අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

21 ට පිටුපෑම මූලික නීතියට කරන සරදමකි

21 ට පිටුපෑම මූලික නීතියට කරන සරදමකි

21 යටතේ ස්වාධීන ව්‍යවස්ථා සභාව වහාම පත් කරනු 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අපේක්ෂාවන්ට පිටුපෑම රටේ මූලික නීතියට කරන සරදමක් යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු…

21 යටතේ ස්වාධීන ව්‍යවස්ථා සභාව වහාම පත් කරනු 

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අපේක්ෂාවන්ට පිටුපෑම රටේ මූලික නීතියට කරන සරදමක් යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් චෝදනා කර සිටියි.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

ප්‍රජාතන්ත්‍රවාදය සහ රටේ පොදු යහපත උදෙසා පෙනී සිටින සමාජ බලවේගයන්හි දැඩි පරිශ්‍රමය මත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  21 වැනි සංශෝධනය සම්මත කර මේ වන විට මාස දෙකක කාලයක් ඉක්මවා ඇතත් එකී සංශෝධනය මගින් අපේක්ෂා කරන ලද ඇතැම් මූලික සහ ප්‍රධාන අරමුණු ඉටු කිරීම සඳහා රජය මේ දක්වා පියවර ගෙන නොතිබීම පිළිබඳව අප බලවත් ලෙස කණස්සල්ලට පත්ව සිටිමු.

දැන්වීම

21 වැනි සංශෝධනය සම්මත කර ගනිමින් අපේක්ෂා කරන ලද්දේ 20 වැනි සංශෝධනය හරහා රටේ ව්‍යවස්ථාව දුර්වල කරමින් ඒක පුද්ගල බල අධිකාරයක් වෙත තහවුරු කර ගන්නා ලද අසීමාන්තික බලය ඉවත් කරමින් සමස්ථ සමාජයයේ අදහස් ද නියෝජනය වන පරිදි  සිවිල් සමාජ නියෝජනයක් ද සහිත ව්‍යවථා සභාවක් හරහා  විනිවිදභාවයකින් සහ සාමුහිකතවයකින් යුත් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහයක් සඳහා උපරිම දායකත්වය ලබා ගැනීමය.

ඒ අනුව 21 වැනි සංශෝධනය වීමත් සමගම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව පූර්ණ ව්‍යවස්ථා සභාවක් පත් කර ගැනීම සහ 20 වැනි සංශෝධනයේ බලතල යොදා ගනිමින් පත් කර ඇති කොමිෂන් සභා 21 වැනි සංශෝධනය අනුව  පත් කරනු ලබන ව්‍යවස්ථා සභාවක එකගත්වයට යටත්ව නැවත පත් කිරීමය. 

එම ප්‍රමුඛ කරුණු සලකා බැලීමේදී ව්‍යවස්ථා සභාව සඳහා පත් කර ගත  යුතු සිවිල් සමාජ නියෝජිතයන් මේ වන තෙක් පත් කර නොමැත. එමෙන්ම 21 වැනි සංශෝධනයට යටත්ව  ස්වාධීන කොමිෂන් සභා බලාත්මක කිරීමක්ද සිදු කර නොමැත. විශේෂයෙන්ම ස්වාධීන කොමිෂන් සභාවන්ට අදාළව සැලකීමේදී එවැනි අවශ්‍යතාවයක් වඩාත්ම මතු වන්නේ 20 වැනි සංශෝධනය යටතේ පත් කර ඇති කොමිෂන් සභාවන්හි ඇතැම් සාමාජිකයන් පක්ෂ දේශපාලන ක්‍රියාකාරිකයන් සහ දේශපාලන පක්ෂ ප්‍රවර්ධකයන් ලෙස කටයුතු කරමින් සිටියදී එම තනතුරුවලට පත් කර ඇති බවට සාධක පවතින නිසාය.

මෙවැනි තත්ත්වයක් අතිශයින්ම ශෝචනීය ය. විශේෂයෙන්ම රටේ යහ පැවැත්ම සහ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා පෙනී සිටි සිවිල් සහ දේශපාලන බලවේගයන්හි දැවැන්ත කැපවීම සේම බලපෑම මත ජයග්‍රහණය කර ගත් රටේ මූලික නීතියට යටත් අවකාශයන් නොසලකා හැරීම හෝ අවභාවිතා කිරීම යනු  රාජ්‍යයේ පැවැත්මට  සිදු කරනු ලබන බරපතළ අවමානයකි. මෙවන් තත්ත්වයන් හමුවේ අප අපගේ බලවත් විරෝධය ප්‍රකාශ කළ යුතුමය. නොඑසේ නම් එය ජාතියට කරනු ලබන බලවත්ම ද්‍රෝහිකමක් වනු ඇත.

ඒ අනුව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස අප ඉල්ලා සිටින්නේ 21 වැනි සංශෝධනයට ගරු කරමින් ව්‍යවස්ථා සභාව සඳහා සිවිල් සමාජ නියෝජනය පදනම් කර ගනිමින් පත් කර ගත යුතුව ඇති සාමාජිකයන් නොපමාවම පත් කරන ලෙසටය. එමෙන්ම 21 වැනි සංශෝධනයේ විදිවිධානයන්ට යටත්ව සියලුම ස්වාධීන කොමිෂන් සභා සඳහා දැනට සිටින සුදුසු සාමාජිකයන් ද ඇතුළත් වන ආකාරයට නැවත පත් කිරීම් සිදු කරන ලෙසටය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
21 ට පිටුපෑම මූලික නීතියට කරන සරදමකි | Lanka Newsweek