2023 දී ජනපතිවරණයක් එන ලකුණු -නවීන්-

බලය ගෙන ජනතාවට සහන දෙන හැටි විපක්ෂ නායක කියන්නේ නැහැ එජාපය ඔනෑම මැතිවරණයකට සූදානම් 2023 වර්ෂයේ දී ජනතාවට ජනාධිපතිවරණයක් බලාපොරොත්තු විය හැකි යැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික සංවිධායක සහ හිටපු…
බලය ගෙන ජනතාවට සහන දෙන හැටි විපක්ෂ නායක කියන්නේ නැහැ
එජාපය ඔනෑම මැතිවරණයකට සූදානම්
2023 වර්ෂයේ දී ජනතාවට ජනාධිපතිවරණයක් බලාපොරොත්තු විය හැකි යැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික සංවිධායක සහ හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා කියා සිටියි.
විපක්ෂය දිගින් දිගටම මැතිවරණයක් ඉල්ලා සිටින බැවින් ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය එක ම දිනකදී පවත් වන ලෙස තමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළ බව ද හිටපු ඇමැතිවරයා සඳහන් කරයි.
2023 වසරේ මාර්තු මාසයෙන් පසුව අගෝස්තු වන විට ජනාධිපතිවරණයකට යා හැකි බවත්, ඒ අනුව විධායකයට පත් කළ යුත්තේ කවුරුන්දැයි ජනතාවට තීරණයක් ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති බවත් පැවැසූ නවීන් දිසානායක මහතා ජනතාවගේ හොඳම තේරීම වී ඇත්තේ ජනාධිපතිවරණයකු බව ද පෙන්වා දෙයි.
දැන්වීම
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වසර පහකට පත්වුව ද ඔහු ඉවත්ව ගිය බැවින් ජනාධිපතිවරණයකින් අලුත් ජනාධිපති කෙනෙකු පත් කර ගත යුතු අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බැලූවිට ද 2023 වර්ෂයේ දී ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා හොඳම කාලය වන බව ද නවීන් දිසානායක මහතා කියයි.
ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය එක දිනයකදී පැවැත් වුව හොත් වියදම සහ නාස්තිය අඩු කර ගත හැකි බව ද හෙතෙම සඳහන් කර සිටියි.
එම සියලු මැතිවරණ ඉලක්ක කර ගෙන එක්සත් ජාතික පක්ෂය නැවත ක්‍රියාශීලිව සහ සක්‍රියව ජනතාව අතරට ගෙන යන්නේ කෙසේදැයි කියා මේ දිනවල පක්ෂයේ ප්‍රධානීන් එක්ව සාකච්ඡා කරන බව කී නවීන් දිසානායක මහතා ගෙවුණු සතියේ පැවැත්වූ ආසන සංවිධායකයන්ගේ සම්මුඛ පරීක්ෂණ ඉතා සාර්ථක වූ බවත්, ඉතා දක්ෂ සහ තරුණ පිරිස් පක්ෂය සමග සම්බන්ධ වීමට උනන්දුවක් දැක්වූ බවත් සඳහන් කරයි.
විපක්ෂයේ යම් යම් බෙදීම් නිර්මාණය වී තිබෙන බව ද, එම මන්ත්‍රීවරුන් එක ස්ථාවරයක සිට අදහස් ඉදිරිපත් නොකරන බව ද පෙන්වා දෙන නවීන් දිසානායක මහතා විපක්ෂනායකවරයා බලය ලබා ගත් පසුව ජනතාවට සහන දෙන බව කියා සිටිය ද එම සහන දෙන ආකාරය පැහැදිලි නොකරන බව ද පවසයි.