අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

1966 දි හොරකම් කරපු පාපන්දු ලෝක කුසලානය හොයලා දුන්නු පිකල්ස්

1966 දි හොරකම් කරපු පාපන්දු ලෝක කුසලානය හොයලා දුන්නු පිකල්ස්

මෙයා විශේෂ බල්ලෙක්. 1966 දි හොරකම් කරපු පාපන්දු ලෝක කුසලානය හොයලා දුන්නෙ මෙයා. ඒ කියන්නෙ ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක හොරකම් කරලාත් තියෙයි ද? ඔව්. දෙපාරක් ම. මේ ලිපිය ලියන්නෙ මේ බලු සුරතලා ගැනත්, හොරකම…

මෙයා විශේෂ බල්ලෙක්. 1966 දි හොරකම් කරපු පාපන්දු ලෝක කුසලානය හොයලා දුන්නෙ මෙයා.

ඒ කියන්නෙ ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක හොරකම් කරලාත් තියෙයි ද? ඔව්. දෙපාරක් ම.

මේ ලිපිය ලියන්නෙ මේ බලු සුරතලා ගැනත්, හොරකම ගැනත්, නඩුව ගැනත් කෙටියෙන් කියන්න.

මෙයාගෙ නම් පිකල්ස්. මෙයා ඉපදුනේ 1962. මෙයාගෙ අයිතිකාරයා තමයි ඩේවිඩ් කෝබට්.

 (නුවන් ඉෂාර මහගමගේ)

දවස 1966 මාර්තු 20. පළමු වතාවට එංගලන්තය පාපන්දු ලෝක කුසලානයේ සත්කාරක රට විදිහට කටයුතු කරන්න නියමිතවයි තිබුනෙ. තව මාස 4කින් ලෝක කුසලාන තරඟාවලිය පටන් ගන්න වැඩ ලෑස්තියි. මේ වෙනුවෙන් උත්සව, පූර්ව ප්‍රචාරණ වගේම එක එක ඉවෙන්ට් ඕගනයිස් කෙරුවා.

ස්ටැන්ලි ගිබන්ස් කියන සමාගමත්, ලන්ඩන් නුවර මේ වගේ ඉවෙන්ට් එකක් ඕගනයිස් කෙරුවා. එයාලා විශේෂ අවසරයක් එහෙම අරගෙන පාපන්දු ලෝක කුසලානය ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කෙරුවා. ඒ ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් සෙන්ට්‍රල් ශාලාවෙදි. ඒ කාලෙත් පාපන්දු ලෝක කුසලානය කියන්නෙ උන්මාදයක්.

වැල නොකැඩි සෙනඟ ආවා. කප් එක හැබැහින් දැකගන්න. නිළ ඇඳුම් ඇඳගත් මුර සෙබලුන්ට අමතර ව සිවිල් අයත් මුරට දාලා හිටියා. ශිෆ්ට් එක චේන්ජ් වෙන වෙලාව ආවා. ශාලාව තුළ මිනිස්සුත් ටිකක් අඩු උනා. විශේෂ කෙනෙක් ලෝක කුසලානය අසල නතර උනා. ආවරණයේ ලොක් එක ගැලෙව්වා. ලෝක කුසලාන තරඟාවලියේ වටිනාම දේ හොරකම් කරගෙන පැනලා ගියා.

දැන්වීම

ලෝකය පුරාම මේ ගොසිප් එක විදුලි වේගයෙන් ප්‍රචාරය උනා. යළි කවදාවත් පාපන්දු ලෝක කුසලානය හොයාගන්න බැරි වෙයි කියන බියෙන් බලධාරින් ආතතියට පත්වුනා. රසිකයින්ගෙන් එන පීඩනය වැඩි උනා. මෙට්‍රොපොලිටන් පොලිසියේ විශේෂ මෙහෙයුම් අංශයක් යටතට මේ සොරකම ගැන විමර්ෂනය භාර දුන්නා.

මේ සිද්ධියේ ඇසින් දුටු සාක්ෂිකරුවො දෙන්නෙක් හිටියා. ඒ කාන්තාවක් සහ මුර සෙබලෙක්. මේ අය යාන්තමට දැකලා තිබුනා කවුදෝ ඈතින් දුවගෙන යනවා. හැබැයි මේ දෙන්නා විස්තර කළ චරිත දෙක දෙආකාරයි. ඒ හින්දා සොරකමට දෙන්නෙක් ආපු බවට පොලිසිය සැක කෙරුවා.

මාර්තු 21 වැනිදා මේ අභිරහසට තවත් පුදුම සහගත කොටසක් එකතු උනා.

එවක පාපන්දු සම්මේලනයේ සභාපති තමයි ජෝ මේයර්ස්. 21 වැනිදා මේයර්ගෙ ගෙදරට තැපෑලෙන් පාර්සලයක් ලැබුනා. ලෝක කුසලානයෙන් ගලවපු කුඩා කොටසක් තමයි මෙහෙම පාර්සල් කරලා එවලා තිබුනෙ. ඒත් එක්ක ලියුමක් තිබුනා. පවුම් 15,000 ක් දුන්නොත් කුසලානය ආපහු බාර දෙනවා. හැබැයි පොලිසියට කිව්වොත් කුසලානය ලෝහවලට උණු කරනවා. ලියුමෙ තිබුනෙ එහෙමයි.

ජෝ මේයර් මේක විමර්ෂනය භාර පොලිස් කණ්ඩායමට දැනුම් දුන්නා. රහස් පරීක්ෂක චාල්ස් බගී ඇතුලු කණ්ඩායමක් සැළසුම සකස් කෙරුවා. මේ අතරතුර ජෝ මේයර්ට තව දුරකතන ඇමතුමකුත් ආවා. එයින් කියැවුනේ මේ පවුම් 15,000 පවුම් 5 සහ 10 නෝට්ටුවලින් ගෙවන්න කියලා.

රහස් පරීක්ෂක චාල්ස් බගීත් එක්ක ජෝ මේයර් බ්‍රීෆ් කේස් එකකට සල්ලි දාලා අරන් ගියා. උඩින් ඇත්ත සල්ලි. යටින් ව්‍යාජ සල්ලි. චාල්ස් බගී රඟපෑවෙ ජෝ මේයර්ගෙ සහායකයා විදිහට. කෝල් කරපු කෙනා සල්ලි ගන්න ආවා. ඔහු ව්‍යාජ සල්ලි අඳුරගත්තෙ නෑ. බ්‍රීෆ් කේස් එක අරගත්තා.

කප් එක තියෙන තැනට ජෝ සහ චාල්ස්ව රැගෙන ගියා. අතරමඟදි මේ පුද්ගලයා දැනගත්තා තමන් ව පොලිසියෙන් ලුහුබඳින බව. ඔහු ධාවනය වන මෝටර් රථයෙන් පැන්නා. සල්ලිත් අරන් දිව්වා. රහස් පරීක්ෂක චාල්ස් බගීත් වාහනෙන් පැනලා හොරා පස්සෙන් දිව්වා. දුවලා අල්ලගත්තා. මෙහෙම සල්ලි ගන්න ඇවිත් තිබුනෙ එඩ්වඩ් බෙච්ලි.

එඩ්වඩ් බෙච්ලි කියන්නෙ ඒ වෙද්දි ප්‍රසිද්ධ හොරෙක්. ඔහුගෙ වයස අවුරුදු 47 යි.

බෙච්ලිව පොලිසියට රැගෙන ගියා. ප්‍රශ්න කෙරුවා. තමන් සොරකම කළේ නැති බවත් අතරමැදියා ලෙස වැඩකළා පමණක් බවත් ඔහු පොලිසියට කිව්වා. ඔහු කිව්වෙ මිස්ටර් පෝල් කියන කෙනා මේ කුසලානය හොරකම් කළ බවයි. එහෙම කෙනෙක් ගැන පොලිසියට හොයාගන්න බැරි උනා. පාපන්දු ලෝක කුසලානය හම්බ උනෙත් නෑ.

ඊට පස්සෙ තමයි පුදුම සහගත දේ සිද්ධ වෙන්නෙ.

මාර්තු 27 වැනිදා ඩේවිඩ් කෝබට් තමන්ගෙ බලු සුරතලා එක්ක ඇවිදින්න ගියා. මේ වෙද්දි හොරකමට දවස් 7 යි. එංගලන්තය රත්වෙලා බයවෙලා අසරණ වෙලා ඉන්න වෙලාව. ඩේවිඩ් කියන්නෙ ලන්ඩන්වල සාමාන්‍ය පුරවැසියෙක්.

ඩේවිඩ්ගෙ බලු සුරතලාගෙ නම පිකල්ස්. පඳුරක් අස්සට රිංගපු පිකල්ස් දිගින් දිගට ම මොකක්දෝ පාර්සලයක් ඉව කරන්න පටන් ගත්තා. ඒක පත්තර කඩදාසියකින් ඔතලා නූලකින් ගැටගහපු දෙයක්. සිදුරකින් පොඩි කොටසක් දිලිසෙන බව ඩේවිඩ් දැක්කා.

ඩේවිඩ් එබිලා බැලුවා. පරීක්ෂා කෙරුවා. ඔහු මුලින් ම දැක්කෙ ‘1962 බ්‍රසීලය‘ කියලා ගහලා තිබුනු වැකිය. ඩේවිඩ් කියන්නෙ ඩයිහාඩ් ෆුට්බෝල් ෆෑන් කෙනෙක්. මෙන්න ලෝක කුසලානෙ! ඩේවිඩ් දැක්ක ගමන් අඳුරගත්තා.

එයා මේක ගෙදර ගෙනිච්චා. ඒ බිරිඳට පෙන්නන්න. පස්සෙ දෙන්නත් එක්ක පොලිසියට කෝල් කෙරුවා. මුලින් පොලිසිය ඩේවිඩ්ව සැක කෙරුවා. ප්‍රශ්න කෙරුවා. පසුව ඔහු සොරකමට සම්බන්ධ නැති බව හෙළිවුනා. ඔහුට ඩොලර් 6000 ක ත්‍යාගයක් ලැබුනා. මොකද ඒ වෙද්දි ලෝකෙ තිබුනු දැවැන්ත සමාගම් කීපයක් ම ඉදිරිපත් වෙලා හිටියා ලෝක කුසලානෙ කොයි ලෝකෙන් හරි හොයලා දෙන කෙනෙක්ට තෑගි දෙන්න.

පිකල්ස් තමයි ජාතික වීරයෙක් උනේ. මුලු එංගලන්තය ම පිකල්ස්ගෙ වැඩේ අගය කෙරුවා. සුනඛ සංගම්වලින් පිකල්ස්ට තෑගි ලැබුනා. තරු පන්තියේ හෝටල්වලින් පිකල්ස්ටම කෑම වේල් පවා දුන්නා. කලු-සුදු සුනඛයෙක් වූ පිකල්ස්ගෙ ගෙලේ පදක්කමක් පවා එල්ලුවා.

පිකල්ස්ට මිනිස්සු එදා ඉඳන් කිව්වෙන “බූල් ෂර්ලොක් හෝම්ස්“ කියලා. (Furry Sherlock Holmes)

එඩ්වඩ් බෙච්ලි කියපු මිස්ටර් පෝල් ව හොයාගන්න බැරිවුනා. බෙච්ලිට නඩු දැම්මා. කප්පම් මුදලක් ලබාගැනීම ගැන අවුරුදු 2කට ඔහුව හිරේ දැම්මා. අවුරුදු ගානකට පස්සෙ මේ හොරකම ගැන හා හූවක් ලන්ඩන් නුවර පැතිරුනා.

ලන්ඩන් වල හිටපු ප්‍රසිද්ධ අපරාධ කල්ලි නායකයෙක් වූ සිඩ්නි කුගලියර් තැන තැන පම්පෝරි ගහන්න පටන් ගත්තා එයාගෙ තාත්තයි මාමයි දෙන්නා තමයි ලෝක කුසලානෙ හොරකම් කෙරුවෙ කියලා. ඒක කරලා තිබුනෙ නිකන්ම විනෝදෙට. පස්සෙ ඒක අත්හැර දාලා තිබුනා. නමුත් ඒ ගැන නැවත නීති කටයුත්තක් සිද්ධ උනේ නෑ.

1966 ජූලි 30 වෙද්දි යාන්තම් ජාමෙත් බේරාගෙන පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහා තරඟය තියාගන්න එංගලන්තෙට පුලුවන් උනා. ඒ වෙම්බ්ලි ස්ටේඩියම් එකේදි. අවසන් මහා තරඟයේදි ගෝල 4-2 ක් ලෙස බටහිර ජර්මනිය පරදවා එංගලන්තය ලෝක කුසලානෙ දිනුවා. පිකල්ස් විසින් ඉව කරලා හොයා දීපු ලෝක කුසලානය තමන්ට ම ලැබීම ගැන එංගලන්තය සතුටු උනා.

1967 දි මේ සූරවීර බලු සුරතලා ජීවිතයෙන් සමුගත්තා. හැබැයි පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ සිදු වෙච්චි ලොකු ම ඛේදවාචකයක් හැපි එන්ඩින් එකක් බවට හරවපු මතකය නම් හැමදාම තියේවි.

ඒ කාලෙ මේ කුසලානෙට කිව්වෙ ‘යූල්ස් රිමේ‘ කුසලානෙ කියලා. අවාසනාවක මහත කියන්නෙ මේක 1983 දි බ්‍රසීලයේ තියෙද්දි නැවත හොරකම් කෙරුවා. අද වෙනකන් ඒක හමු වෙලා නෑ. අද අපි දකින්නෙ ඊට පස්සෙ හදපු කුසලානය.

1966 දි හොරකම් කරපු පාපන්දු ලෝක කුසලානය හොයලා දුන්නු පිකල්ස්

ඡායාරූපය: පදක්කමක් පැළඳගෙන ඉන්න බූල් ෂර්ලොක් හෝම්ස්- පිකල්ස්

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
බෙදාගන්න