සභාව රැස් නොකළේ මන්ද..?

▶ වීඩියෝව නරඹන්න

(සුජිත් මංගල ද සිල්වා)

"Express Pearl" නෞකාව විශාල අනතුරුක් බව දැන දැනම එම නෞකාව ගිනි ගත් අවස්ථාවේ දී එම ගින්න නිවා දැමීම සඳහා ශ්‍රී ලංකා රජය හෝ "MEPA" ආයතනය ජාත්‍යන්තර ආධාර ඉල්ලා සිටීමෙන් වැළකී සිටියේ මන්ද යන්න විශාල ප්‍රශ්නයක් යැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි.

2021 මැයි මස 20 වැනිදා සිට 2021 මැයි මස 25 වැනිදා අතර කාලයේ දී රජය පවතින නීතිය ක්‍රියාත්මක නොකළේ මන්දැයි ප්‍රශ්න කළ රනිල් වික්‍රමසිංහ මහතා මේ සිද්ධිය ප්‍රශ්න සහගත සහ සැක කටයුතු බැවින් ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් වහාම පත් කළ යුතු යැයි ද සඳහන් කළේය.  

දැන්වීම

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ, "Express Pearl" නෞකාවේ සිද්ධිය සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.  

"Express Pearl" නෞකාව කොළඹ වරායට ඇතුළු කර ගෙන තිබුණු අවස්ථාවේ මේ පිපුරුම සිදු වූවා නම් සිදු වන හානිය ගණන් බලා කියන්න හැකියාවක් ඇත්තේ නැහැ. එසේ වූවා නම් කොළඹ වරායේ සිට "Shangri-La" හෝටලය දක්වා වූ ගොඩනැගිලි සියල්ලම විනාශ වෙන්න ඉඩ තිබුණා. 

නෞකාව කොළඹ වරායේ පිටත වරායට පැමිණියේ 2021 මැයි මස 19 වැනිදා රාත්‍රියේදීයි. 2021 මැයි මස 20 වැනිදා අපේ කණ්ඩායම නැවට ඇතුළු වුණා. එහිදි නැවේ ගබඩා කර තිබූ රසායන ද්‍රව්‍ය ඇතුළත් බහාලුමක ගින්නක් තිබෙන බව දැන ගත්තා. 2021 මැයි 25 වැනිදා වන විට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) මේ මුහුදු ප්‍රදේශයට අනතුරක් වන බව ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයට (International Maritime Organization)-(IMO) දැනුම් දුන්නා.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මෙලෙස අනතුරු අඟවන්නේ ගින්නෙන් සමුද්‍රීය පරිසරයට හානියක් වීමේ අවදානමක් පවතින නිසයි. එම තත්ත්වය ඉංග්‍රීසියෙන් හඳුන් වන්නේ "Tier 2" ලෙසයි. එමගින් අදහස් වන්නේ ගින්න පාලනය කිරීමට ශ්‍රී ලංකාවට අපහසු වුව හොත් පිටතින් ආධාර උපකාර ගැනීමට අවශ්‍ය විය හැකිය යන්නයි.

ආධාර අවශ්‍ය වෙතැයි උපකල්පනය කරනා දැනුම් දීමක් ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයට කළත් ශ්‍රී ලංකා රජය හෝ "MEPA" ආයතනය ඔවුන්ගෙන් ජාත්‍යන්තර ආධාර ඉල්ලුවේ නැහැ. මේ අනුව 2021 මැයි මස 20 වැනිදා සිට 2021 මැයි මස 25 වැනිදා අතර කාලයේ දී රජය පවතින නීතිය ක්‍රියාත්මක නොකළේ ඇයි..? ඒ මේ සිද්ධියේ දී වැදගත් ප්‍රශ්නයයි. 

මෙවැනි තත්ත්වයකදී ආපදා කළමනාකරණ පනත යටතේ ජාතික සභාව රැස් කිරීමට හැකියාව තිබූ අතර එම සභාව රැස් කර වෙරළ කළාපයට ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ හැකියාව තිබුණා. ජනාධිපති සහ අගමැති ඇතුළු මැති ඇමතිවරුන් විසි දෙනෙකු ද, විපක්ෂ නායක සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පස් දෙනෙකු ද, ඇතුළත් කොට මේ ජාතික සභාව පිහිටු විය හැකියි. මෙලෙස පත් කරන ජාතික සභාව රැස්වී වෙරළාරක්ෂාව වෙනුවෙන් තීන්දු තීරණ ගන්න තිබුණා. නමුත් කිසිවෙක් එවැනි තීරණයක් ගත්තේ නැහැ.

ජාතික ආපදාවක් ඇති වන බවට ප්‍රකාශ කර තිබුණා නම් නැවේ ගින්න නිවා ගන්න අපට විදේශාධාර ලබා ගන්න තිබුණා. ගින්න පැතිරෙද්දි අප ඉන්දියාවෙන් ගින්න නිවන්න ආධාර ගත්තා. නමුත් ඒ වන විට ගින්න පාලනය කිරීම ගිලිහී ගියේ ඉන්දියාවට දැනුම්දීම ප්‍රමාද කර තිබූ නිසයි. මෙවැනි රසායනික ද්‍රව්‍ය නෞකාවක ගිනි නිවීම් ගැන වැඩිම දැනුම තියෙන්නේ යුරෝපයට සහ නැගෙනහිර ආසියානු රටවලටයි.

ජාත්‍යන්තර සමුද්‍රිය සංවිධානයට දැනුම් දී ගින්න නිවීමට ජාත්‍යන්තර සහාය නොගත්තේ ඇයි..? ගින්න වර්ධනය වී නැව විනාශ වන තැනට යන්න ඉඩ දුන්නේ ඇයි..? මේ ප්‍රශ්න මෙහි දී මතු වනවා. නෞකාවේ ගින්නෙන් අපේ අනාගත ආර්ථිකයට සහ පරිසරයට වන හානිය ගැන නොසිතුවේ ඇයි..? රජය සහ සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය සිතිය යුතුව තිබුණේ මේ කරුණු ගැනයි.

නයිට්‍රික් අම්ලය මුහුදු ජලයට මිශ්‍රවීමෙන් ශ්‍රී ලංකා මුහුදේ කොළඹ අවට කොරල් පරය විනාශ වීමේ අවදානමක් තිබෙනවා. කොළඹ තිබෙන කොරල් පරය නිසා තමයි අප සුනාමි ව්‍යසනයේදී පවා බේරුණේ. මේ කොරල් පරය විනාශ වුව හොත් සුනාමියකදී කොළඹ අනාරක්ෂිතයි.

එම නිසා මම යෝජනා කරන්නේ පාර්ලිමේන්තුව මේ සතියේ රැස් වන නිසා මේ නෞකාවේ ගින්න ගැන සොයන්න වහාම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙසයි. ඉක්මණින් මන්ත්‍රීවරුන් නම් කොට තේරීම් කාරක සභාවක් මේ සතියේදීම පත් කිරීමේ හැකියාව තිබෙනවා. ඒ අනුව කාරක සභාව රැස්වී 2021 ජූලි මාසයේ පළමු සතියේදී නැවේ ගින්නෙන් වූ පරිසර සහ ආර්ථික හානිය ගැන මූලික වාර්තාවක් ඉදිරිපත් කළ හැකියි.

මේ නැව ගිනි ගත්තේ කෙසේ ද සහ එම ගින්න නිවා දැමීමට නොහැකි වූයේ මන්ද යන්න පිළිබඳව දැන ගැනීම සඳහා ජනතාවට අයිතියක් තිබෙනවා. ඒ වගේම නැව සම්බන්ධයෙන් අප ගන්නා ඉදිරි පියවර කුමක්ද යන්න පිළිබඳව දැන ගැනීමේ අයිතිය ද ජනතාවට තිබෙනවා. එම නිසා සිය වගකීම සහ රාජකාරිය රට වෙනුවෙන් ඉක්මණින් ඉටු කරන්නැයි අප රජයෙන් ඉල්ලනවා."

Express Pearl ගින්න කුමත්‍රණයක් ද..? -රනිල්-

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
Express Pearl ගින්න කුමත්‍රණයක් ද..? -රනිල්- | Lanka Newsweek